ඖෂ­ධීය ගුණ­යෙන් යුත් දිවුල් | සිළුමිණ

ඖෂ­ධීය ගුණ­යෙන් යුත් දිවුල්

ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්නා රසවත් පලතුරකි දිවුල්. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ.

එමෙන්ම දිවුල් ඵලයට ආවේණික සුගන්ධවත් බවක් පවතින්නේ එහි තිබෙන සුවිශේෂී රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම් යකඩ ඛණිජ වර්ග මෙන්ම විටමින් ඒ බී යන පෝෂ්‍ය පදාර්ථ ද මෙහි අන්තර්ගතයි. එමෙන්ම කාබෝහයිඩිඩ්‍රෙඩ් ප්‍රෝටීන් බහුල පලතුරක් වූ හෙයින් දිවුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂක ප්‍රතිශතය, තෙතමනය ග්‍රෑම් 64.2, ශක්තිය කි. කැලරි 134, ප්‍රෝටීන් ග්‍රෑම් 7.1, මේදය ග්‍රෑම් 3.7, කාබෝහයිඩ්‍රෙට් ග්‍රෑම් 18.1, කැල්සියම් මිලි ග්‍රෑම් 130, පොස්පරස් මිලි ග්‍රෑම් 110, යකඩ මිලි ග්‍රෑම් 0.6, කැරටින් මයික්‍රො ග්‍රෑම් 61, තයමින්‍ක්‍රො ග්‍රෑම් 40, රයිබෝ ප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 170, නියසින් මිලි ග්‍රෑම් 0.8, විටමින් සී. මිලි ග්‍රෑම් 03 ක් වශයෙන් අඩංගුය.

වර්තමානය වන විට දිවුල් බොහෝ ජනප්‍රිය වී ඇත්තේ නැවුම් පලතුරක් ලෙස භාවිතය සඳහාත් අගය වැඩි කළ නිෂ්පාදන වන ජෑම් ජෙලි ක්‍ෂණික බීම හා කෝඩියල් ලෙසත් දිවුල් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම හේතුවෙනි.

දිවුල් කල් තබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති හෙයින් ඇස්පපිලස් නමැති දීලීර ආසාදනය හට ගනී එම නිසා කල් තබා ගත නොහැකිව ඉවත හෙලන්නට සිදුවෙයි. මෙම දිලීර ආසාදනයන් ඇෆ්ලා ටොක්සීන් නමැති ප්‍රබල විස නිපදවන්නට හේතු විය හැකිය. එම නිසා දිලීර ආසාදනයට ලක්වූ දිවුල් පරිභෝජනය සෞඛ්‍යයට අහිතකරය. එහෙත් වෙළෙඳපො‍ෙළ් ඇති අප මිලට ගන්නා දිවුල් සුළු වශයෙන් හෝ දිලීර ආසාදනයට ලක්වූ ඒවාය. එබැවින් මෙම දිලීර ආසාදනය අවම කොට දිවුල් කල්තබා ගත හැකි ක්‍රමවේදයක් හඳුනා ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි.

 

යශෝදා ඉන්දීවරී

Comments