කිතුලට හොඳ වෙළෙඳපොළක් | සිළුමිණ

කිතුලට හොඳ වෙළෙඳපොළක්

කිතුල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජන ජීවිතය හා බද්ධ වූ දේශීය දැනුමෙන් පොහොසත් වූ පාරම්පරික උරුමයකි. ජාතියක් නීරෝගී කිරීමට සමත් කිතුල් මෙරටට සැබෑ කප් රුකකි.

කිතුල් සඳහා වෙ‍ෙළඳපොළ

ඈත අතීතයේ සිටම ලංකාවේ නිපදවන කිතුල් පැණි හකුරු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලට විදේශීය වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතියි. 1860දී කිතුල් කෙඳි පවා අපනයනය කළ බව වාර්තා වේ.රේගු වාර්තා වලට අනුව 1893 සිට 1897 දක්වා වසර පහ තුළ දළ වශයෙන් වසරකට කිතුල් හකුරු හොණ්ඩර 3780ක පමණ ප්‍රමාණයක් එක්සත් රාජධානිය ,බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංසය වැනි රටවලට අපනයනය කර තිබේ.මේ අනුව ප්‍රත්‍යක්ෂ වන කරුණ නම් අතීතයේදී මෙරට කිතුල් නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තිබූ බවය.වර්තමාන තත්වය ඊටත් වඩා සුබවාදීය.මන්ද කාබනික නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වර්තමානයේදී සියයට සියයක්ම කාබනික නිෂ්පාදනයක් වන කිතුල් පැණි හා හකුරු වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙවන් අවධියක ඒ සඳහා වන ඉල්ලුමද දිනෙන් දින ඉහළ යයි.

තවද කිතුල් නිෂ්පාදන යනු උක් සීනී සඳහා කදිම ආදේශකයකි.වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 31 වන ශ්‍රී ලංකාවේ වසරකට සීනි මෙට්‍රික් ටොන් 650,000ක් ආනයනය කරයි.මෙය දේශීය පරිභෝජනයෙන් සියයට 92කි.අපගේ වාර්ෂික සීනි නිෂ්පාදනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 56,000ක් වන අතර එය සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට අටකි. මෙලෙස සීනි ආනයනය සඳහා විශාල වශයෙන් වැය වෙන ආනයන වියදම ඉතිරි කර ගැනීමට කිතුල් පැණි හකුරු වැදගත් වේ.

තවද කිතුල් මල් මදින්නන්ටද මෙය ඉතා ලාබදායී ව්‍යාපාරයකි. උක් හෙක්ටයාරයක් වගා කිරීමෙන් ලබන ආදායම මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක ආදායමක් කිතුල් මල් 16ක් කැපීමෙන් ලබා ගත හැකිය.

 

කිතුල් කර්මාන්තයේ වර්තමාන ස්වරූපය

2009 වර්ෂයේදී රජය මඟින් කළ ශ්‍රී ලංකාවේ කිතුල් ශාක පිළිබඳව සමීක්ෂණය අනුව රට පුරා ව්‍යාප්තව පවතින පීදුන කිතුල් ගස් සංඛ්‍යාව 574,259කි.එයින් දැනට මල් මදින ගස් සංඛ්‍යාව වන්නේ 89,855කි (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2010) .මෙය ප්‍රතිශතයක් ලෙස 15.64% ක් පමණ වේ.මෙම සංඛ්‍යා ලේඛන අනුව පීදුන කිතුල් ගස් සංඛ්‍යාවෙන් මල්මැදීම සිදු නොකර අතහැර දමන ගස් සංඛාව ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් 84%කි.මේ අනුව නූතනයේ කිතුල් කර්මාන්තය පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ මල් කපන්නන් මෙම කර්මාන්තය කෙරෙහි වැඩි නැඹුරුවක් නොදක්වන බවයි.

 

කිතුල් කර්මාන්තයේ ප්‍රගමනයට ඇති බාධා

අප විසින් මීට පෙර කිතුල් කර්මාන්තය පිළිබඳව සිදු කළ සිවු අවුරුදු ශාස්ත්‍රීය පර්යේෂණයට අනුව බොහෝ සාම්ප්‍රදායික මල් කපන්නන් වර්තමානයේ දී මෙම කර්මාන්තය කෙරෙහි යොමු නොවීමට බලපාන කරුණු කාරණා රැසකි. ඒ අතර එක් ප්‍රධාන සාධකයක් වන්නේ මෙම වෘත්තිය කෙරෙහි වූ අයහපත් සමාජ ආකල්ප පිළිබඳව ගැටලුවයි .තවද තරුණ පරපුර මල් කැපීමට වඩා ආකර්ෂණීය රැකියා යැයි සිතා තොරතුරු තාක්ෂණ හෝ එවැනි වෙනත් රැකියා වලට අඩු වැටුපකට හෝ යොමු වන අවස්ථාවන්ද දක්නට ඇත.ඊට අමතරව තවත් ප්‍රධානතම කරුණක් නම් වර්තමානයේ මල් කැපීමේ නියැලී සිටින ගැමියන් හට විවිධ දුෂ්කරතා රාශියකට මුහුණ පෑමට සිදුවීමයි.

ඒ අතර නීතිය ක්‍රියාත්මක කරන සමහර නිළධාරීන් ගෙ අසාධාරණ ක්‍රියාවලට මල් කපන්නන් ගොදුරු වීම ප්‍රධාන ගැටලුවකි.එමෙන්ම දේශගුණික විපර්‍යාස හා ස්වාභාවික විපත්ද මල් කපන්නන්ට ගැටලු ඇති කරයි.මන්ද ගසෙන් තෙලිදිය ලබා ගැනීමේදී එහි ගුණාත්මක භාවය කෙරෙහි දේශගුණයද බලපෑම් ඇති කරයි.ඒ අනුව එම තෙලිදියෙන් සාදන පැණි හකුරුවල ගුණාත්මක භාවය වෙනස් වේ.එමෙන්ම අධික වැසි මෙන්ම දැඩි සුළං සමයට මල් පදම් කිරීමේ දුෂ්කරතාවයක් පවතියි.එය තෙලිදිය අස්වැන්න කෙරෙහි අයහපත් ලෙස බලපායි.එවිට නිසි තෙලිදිය අස්වැන්නක් නොලැබිය හැකිය.වර්තමානය වන විට කිතුල් ව්‍යාප්තිය ද අඩාල වී ඇත.නාය යෑම් ආදී ස්වාභාවික විපත් හා රතු කුරුමිණි උවදුර වැනි පළිබෝධක හානි නිසාද කිතුල් ගස් විනාශ වී යයි.එහෙයින් එය කිතුල් ව්‍යාප්තිය කෙරෙහි බලපා ඇත.

මල් කපන්නෝ කිතුල් පැණි හකුරු සෑදීමේදි තෙලිදිය උණු කිරීම සඳහා අවශ්‍ය සුදුසු දැව වර්ගසොයා ගැනීමේ ගැටලුවකටද මුහුණ පා සිටිති. වර්තමානයේ කැලෑ එළිපෙහෙළි වී තිබීමද ඊට හේතුවකි.

එමෙන්ම වර්තමානය වන විට කිතුල් කර්මාන්ත කරුවන්ගේ වෙළඳ පොළ අභියෝගයට ලක් වී ඇත.ඒ ගුණාත්මක භාවයෙන් තොර කිතුල් නිෂ්පාදනයන් හේතුවෙනි.මෙහිදී සීනි මිශ්‍රකර සාදන පැණි හකුරු මෙන්ම සීනි,රසකාරක හා සිරප් වර්ග ආදියද භාවිත කර නිපදවන කෘතිම කිතුල් හකුරු වෙළඳපොළ ආක්‍රමණය කර ඇත.මෙම හේතුව නිසා ගුණාත්මක පැණි හකුරු සාදන මල් කපන්නන් හටද තම නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇත.

 

රාජ්‍ය මැදිහත් වීම

මෙරටට කප් රුකක් ම වන කිතුල් දේශීය ආර්ථිකය නඟා සිටුවීමේ විභවයක් හිමි එහෙත් අඩු අවධානයකට ලක්ව තිබෙන කර්මාන්තයකි. එහෙත් කිතුල් මල් කැපීම සඳහා බලපත්‍ර අහෝසි කර තිබීමද , කිතුල් ගම්මාන ඇති කරලීමට අපේක්ෂා කිරීමද වැනි රාජ්‍ය මැදිහත් වීම් සැබවින්ම කිතුල් කර්මාන්තයේ නිරතව සිටින පිරිසගේ සතුටට හා ප්‍රශංසාවට හේතු වන්නකි.එහෙත් මෙතැනින් නොනැවතී කිතුල් කර්මාන්තයේ ප්‍රගමනයට ගත යුතු තවත් පියවර රැසකි.

 

තවදුරටත් කිතුල් ව්‍යාපාරය නඟාසිටුවීමට නම්

කිතුල් කර්මාන්තය නඟාසිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් රැසකි. කිතුල් මල් කපන්නන් කෙරෙහි සමාජය තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීම එම කර්මාන්තයේ ප්‍රගමනයට හේතු වේ.මේ සඳහා වඩාත් යෝග්‍ය ඉලක්ක ගත සමාජ ස්ථිරය වන්නේ පාසල් ශිෂ්‍ය ප්‍රජාවයි.මෙහිදී කිතුල් කර්මාන්තය පිළිබඳව ශිෂ්‍යින්ගේ දැනුම ,කුසලතා ,ආකල්ප වර්ධනය කළ යුතුය.එම අරමුණ ඉටුවන අයුරින් පාසල් විෂය නිර්දේශයට කිතුල් කර්මාන්තය ආශ්‍රිත පාඩම් ද ඇතුළත් කිරීම වැදගත් වේ.

එමෙන්ම කිතුල් මල් කපන්නන් හට වෘත්තීය වටිනාකමක් ලබා දීම හා කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික කිතුල් සතියක් හෝ ජාතික කිතුල් දිනයක් නම් කළ යුතුය.පසුව එම සතිය හෝ දිනය කේන්ද්‍ර කරගෙන කිතුල් ප්‍රවර්ධනය සඳහා දේශන ,සම්මන්ත්‍රණ ,කිතුල් නිෂ්පාදන සඳහා ප්‍රදර්ශන මෙන්ම අලෙවි කුටි ආදිය ඇතුළු විවිධ වැඩ සටහන් ප්‍රදර්ශන මෙන්ම අලෙවි කුටි ආදිය ඇතුළු විවිධ වැඩ සටහන් ප්‍රාදේශීය හා ජාතික මට්ටමින් වාර්ශිකව ක්‍රියාත්මක කළ හැකිය.

එමෙන්ම ගුණාත්මක කිතුල් නිෂ්පාදනයන් පමණක් වෙළඳපොළ තුල අලෙවි කිරීමට කටයුතු සැලසීම සඳහාද රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වේ.මේ අතර ගුණාත්මක භාවයෙන් තොර කිතුල් නිෂ්පාදන වලින් වැළකී ගුණාත්මකභාවයෙන් යුතු කිතුල් නිෂ්පාදන කිරීමට කිතුල් කාර්මිකයින් පෙළඹවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

තවද කිතුල් නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළ පුළුල් කිරීමේ දී ගුණාත්මක භාවයෙන් යුතු කිතුල් නිෂ්පාදන සඳහා ආදර්ශ අලෙවිසල් නගරබදව ව්‍යාප්ත කළ හැකියමෙවැනි ආදර්ශ අලෙවි සල් පමණක් නොව සමූපකාර අලෙවි සල්, සුපිරි වෙ‍ෙළඳසල් හා සංචාරක හෝටල් ආදියද ගුණාත්මක කිතුල් නිෂ්පාදන අලෙවිය සඳහා උපයෝගී කර ගත හැකිය.

එමෙන්ම කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට “කිතුල් කාර්මිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන” පිහිටු වීමද යුගයේ අවශ්‍යතාවයකි.එහෙත් මෙම පුහුණුව මගින් බිහිවිය යුත්තේ තවත් සාම්ප්‍රදායික මල් කපන්නකු නොව විධිමත් පුහුණුවක් ලද කිතුල් කාර්මිකයකි. එහිදී ඔවුනට කාර්මික නිල ඇඳුම්, නිල හැඳුනුම්පතක් ආදිය ලබා දීමෙන් ඔවුන්ගේ වෘත්තීය අභිමානයක් ගෙන දිය හැකිය.

තවද කිතුල් ආශ්‍රිත බිස්කට්, ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, කිතුල් සීනි ආදී අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මල් කපන්නන් මෙම වෘත්තීයේ නිරතව සිටින්නේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව අවධානක්ද ඇතිවය.කිතුලෙන් ඇද වැටෙන අවස්ථා වැනි අනතුරු වලදී පිහිට වීම සඳහා රක්ෂණාවරණ ක්‍රමයක් ඇති කිරීම ඉතා වැදගත් වේ.

කිතුල් කර්මාන්තයේ ප්‍රගමනයට නව පර්යේෂණයන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතියි.එහිදි උසින් අඩු එමෙන්ම අඩු කාළයකදී පීදෙන වැඩි තෙලිදිය අස්වැන්නක් ලබා දෙන නව කිතුල් ප්‍රභේද බිහි කර ගැනීම සඳහා පර්යේෂණ දියත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

තවද කිතුල් කර්මාන්තය වඩාත් පුළුල් ලෙස සංවර්ධනය කිරීමට නම් තේ,රබර්, පොල් ආදී වගාවන් සඳහා වූ රාජ්‍ය ආයතන මෙන් ජාතික කිතුල් පර්යේෂණ ආයතනයක් ද ඇතුළුව කිතුල් සඳහාම වෙන්වූ රාජ්‍ය ආයතනයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවකි.

 

උමයංගනා පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය

රුහුණ විශ්වවිද්‍යාලය

Comments