කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

සූරිය උදාවෙන්

විර සක බිඳී සෙනෙහස පිබිදෙන නිවසයි
දර දඬු නොවන සාමය කැඳවන දවසයි
සුර ලොව අසිරි ගම, නගරය තුළ ගවසයි
එර බදු කැකුළු අවුරුදු ආ බව පවසයි

පා කර කඳුළු දුක් ඇරුණලු ගලන උදේ
ගේ දොර කුස්සියේ කිරිබත යසට ඉදේ
ජීවන ගමන තුළ සැණකෙළි මවන හදේ
සාමය සතුට අවුරුදු හා එකට බැඳේ

ළං කරවන හදට අවුරුදු සිලි සිලිය
සංගීතවත් කෝකිල හඬ පැහැ දිලිය
හංකිති කවන සියොළඟ නව සළු පිළිය
සිංහල අපේමය බක්මහ සැණ කෙළිය

කොන්කර අසමගිය වැඩිහිටි බුලත දෙමින්
ගින්දර නිවා වැඩ අත්හැර දමන හෙමින්
පින් බර හැඟුම් පිබිදී නොනගතය නමින්
පන් සල උදම්වෙයි තෙල් මල් සුවඳ දුමින්

පී දෙනු බලා අඹ කජු දම් කිරල ගෙඩී
ගේ දොර උදම් වෙන පෙර දිනයකට වැඩී
සා මය සතුට වත්තම් කොට නඟින පඩී
සූරිය උදාවෙන් අවුරුදු කුමරු වඩී

සරෝජිනී කවිරත්න


ආසිරි වේවා

නොනගත කාලය එළඹින
කෑම බීම අත් හරිමින
පන්සල වෙත පිය මනිමින
වන්දන මානන කරමින

නව අවුරුදු එළඹෙන විට
වෙඩි හඬ පැතිරෙයි නැකැතට
රබන් හඬේ නද මුසු කොට
ගෙන එයි ආසිරි ගමකට

බුලත් හුරුලු දී දෑතින
මවුපිය වැඩිහිටි නෑයින
නමදින ආසිරි පතමින
කොතරම් සොඳුරුයි ද එදින

වැඩිහිටියන් විසින
නැකැතකට තෙල් ගල්වන
සියලු රෝ දුරුවන
මතු දිගාසිරි සැප ද පතමින

ගොංගිතොට
උඩුවර දේවානන්ද හිමි


බක් මහ වරුණ!

ඇල් කෙත හේන නැති හින්දා සරු කෙරුණේ
මුල්තැන්ගෙයි නොමැත සරිලන සේ පිරුණේ
ඉල්පෙන හැඟුම් මැද යුතුකම් මඟ හැරුණේ
කල් එළඹුණා නොදැනිම අවුරුදු වරුණේ

අවුරුදු කුමරි එන මඟ රතු පලස එළා
එරබදු මලින් පරිසරයම සුවඳ කළා
සුව සැදු ගමේ තිබු ගහ-කොළ බිමට හෙළා
සුපුරුදු ලෙස රැඳුණු අසිරිය බැහැර කළා

එන බව කියා මන පිබිදෙන අවුරුද්ද
ගෙන දී මියුරු ගී දෙසවන් පිරිමැද්ද
වන පෙත එළි පෙහෙළි කර නොමැතිව බැද්ද
වෙනතක ගිහින් නොඇසෙයි කෝකිල සද්ද

කැවුම් කොකිස් මුං අතිරස තෙලෙහි බැද
නැවුම් සුවඳ විහිදුනා ගැමි සිරිය මැද
ඉවුම් පිහුම් සිදු කරමින් සිතැඟි ලෙද
සිතුම් පැතුම් සපුරයි සල් පිලෙහි අද

අපරැක්කේ සුනිල්


ගමට එන්න

දුරු රට ගිහින් අම්මා රෑ එන්න කලින්
බොර දිය පුරවලා කළයට වැව් පතුලෙන්
අළු යට ගිණි අඟුරු පිඹ ගිනි මතු කරමින්
උණු බත් කැවූ අයියණ්ඩිය සිහිවේය නිතින්

වහලේ ඉළුක් කොළ ටික ටික දිරන විට
වේවැල් කැඩුණු පුටු ගේ තුළ තෙමෙන විට
සිදාදියට ගිය ඔබ මැඳුරක සිටින විට
පමාවෙලා වැහි වැහැපන් ඉඩෝරෙට

උගසට බැඳුණු කුඹුරට සඳ පායන්නයි
අමාවක රැයක සඳ එළියක් වන්නයි
මාපිය උණුසුමේ තනිකම නොදැනෙන්නයි
අයියණ්ඩියේ අවුරුද්දට ගම එන්නයි

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ


ආවා... ආවා...

අවුරුද්ද ළඟ එතැයි රූප පෙට්ටියෙ සැළා
කොහෙකුගෙන් සොරාගත් නාදයක් හඬ කළා
හිරු දෙවිඳු මීනයෙන් මේෂයට එනු බලා
බත් කටක් කවාගත් තැකි ළමුන් රවටලා

පරණ රෙදි සේල්කර ගිලී කරුණා ගඟේ
මුදලාලි දුක හිති ගහද්දී අපෙ ඇඟේ
හතිලලා පොරකකා තෝරන්නෙ මඟ දිගේ
බක් මහෙන් පසු රටේ රෙදි නැතිව යයි වගේ

අවුරුද්ද සමරන්න විදියටම ඉස්තරන්
දැන දැන ම බැඳ සිහින මාලිගා උස් තොරන්
මාසයක් කඹුරා ලද සොච්චම ම හිස් කරන්
හූල්ලනු කුමට ආකාසයට ඇස් අරන්

පැරදුණත් තරග දිනුවත් කමක් නෑ ඔහේ
අවුරුද්දටම එකයි සැණකෙළිය බක් මහේ
සමගි සම්පන්න කම රැකී තිබුණොත් රැහේ
දුක් කඳුළු මැදින් මල් පිපෙනවා ඇත ඉහේ

නිමල් වසන්ත කුමාර


අවුරුදු

ලොකු පොඩි වෙනසක් නොතකන අවුරුදු
වාද බේද හද දුරලන අවුරුදු
එක මේසය ඉද කන බොන අවුරුදු
අවුරුදු අවුරුදු හැමටම අවුරුදු

කද මලු අරගෙන යන එන අවුරුදු
නෑදෑයන් දැකුමට යන අවුරුදු
බුලත් හුරුලු අත ‍රැදෙනා අවුරුදු
අවුරුදු අවුරුදු හැමටම අවුරුදු

සරත් ධර්මසේන


අපි එනව තාත්තේ

හිරු සදිසි වුව නුඹ
ළහිරු රැස් පමණමය තැවරුවේ
නුඹෙ උයනෙ පිපුණා මල්වල
සතපවා අප සිසිල දෙන සඳවතක

එ’හිරු පායා තිබුණි පෙරදා නොරටකට
හිම මිදුණ සීතලෙත්
ගිනියම් කර දෑත් පා යුග
හිරු ගිනිගත් දනව්වෙන්
දහදිය කඳුළු එක්කර
නුඹේ සියලු රසතැන් අතහැර
පිරෙව්වා, පුංචි සමනලුන්ගෙ
මනදොළ

එදා නුඹ එන අයුරු
අතැඟිලිවලින් ගැන ගැන
බලා සිටියෙමු අපි
දිව නෙත පිනා යන
බෝ දේ පුරවාන උර

වැවී දැළි රැවුල වැඩී උරතල
‍අද අපි නොරටකය
නුඹ මවු බිමේ තනිකර
ලොසින්ජරයකටවත් ලොබ නෙබැඳ
බලා සිටිනා බව දනිමු
හිරු සඳු පායතැයි ගෙමිදුල

අත හැරුණු අවුරුදු අරන්‍
ගුවන් ගැබ දෙදරවා
අපි එනව තාත්තේ
හිරු සදිසි වූ නුඹේ
උණුසුම බිඳක් සොයාගෙන

ප්‍රභා මාධවී අභයගුණසේකර


අවුරුදු එන හැඩ

තුරු වදුලකට වැද ගීයක් ගයන කොහා
හුරු සංදවනි මතුරයි කෙවිලියට වහා
උරු මෙක අසිරි හෙළ කත ඉහ උඩට උහා
හිරු ගෙන එන වගයි සම්පත් ඉසුරු මහා

රත් වුණු රබානේ තාලෙට වදින පදේ
අත් එක පෙළට පොළසන් හඬ සමඟ වැදේ
සිත් පුබුදවන ජන කවි ගී හිතෙහි බැඳේ
සෙත් සිරි නොනගතේ මල් පුද පඬුරු පිදේ

රන් ඇට සදිසි අස්වනු පිරි ගෙදර දොර
පින් බර හිනා හඬ උතුරන මිහිරි සර
නින් නද දෝරෙ ගලමින් යන අතර තුර
ලන් වෙන හැඩයි අවුරුදු සිරි සෙනෙහෙ බර

කහ පාටට ඉදුනු රඹ කැන් අතර සිට
රහ වෑහෙන කැවුම් අතිරස එබෙන විට
මහ ගෙට පැමිණි දරු මුනුඹුරු පිරිස හට
ඉහ ළම ආදරය දලුලයි පපුව යට

පින් කෙත පුරාණේ සිට කළ කල එළිය
සංහිඳියා ගුණෙන් පිරිපුන් සුරතලිය
සිංහල අවුරුද්ද බක්මහ සැණකෙළිය
තුන් හෙළ යම නිවයි හැම තැන සැනසිලිය

ජයසිරි රුවන්පතිරණ


පමා වුණු අස්වැන්න

වැස්ස වලාහක දෙවියන් බලය රැගෙන අතට
අප බලවත් කියූ උන්ගේ අඬු බඩු කඩලා
වසර දෙක තුනක් හංගා කාල සටහන
පිළිවෙළක් නැතිව ඉඳහිට එබිකම් කෙරූ

වන්නිකරේ වෙල්ලසේ හිරු බැහැල බිමට
හොඳහැටි නටලා වගා පාළු කොට
පැටව් පොඩිත්තන් කුස ගිනි අවුලන තරමට
මවු පියන්ගෙ කඳුළු බොන්න බිම පොරකනවා

වැව් වතුරත් පමා වුණා වාරය පැන ගියා
හැකි හැකි තැන කළ ගොයමත් මෝරා නෑ තව
පැතුම් දලු කළඹ එකලෙස වඳ පීදුණු තැන
ඉතින් දරුවනේ කොහොමද අවුරුදු ගෙට එන

අබ්දුල් කේ. සාදිකීන්


එකමුතුකම

එගොඩින් රබන් හඬ වරකදී ඇහෙන්නේ
පුපුරන රතිඤ්ඤා නැකතකි පුරන්නේ
මුසු වී තෙල් සුවඳ සුළඟට දැනෙන්නේ
හැම ගෙදරකම අද කිරිබත ඉදෙන්නේ

එකමුතු නොවේ හිත දුබලව ඇති කයට
පිනවයි රස නහර දිව කෑදර කමට
සැලකිලි ලැබෙන හින්දා වැඩිහිටි අයට
ඉවසා සිටිමි එන අය එන තෙක් ළඟට

සරමක් බැනියමක් ගෙන අවුරුදු තිළිණ
බුලත් හුරුළු එති මා වෙත දැන හැඳින
කිරි ඉතිරී සතුට සම්පත ගුණ පිරුණ
ආසිරි පැතුම ඇත මා හද තුළ රැඳුණ

ඇල්බට් ඇම්. ලියනගේ


ඔංචිලි වාරම් ගයන්න

මාල පබළු පොඩි තෑගි අරන්
ගම රට බලන්න ඒවි තුටින්
බුලත් හුරළු හෙළ සිරිත රකින්
නමදින්න දෙපා හිත දෝස නසන්...

සෑ අහස බලන් ආවඩන නැකැත්
හිරු දෙවියෝ ළඟයි අරඹන්න ගමන්
ගම්මැද්දේ රබන් පද තාල අරන්
සුබ නිමිති දොරින් දොර කිරි ඉතිරේ..

අස්වැන්න නෙළන් කඳුයාය මැදින්
මේ ගමන සුබයි බක්මහට කලින්
වැට දෙවැට පුරා එරබඳු හිනැහී
සැරසෙන්නේ ගයන්න ද ඔංචිලි වාරම්

නෙලුකා ප්‍රනාන්දු


වැඩිහිටියන් නමදිමු

සුබ මොහොතින් වැඩ අල්ලා ගනුදෙනු කළ අවුරුදු
කිරිබත් සහ කැවුම් කෙසෙල්වල රස බැලු අවුරුදු
සොහොයුරු මවුපියො බලන්න නෑගම් යන අවුරුදු
අලුත් ඇඳුම් ඇන්දම දරුවන්ට ජයයි අවුරුදු

කණා මුට්ටි, කොට්ට පොරය, දුවන-පනින අවුරුදු
අවුරුදු උලෙළෙදි අප හැම තරග කරන අවුරුදු
ගැමි තරුණියො රන් ඔන්චිල්ලා පදින්නෙ අවුරුදු
මවු භූමියෙ සාමය සමගිය ඇති කළ අවුරුදු

සිරිසේන විජේසූරිය


ඉසුරු දේවා!

පිපී රත් එරබඳු
නැකතට ඇවිත් හිරු සඳු‍
මින් සිත් පිරිසිදු
ඉසුරු දේවා අලුත් අවුරුදු
කුමාර කවිරාජ
සතුට උදාවේවා!

අවුරුදු නැකතට කටු මැටි ගෙපැලෙත් ලිප ගිනි මොළවන්නයි
සිත් ගිනි නිවිලා වස් දොස් ඇරිලා අවුරුදු සරුවෙන්නයි
මවු පිය දූ දරු සෙනෙහස බැඳිලා සිත්මල් පීදෙන්නයි
අතමිට සරු වී රට දැය සමගිව සතුට උදාවෙන්නයි

සෝමදාස කන්දගේ


කොහෝ ඉතින් ගී කියපන්

නටව නටව හරව බලන එරබදු මාලේ
සවන් පිරෙන ගී හඬ මැද කෝකිල තාලේ
මී අඹ ගෙඩි පැණි වෑහෙන රසතුරු ආලේ
කොහෝ ඉතින් ගී කියපන් අවුරුදු කාලේ

රබන් නදට හිත ඉල්ලන ඉමිහිරි ප්‍රේමේ
නැකත් හඬට සැම සිත් එක්වෙන මේ අරුමේ
නැවුම් හැඟුම් තුටින් ගලන රසඳුන් යාමේ
කොහෝ ඉතින් ගි කියපන් වසන්ත ප්‍රේමේ

සඳුනිකා කුෂානි උපවංශ

ඉසවි
කවි කල්පනා
සිළුමිණ
ෙල්ක්හවුස්
ෙකාළඹ

අදහස්