අලුත් අවු­රු­ද්දක පැමිණ අලුත් අවු­රු­ද්ද­කම ආපසු ගිය | සිළුමිණ

අලුත් අවු­රු­ද්දක පැමිණ අලුත් අවු­රු­ද්ද­කම ආපසු ගිය

දේශීය සංගීතයක් ගොඩනැගීමේ භාරදුර කාර්යයට ජීවිත කාලය ම කැප කළ ප්‍රවීණ සංගීතඥයෙකි සුනිල් සාන්ත මහතා. ඔහු ඒ ඔස්සේ නව මං සෙව්වේ ය. නොපසුබට උත්සාහය දේශයේ කලාප්‍රිය ජනතාවගේ හදවත් තුළ අදටත් රැව් දෙන බව කිව යුතුමය. “ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා” වැනි එතුමාගේ නිර්මාණයන් හා ගායනාවන් ඒ හදවතේ බිම් ගැසුන දේශාභිමානය අපුරුවට විනිවිද පෙන්වන්නේ ය.

ජා - ඇළ පමුණුගම ග්‍රාමයේ විසු බැද්දලියනගේ දොන් පෙමියානු හා කූරගමගේ එංගල්තිනා යුවළට 1915 අප්‍රේල් 14 වැනිදා ලැබුණු පිරිමි දරුවාට දොන් ජෝසප් යයි නම් තබනු ලැබීය. පමුණුගම පාසලෙන් පළමු අධ්‍යාපනය ලැබු දරුවා ඉන් අනතුරුව කොළඹ කොටහේනේ සාන්ත බෙනඩික් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේ ය. පසුව ගාල්ලේ කිතුනු පාසලට ඇතුළත් වු දරුවා එහි ඉගෙනීමද ඉතා උසස් අන්දමින් නිමාවට පත් කළේය. මිහිරි කටහඬක් උපතින්ම උරුම කරගෙන සිටි තරුණ දොන් ජෝසප් ජෝන් ගුරු තනතුරක්ද ලැවේය. සංගීතය හැදෑරීමේ ආශාව මේ තරුණ ගුරුවරයා තුළ ඉහවහා‍ ගොස් තිබුණේ ය. ඉන්දියාවට ගොස් රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ සංගීත නිකේතනයට ඇතුළත්ව සංගීත විෂය හැදෑරූ මේ තරුණ සිංහල ගුරුවරයා එහි අධ්‍යාපනය ද නිමවා භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුයේ ය. එහිදී පරිපුර්ණ සංගීත පුහුණුවක් ලැබූ මේ සංගීතඥයා 1944 දී පෙරළා දිවයිනට පැමිණියේය.

ජෝසප් ජෝන් තුළ මවුබස හා ව්‍යාකරණ විධි සම්බන්ධව හොඳ දැනුමක් තිබුණේ ය. මුනිදාස කුමාරතුංග සූරීන්ගේ අභාවයෙන් හිස් වූ හෙළ හවුලේ නායකත්වයට පත් ජයන්ත වීරසේකර මහතා මේ තරුණ සංගීතඥයා කෙරෙහි ලොකු ලැදියාවකින් කටයුතු කළේ ය. දොන් ජෝසප් ජෝන් යන විජාතික නමින් සිටි මේ තරුණ සංගීත වේදියා සියලු පරගැති අත්හැර දමා සැබෑ ජාති හිතෛශියෙක් වුයේය. ඉවත් කළ යුරෝපීය ඇඳුම් වෙනුවට ජාතික ඇඳුමින් සැරසුණ ජෝසප් ජෝන් සුනිල් සාන්ත නමින් ප්‍රකට වුයේය.

මේ තරුණ සංගීත වේදීයා දේශීය සංගීතය ඔපවත් කිරීමට වෙහෙසුණා මිස වෙනත් ජීවන වෘත්තියක් කෙරෙහි අවධානය යොමු නොකළේ ය. හෙළ හවුලේ ප්‍රධානී ජයන්ත වීරසේකර මහතාගේ උපදෙස් හා අනුශාසනා සුනිල් සාන්තයන්ට ප්‍රබල ශක්තියක් වුයේ ය. දේශීය සංගීතය දියුණු කළ හැකි මංපෙත් හෙළි කරමින් ඔහු පුවත්පත්වලට ද ලිපි සැපයුවේය. තමා විසින් ගී තනු නිර්මාණය කර තමා විසින් ම ගායනය කර ර‍ට ජාතිය අවදි කිරීමට මහත් වෙහෙසක් දැරුවේ ය. ඔහුගේ සැබෑ අරමුණ වටහා ගත් ගුවන් විදුලිය ඔහුට මහත් පිටිවහලක් වුයේ ය. කිසිදු ක්‍රමයකින් ඔහුගේ ආර්ථික වර්ධනයක් සිදු නොවු බව ද කිව යුත්තේය.

රටේ ප්‍රචලිත ජනගීවලට සුනිල් සාන්ත මහතා නිසි තැන් ලබා දුන්නේය. බටහිර සංගීතය වුවද දේශීය සංගීතයට ගැළපෙනාකාරයෙන් හැඩ ගැසීමට එතුමා සෑහෙන ප්‍රයත්නයක් දැරුවේය. තම ගීත නිර්මාණයන් නිවැරදි නිවහල් බස් වහරින් ම සම්පුර්ණ කිරීමට ඒ මහතා දැරූ ප්‍රයත්නය අතිශයින්ම ප්‍රශංසනීයයි. “ඕලු පිපීලා වෙල ලෙළදෙනවා - සුදට සුදේ නංගෝ”යන ප්‍රථම ගීතයට රසිකයෝ අදත් ප්‍රිය කරති. ඊට අමතරව “වළාකුලින් බැස-------“ “එම්බා ගංගා --------“ “සඳ පානේ -------“ “කෝකිල‍යන්ගේ කෝකිල නාදේ----” “මිහිකත සනසාලා-----”වැනි ගීත දේශීය රසිකයන්ගේ හදවත් තුළින් කිසිදා බැහැර නොයන්නේ ය.

අවුරුදු කුමාරයා හා සමඟ මෙලොව එළිය දුටු මේ සංගීත වේදියා අවුරුදු කාලයේ රට පිබෙදෙන හැටි ගීතයෙන් මෙසේ ඉදිරිපත් කළේ ය. ගුණපාල සේනාධීර නම් වියතාණන්ගේ පෑන් තුඩින් ලියැවුණ එම ගීතයේ කොටසකි මේ.

“රතු කොඩියෙන් එරමුදු තුරු මුදුනේ වැහෙන්නේ

ඉරු දෙවියන් හට පියමෙලි බැතිනා එලන්නේ

කජු සෙවණේ හෙළ වැසියන් දවස් ගෙවන්නේ

රස පුහුලකි වවුලන් නිදි මතින් බුදින්නේ”

සිංහල අවුරුද්දේ අසිරිය ස්වකීය මධුර ස්වරයෙන් එසේ ගැයු සුනිල් සාන්තයෝ, ජයන්ත වීරසේකර සූරීන් අතින් ලියැවුණු “සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ” යන ගී සංකල්පනාව ද තම ගීත ගොන්නට එක්කර ගත්හ. මේ මහා රසවතා දේශීය චිත්‍රපට ක්ෂේත්‍රයට ද සුවිසල් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළේ ය. එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් විසින් නිර්මාණය කරනු ලැබු ‘රේඛාව’ හා ‘සංදේශය’ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එතුමා මර්සලීන් ජයකොඩි පියතුමාගේ ගී පද මාලාවන්ට මධුර තනු නිර්මාණය කරමින් - සත්සර පෝෂණය දෙමින් විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ය. “සුදු සඳ එළියේ නළ මත පොපියන” “ඕලු නෙලුම් නෙරිය රඟාලා” සුදට සුදේ වලාකුළේ” ආදී ගීත අද දවසේ පවා ජනතා හදවත් තුළට සුවයක් දෙන සැටි අමුතුවෙන් කිවයුතු නොවන්නේ ය.

අවුරුදු කුමාරයා සමඟ මෙලොවට පැමිණ 66 වසරකට පසු සිංහල අවුරුද්දකම එනම් 1981 අප්‍රේල් 11 වැනිදා මේ මහා සංගීත වේදියාණෝ දේශයෙන් - ජාතියෙන් සදහටම සමු ගත්තේ ය.

 

 

අදහස්