අපේ ජන ගීය මතු පර­පු­රට රැක­දෙන | සිළුමිණ

අපේ ජන ගීය මතු පර­පු­රට රැක­දෙන

ශ්‍රී ලාංකේය අපගේ උරුමයක් වූ අපේ ජන ගීතය මතු පරපුරට තිළිණ කිරීමටත් එහි උන්නතියත් වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින යොවුන් ශිල්පියකු ලෙස පසිඳු පහළ මැදගමගේ හැඳින්විය හැකියි. පසිඳුගේ මේ උත්සාහය සැබැවින්ම අගය කළ යුතුමය. 2011 වසරේ රාජ්‍ය සම්මාන උලෙළේදී රාජ්‍ය සම්මානයේ පිදුම් ලබන්නේ ඒ නිසාමය. වෘත්තියෙන් ගුරුවරයකු වන ඔහු මේ වන විට ජන ගී කලාව ප්‍රගුණ කළ දක්ෂ සිසු පරපුරක් සමාජයට දායාද කිරීමට සමත් වී සිටී. විවිධ වැඩසටහන්, නිර්මාණයන් ඔස්සේ ජන ගී නවමු ආරකින් සමාජගත කළ ඔහුගේ ප්‍රේක්ෂක මෙන්ම සහෘද ඔබට පිරිනමන නවතම තිළිණය වූයේ “ජන ගී නන්ස්ටොප්” ප්‍රසංගයයි. මේ ඒ පිළිබඳව රසඳුනට ඔහු කළ පැහැදිලි කිරීමයි.

● ‘ජන ගී නන්ස්ටොප්’ කියන්නේ මොකක්ද?

බොහෝ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. ‘ජනගී’ නන්ස්ටොප්’ නමින් මේ ප්‍රසංගය හැඳින්වීම ගැන ඔවුනට ත‍ිබෙන්නේ කුතුහලයක්.

අපි දන්නවා ශාන්ති කර්මයක් ගත්තම, සවස 5 - 6 ඉඳලා පසුවදා දහවල් වෙනකම් පමණ එකදිගට නොනවත්වාම ගායනය, වාදනය, නර්තනය යන ත්‍රිත්වය ම සිදුවෙනවා. එය කොතැනකදීවත් නොනවතින නිසා එතැන සිදුවන්නේ ‘නන්ස්ටොප්’ එකක්. ඒවගේම දරුවකු නළවන මවක් දන්නේ නෑ දරුවා නළවා ගන්නට කොතරම් වෙලාවක් යනවාද කියලා. ඒත් දරුවා නිදා ගන්නාතුරු අම්මා දරුනැළවිල්ල එක දිගටම ගායනා කරනවා. නැවතීමක් නෑ, එතැන සිදුවන්නෙත් නැළවිලි ගී ‘නන්ස්ටොප්’ එකක්.

ඒත් අද ගොඩක් දෙනා හිතන්නේ මෙය බටහිරින් ගත් සංකල්පයක් කියලා. නමුත් ඔය සංකල්පය අපේ ජන සමාජය තුළ තිබුණා. අපේ මුතුන් මිත්තන් කුඹුරේ වැඩ කරද්දී එකදිගටම නෙළුම් කවි, ගොයම් කවි ගායනා කළා. නොනවත්වාම කළ ගායනා තුළ තිබුණේ නෙළුම් ගී නන්ස්ටොප් එකක්. නමුත් අද අප අසන, දකින ‘නන්ස්ටොප්’ රිද්මය නිසා බහුතරයක් තුළ මේ ගැන තියෙන්නේ වැරැදි ආකල්පයක්. අන්න ඒ වැරැදි ආකල්පයට නිවැරැදි වූ පිළිතුරක් ලබා දෙන්නට තමයි ජනගීවල එකතුව නන්ස්ටොප් එකක් විදිහට පසුගියදා පැවැත්වුණේ.

● කොහොමද ලැබුණු ප්‍රතිචාර ?

ඇත්තටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම හිතුවාටත් වඩා හොඳට ප්‍රසංගය පැවැත්වීමටත් හැකියාව ලැබුණා.

● කොහේදීද මේ ප්‍රසංගය පැවැත්වුණේ ?

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී.

● ඇයි මෙවැනි ප්‍රසංගයක් කරන්නට හිතුවේ?

සෑම වසරකම අපේ තුන්හෙළ ජන ගී කල්ලිය අලුත් දෙයක් තමයි ඉදිරිපත් කරන්නෙ. 2016 වසරේ උරුමය නමින් ජන ගී ඔපෙරාවක් ඉතා සාර්ථකව කළා. ඒ වගේම 2017 අවුරුද්දේ “The life” නමින් අප පර්යේෂණ තුළින් සොයාගැනුණු අපේ ජන ජීවිතය හා බැඳුණු අප එතෙක් අසා නොමැති ජන නාද මාලා පිළිබඳ ජන ගී කතිකාවතක් ඉදිරිපත් කළා.

කෙනෙකුට හිතෙන්නට පුළුවන් ජන ගීතයෙන් කරන්නට පුළුවන් සීමාව කුමක්ද කියලා. ඉතිං ඒ අනුව අද අපේ ඉදිරි පරපුරට ගැළපෙන විදිහට ජන ගී උපයෝගී කර ගන්න පුළුවන් කියන දේ ඒ දැනුම ලබා දීම අරමුණු කරගෙන තමයි මේ වසරේ ‘ජන ගී නන්ස්ටොප්’ ප්‍රසංගය පැවැත්වීමට හිතුවේ.

● මේ ‘තුන්හෙළ’ කල්ලිය ගැනත් පැහැදිලි කරමු.

2012 වසරේදි තමයි තුන්හෙළ ගී කල්ලිය නිර්මාණය වෙන්නෙ. අපේ ජන ගීතයට ආදරය කරන පාසල් සිසුන්, උසස් අධ්‍යාපනය ලබන වෙනත් ශිල්පීන් වගේ ම විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් යන මේ තුන් කට්ටුවෙහි එකතුවකින් තමයි මෙය හැදිලා තියෙන්නේ.

ඒ වගේ ලංකාව පුරා සෑම ප්‍රදේශයක් ම ආවරණය වන සාමාජිකයන් මේ කල්ලිය තුළ නියෝජනය වෙනවා. ‘තුන්හෙළ ගී’ යන්නෙන් අරුත් ගැන්වෙන්නේ එයයි.

● ඔබ රංවල බලකායේ ද හිටපු සාමාජිකයෙක්. කොහොමද ඒ සඳහා සම්බන්ධ වෙන්නෙ?

පාසල් යන අවදියේදී ලයනල් රංවල ගුරුතුමා මෙහෙයවූ පාඨමාලාවක් තිබුණා. බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ තමයි එය පැවැත්වුණේ. මම එයට සම්බන්ධ වෙලා එතුමාගේ ගුරුහරුකම් යටතේ ජනශ්‍රැතිය පිළිබඳ හැදෑරීම් කළා. එතුමන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි රංවල බලකාය හා මට මුලින් ම සම්බන්ධ වෙන්නට ලැබුණේ.

පසුව වසර 12 පමණ කාලයක් එහි ගුරුවරයෙක් විදිහටත් නුවර, කොළඹ වැනි ප්‍රදේශවල දරු දැරියන් විශාල පිරිසකට මා ඉගෙන ගත් ඒ ශිල්පය දැනුම ලබා දුන්නා.

● ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් කෙටියෙන් කතා කළොත්?

මගේ ගම කෝට්ටේ මාදිවෙල. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පසුව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා මානව වංශ සංගීත විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරනවා.

ඒ වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ජනශ්‍රැති හා ජනකලා උපදේශක තනතුර හොබවනවා.

● ඔබ රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වුණා.

2011 වසරේදී හොඳම ජන සංගීත නිර්මාණය වෙ නුවෙන් රාජ්‍ය සම්මානය දිනා ගන්නට මට හැකියාව ලැබුණා.

විශේෂයෙන් 2013 - 2016 දක්වා වසර 4 ක් පිට පිට හොඳම ජන ගී නිර්මාණ වෙනුවෙන් අවසන් නාමයන් ත්‍රිත්වය අතරට නිර්දේශ වුණා.

● කොළඹ උපන් කෙනකු වුණත් ජන ගී වලට මෙතරම් අලුම් කමක් දැක්වීම තරමක් විශේෂයි කියලයි මට හිතෙන්නෙ?

අපි දන්නවා ඕනෑම කෙනකුට හරි දෙයක් හරි විදිහට වැටුණහොත් එම පුද්ගලයා නිවැරැදි මාවත දිගේ ගමන් කරනවා. සහන් රංවල ශූරීන්ගෙන් ලැබුණ නිවැරැදි ගුරු හරුකම් නිසා අපේකම, අපේ ජනශ්‍රැතිය පිළිබඳ වැඩිදුර හදාරන්නට මම පෙළඹුණා. ඒ අනුව ඒ පිළිබඳ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා පර්යේෂණ කළා. විශ්ව විද්‍යාලය තුළත් මෙවැනි විෂය ධාරාවක් ඉගෙනීමට ද පෙළඹුණේත් ඒ නිසයි.

● ජන ගී මතු පරපුරට උරුමකර දීමට ඔබ ගන්නා මේ වෑයම කොළඹට පමණක් සීමාවේවිද?

ඔබ කීවා වගේ මගේ මේ වෑයම අපේකම, ජනශ්‍රැතිය පිළිබඳ මතු පරපුරට උරුමකර දීම හා ඔවුන් ඒ ගැන දැනුම්වත් කිරීමයි. ‘ස්කෝලෙට ජන ගී’ නමින් දැනටමත් අපේ කණ්ඩායම ජන ගී පිළිබඳ දේශන මාලා දිවයින පුරා පවත්වනවා.

හම්බන්තොට, අම්පාර, බුත්තල වැනි දුර ප්‍රදේශවල පාසල්වලට ගිහිල්ලා වැඩමුළු, දේශන පවත්වා ජන ගී පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම කළා. මේ වසරේදීත් නොකඩවා එය ක්‍රියාවට නැංවීමට තමයි මගේ අපේක්ෂාව.

Comments