කෝඳුරුවන්ටත් කැවුම් බෙදපු පැරණි අවුරුදු සිරිත් නැත්තටම නැති වෙයිද? | සිළුමිණ

කෝඳුරුවන්ටත් කැවුම් බෙදපු පැරණි අවුරුදු සිරිත් නැත්තටම නැති වෙයිද?

සිංහල අවුරුදු චාරිත්‍ර අතරින් අපෙන් ගලිහී යන්නාවූ අවුරුදු චාරිත්‍ර ඉපැරිණි සිරිත් ආදිය භාවිත කළ අයුරු විමසා බලමු.

ගම්වැසියන් තම අවුරුදු කෝණම විඳීමට සූදානම් වනුයේ බක්මාසය එළඹෙත්ම දෙවියන් උදෙසා මුට්ටි මංගල්‍යය පැවැත්වීම සමඟිනි. මුට්ටි මංගල්‍යය ලෙස සලකන්නේ මහකන්නයේ ලබාගත් තම ගොවිතැනේ වී අස්වැන්න දෙවියන් උදෙසා වෙන් කරන ලද කොටස් රැගෙන සංහිදේ කිරි ඉතිරවීමයි. දෙවියන් වෙනුවෙන් වෙන්කළ කොටස පූජා කරන තුරු අලුත් සහල් භාවිතයට ගන්නේ නැත. මෙනිසා බක් මාසය උදාවන විට සංහිදේ කිරි උතුරා මුට්ටි මංගල්‍යය පවත්වනු ඇත.

අස්වැන්නෙන් අටු පිරීම හේතුවෙන් ගෙවල් අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා ගොවි ජනතාව ලෑස්තිවන අතර ඒ සමඟ ගේ චොරකඩ ඇති බිස්සේ පිට පැත්තේ මැටි ගා ඔප කිරීමත් පියස්සට පිදුරු සෙවිලි කිරීමත් සිදු කරයි. මැටි ගා ඔප කිරීම පිහිගෑම ලෙස හඳුන්වයි. බක් මහේ මුල විවිධ වූ නාට්‍ය සොකරි මන­‍ෙම් සඳකිඳුරු වැනි නාටක මෙන්ම නාට්‍යද පවත්වයි. සම්මතයක් ලෙස නැකැත් රාළට බුලත් දී ආචාර කර නැකැත් සීට්ටුව ලබාගෙන නැකැත් සීට්ටුවේ පළමුව පවතින්නා වූ තෙල් වළං ලිප තබන නැකැත් අවුරුදු ලබන හොරවා ගිනි මෙළවීම, කිරිබත් අනුභවය වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හිසතෙල් ගෑම වැනි සියලු චාරිත්‍ර නැකැත් සීට්ටුවේ අඩංගු වේ. තෙල් වළං ලිප තබන නැකැතට පළමුව කොණ්ඩ කැවුම් පිසීම කරන අතර පළමු කැවුම වහලයේ එල්ලා තබයි. එය කෝඳුරුවන් වෙනුවෙන් වෙන්කළ බැවින් කෝඳුරු කැවුම ලෙස හඳුන්වයි.

තරුණ වයසේ අය මෙන්ම බාල මහලු සියලු දෙනා වළ කජු ගැසීම, ඔංචිල්ලා පැදීම, ගුඩු කෙළිය, එළුවන් කෙළිය, පංච කෙළිය, පොරපොල් කෙළිය, අං කෙළිය, මඟුල් පරක්කුව වැනි ජනප්‍රිය සෙල්ලම් වල යෙදෙනු ඇත.

අවුරුදු උදාවීමට පෙර දින පුරාණ කොණම් දිනය නැතිනම් පුරාණ අවුරුදු දවස ලෙස සලකයි. එදින කුස්සියේ ඉතිරි වී ඇති කුණු රොඩු සියල්‍ල එකතු කර බැද්දට දමයි. එය කුණු මුත්තා පිදීම ලෙස හඳුන්වයි.

වැඩ මැරීමේ කාලය උදාවීමට මත්තෙන් ගේ දොරකඩ නැඟෙනහිර දිසාවට වන්නට ගොක්කොළ මල් පැලක් සිටුවා අවුරුදු කුමාරයා පිළිගැනීමට කටයුතු සිදු කරයි. පන්සලේ ඝණ්ටාර නාදයෙන් ද තරුණ ළමයි විසින් උණ වෙඩි පත්තු කිරීමෙන් ද වැඩ වැරීමේ කාලය උදාවන බව දැන ගන්නා බාල මහලු කවුරුත් පන්සල වෙත ගොස් තෙරුවන් වැඳ හාමුදුරුවන් බැහැ දැක අනුශාසනා ලබා ගනී.

අවුරුදු කෝණමේ ගිනි මෙළවීමේ නැකැතට නැවුම් මුට්ටියකට කිරි උතුරුවා පසුව කිරිබත් පිසීම සිදු කරයි. කිරිබත හා කැවිලි අවුරුදු කුමාරයා වෙනුවෙන් සකස් කළ මල් පැළ තුළ‍ කෙසෙල් කොළයක් එලා තබා පහනක් දැල්වීම සිරිතක් ලෙස සිදු කරයි. අනතුරුව වැඩ ඇල්ලීමේ නැකැතට කැත්තකින් කිරි ගසට කෙටීමත් උදැල්ලෙන් පොළොව කෙටීමත් සම්මතයක් ලෙස සිදු කරයි. ගෙවිලියන් අවුරුදු බත පිසීමේ කටයුත්තේ හාල් ගැරීමෙන් වැඩ ඇල්ලීම සිදු කරයි. ගනුදෙනු කිරීම ද සිරිතකි.

අඟුරු කැබැල්ලක් තඹ සල්ලි පිච්චමල් සමඟ වතුරට දමා වැඳ නමස්කාර කර අලුත් කළයකට දිය පුරවා ගනී. එය මංකඩ සමඟ ගනුදෙනු කිරීම නම් වේ. හිසතෙල් ගෑමේ නැකැත උදාවන විට අවුරුදු කුමාරයා පිළිගැනීමට සෑදු පහන් පැළ ගලවයි. පන්සලේ නායක හිමියන් හිසතෙල් ගාන වත් පිළිවෙත් අනුව බිම පයට ඖෂධ ද සුබ දිශාව බලා ඖෂධ නානු ස්වල්පය බැගින් හිසේ තවරා අනෙකුත් භික්ෂූන්ගේද හිසේ තෙල් ගා ගමේ පිරිමි අයගේ ද හිසතෙල් ගෑම සිදු කරන අතර ගමේ වෙද මහතා විසින් ගමේ කාන්තා පාර්ශ්වයේ හිසතෙල් ගෑම සිදු කරයි.

ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ

අදහස්