ළඟ නොබ­ලනු, දුර බලනු | සිළුමිණ

ළඟ නොබ­ලනු, දුර බලනු

සාමාන්‍යයෙන් ප්‍රබල භූමි කම්පාවක් සිදුවීමෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් හෝ සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. සාමාන්‍ය දැනුම අනුව විග්‍රහ කිරීමේ දී භූමි කම්පාවක් ඇතිවන්නේ භූ තැටි දෙකක් එකට ගැටීමෙනි. නැත්නම් ඈත් වීමෙනි. දේශපාලන තලයේ ද එවැනි කම්පන සිදුවිය හැකිය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගිය දා මතු වූ විශ්වාසභංග යෝජනාව ද එවැන්නකි. රටක අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව සහේතුකව හෝ අහේතුකව එනම් නිශ්චිත හා පැහැදිලි චෝදනාවන් මත හෝ පටු දේශපාලන අරමුණු මත ද එවැන්නක් මතුවිය හැකිය. ඒ තුළ ආණ්ඩුව අභ්‍යන්තරයේ ද යම් කම්පනයන් ඇතිවීම ස්වභාවිකය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළව සලකා බැලීමේ දී සාම්ප්‍රදායික ප්‍රතිරෝධයක කටයුතු කර ඇති ප්‍රධාන පක්ෂ දෙකක් එකට එක්වී ගෙනයන සම්මුති බද්ධ පාලනයක දී එවැන්නක් සිදුවීම තුළ ආණ්ඩුව අභ්‍යන්තරයෙහි සිදුවන සලිත වීමක් අතිශයින්ම ස්වාභාවිකය.

ඒ අනුව එවැනි සලිත වීමක් සිදුනොවීමට නම් ආණ්ඩුව නියෝජනය කරන සියලූම පාර්ශවයන් පාර්ලිමේන්තුව තුළ දී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මතුව තිබූ විශ්වාසභංග යෝජනාවට මුහුණ දිය යුතුව තිබුණේ එය නිශ්ක්‍රිය කිරීමට කටයුතු කිරීමෙන් මිසක ඒ සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් නොවේ. එහෙත් එය ඉබේ සිදුවිය නොහැක්කකි. ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒ පිළිබඳ ගැඹුරු සංවාදයකට යොමුවෙමින් එක් එක් පක්ෂ වෙන්වෙන්ව ද සාමුහිකව ද එහි දී තීන්දුවක් ගතයුතුව තිබිණි. ඒ සඳහා ඉඩ ප්‍රස්ථා නොතිබුණේ යැයි කිසිවෙකුට කිව නොහැකිය. විශ්වාසභංග යෝජනාවට පෙර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට මන්ත්‍රීවරුන් දක්වා ද ඊට අමතරව යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා දායක වූ සිවිල් හා දේශපාලන බලවේගයන් ද මතුකරන ලද ඇතැම් කරුණු කාරණා සලකා බැලීමේ දී ඒ බව තේරුම්ගත හැකිය.

 

දායකත්වය

 

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයන් වෙතින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුව ද ඊට පසුබිම් වූ කරුණු කාරණා පිළිබඳව සමාජය තුළ පැවැති සංවාදයට ඒ සියලු පාර්ශ්ව පසුගිය කාලයේ දී අඩු වැඩි වශයෙන් මැදිහත් වී තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුවට නායකත්වය දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ද දරන ජනාධිපතිවරයා ද ඊට අමතරව සිවිල් සමාජ කණ්ඩායම් ද පසුගිය කාලය තුළ දක්වා ඇති ස්ථාවරයන් තුළ ඒ බව පැහැදිලි වේ. එයට අමතරව පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිසංවිධානයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සීමා වූ විශේෂ කථිකාව තුළ ද රටේ අග්‍රාමාත්‍යවරයා අභියෝගාත්මක තැනකට තල්ලු කිරීමට අවශ්‍ය හේතු සාධක සැපයූ බව කිසිවකු අමතක කළ යුතු නොවේ. එවන් පරිසරයක ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකර ඇත්තේ සද්භාවයෙන් යුතු උත්සාහයක් නොවේ. පැවැති දේශපාලන චලනයන් තුළ අවස්ථාවාදී ලෙස ඉන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමකි.

එවන් පරිසරයක එකී විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගෙන පරාජය කළ ද ජයග්‍රහණය වුවද එයින් ජනවාරි 08 ජනතා අපේක්ෂාවන් බලවත් අනතුරකට හෙළීම සිදුවනු නොවැළැක්විය හැකිය. පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි විජයග්‍රහණයක් අත්කරගනු ලැබූව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 41 දෙනකු ආණ්ඩුවේ පොදු ස්ථාවරයට පිටස්තරව සිටිමින් වෙනත් ස්ථාවරයක් දැරීම තුළ ඒ බව තේරුම්ගත හැකිය. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ අදාළ විශ්වාසභංග යෝජනාවේ දී ඊට එරෙහිව ඡන්දය නොදෙමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම මගින් ද ඊට අමතරව අදාළ විශ්වාසභංග යෝජනාවේ සැබෑ නිර්මාපකයන් ගණනාවක්ම අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව සිටගැනීම අනුව ද පැවැති දේශපාලන චලනයන්හි සංකීර්ණත්වය පැහැදිලි වනු ඇත.

 

ඔද වැඩීම හා කොන් කිරීම

 

ඒ අනුව අද ඇත්තේ ජයග්‍රහණයේ ඔද වැඩීම හෝ පරාජිතයන් කොන්කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. 2015 ජනවාරි 08 වන දින මේ රටේ අතිමහත් බහුතර ජනතාව දල්වාගත් යහපාලන අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමේ ප්‍රශ්නයකි. එහි දී කිසිවකු අමතක කළයුතු නැති ප්‍රධානතම කාරණය වන්නේ ජනවාරි 08 බල පෙරළිය හරහා එක් පක්ෂයකට පමණක් සීමා වෙමින් බලය ලබාදීමක් සිදු නොවූ බවය. එමෙන්ම ඉන් අනතුරුව අගෝස්තු මාසයේ දී පැවැති මහ මැතිවරණය හරහා තහවුරු කර ඇත්තේ ද එයමය. එය එසේ වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් බහුතරයක ඇතිකර ගන්නා වූ එකඟත්වයක් තුළ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැතැයි ඉන් කිසිසේත්ම අදහස් වන්නේ නැත. පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපති සිරිසේන මහතා ද ඒ බව පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළ ආකාරයට පසුගිය කාලය තුළ ඒකාබද්ධ විපක්ෂය ද එවැනි උත්සාහයක නිරත වී තිබේ. ඊට අමතරව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතුව ඇතැයි අදහස් කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ද සිටින තත්ත්වයක් තුළ විශ්වාසභංග යෝජනාවට අත්විය හැකිව තිබූ ප්‍රතිඵලය කුමක් වුවද ආණ්ඩුව තුළ සිටින යම් පිරිසක් එජාපය සමඟ පවත්නා සහයෝගීත්වයෙන් මි දී කටයුතු කිරීමට තීරණය කර තිබිණ. එවැනි තත්ත්වයක් තුළ අද හෙටම එයින් යම් පිරිසක් විපක්ෂයට එක්වුවද ඒ තුළ අරුමයක් ඇති නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැති වීමය.

එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව වන වගකීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද මිදී සිටිය නොහැකිය. විශේෂයෙන්ම රටේ සෘජු පරමාධිපත්‍ය බලයෙන් රාජ්‍ය නායකත්වයට තෝරාපත්කරගෙන සිටින ජනාධිපතිවරයාට අන් සියල්ලටම පෙර රාජ්‍යයේ පැවැත්ම හා එහි හිමිකාරීත්වය ඇති මහජනතාවගේ සාමාන්‍ය ජීවිතයට අවහිර වන කිසිදු අවස්ථාවක් නිර්මාණය වීමට ඉඩ දී කටයුතු කළ නොහැකිය. ඒ අනුව මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ කුමන අර්බුද හෝ ප්‍රශ්න පැන නැගුණ ද රජය ශක්තිමත් කිරීමේ ප්‍රථම වගකීම පැවරී ඇත්තේ රටේ ජනාධිපතිවරයාට ය. ඕනෑම කෙනෙක්ට රජය සමඟ එකට එක්විය හැකි බව පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසා වියයුතුය.

 

වහසිබස්

 

එහෙත් මේ වනවිට දේශපාලන තලයේ සිදුවන ඇතැම් වහසි බස් අනුව ආණ්ඩුවේ පැවැත්මට අදාළව ඇතිකරගත යුතුව ඇති සම්මුතියට හානි වන අන්දමෙන් විවිධ මත මතුවෙමින් පවතී. එහි දී එක් පාර්ශ්වයක් සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී ඊට පක්ෂව ඡන්දය භාවිත කරන ලද ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයට එක්කර ගතයුතු නැති බවයි. එහිදි ඔවුන් උදාහරණයට ගන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. එහෙත් එහි දී පවා ඒ බොහෝ දෙනකු අමතක කරන ඉතා වැදගත් කාරණයක් ද තිබේ. එනම් වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුව ආණ්ඩු පක්ෂය තුළ සිටින කිසිදු සාමාජිකයෙකුට ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයකට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සාදාචාරාත්මක නොවනවාටත් වඩා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට එවැනි අවස්ථාවක දී ආණ්ඩුව සමඟ එකට සිටගත නොහැකි බවයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක කාරණාවක දී හැරෙන්නට ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වන විරුද්ධ පක්ෂයක් සිටිය නොහැකි බවයි.

ඒ අනුව සැලකීමේ දී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසු ආණ්ඩුවේ අභ්‍යන්තරයේ මතුව ඇති පසුකම්පනයන් ද ඊට අදාළව එක් එක් පක්ෂ අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් තුළ තවදුරටත් නිර්මාණය විය හැකි මහා කම්පනයන් ද සැලකීමේ දී ඒ කිසිවක් ආරම්භ හෝ සිදුවිය නොහැකි හා සිදු නොවිය යුතු දේවල් ලෙස සැලකිය නොහැකිය. යම් කිසිවකු එවැනි සිදුවීම් අපේක්ෂා නොකරන්නේ නම් එවැන්නකුගේ දේශපාලන සවිඥානකත්වය පිළිබඳව නැවත විමසා බැලිය යුතු වේ.

 

විය යුතු දේ

 

ඒ අනුව රටේ දැන් පවත්නා දේශපාලන චලනයන් තුළ ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට අදාළව වියහැකි ප්‍රමුඛ ආකාරයේ තත්ත්වයන් දෙකක් තිබේ. ඒ ජනවාරි 08 මහජන අභිලාෂයන් පිළිබඳ තවදුරටත් යම් හෝ විශ්වාසයක් ඇතිකරලමින් සම්මුති බද්ධ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සහතික වීමය. එය එසේ වීමට නම් ඊට අයත් ප්‍රධාන පක්ෂ දෙකම යම් යම් කරුණු කාරණා අරභයා ගෙන ඇති ඇතැම් තීන්දු නොසලකමින් නව සම්මුතියකට එළැඹිය යුතුව තිබේ. නොඑසේනම් පාර්ලිමේන්තුව තුළ වැඩි බහුතරයක් සහිත පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ආණ්ඩුවක් පිහිටුවීමය. එහි දී තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය සතුව ද ප්‍රමාණවත් මන්ත්‍රී නියෝජනයක් නොපවතී. එවැන්නක් සඳහා ඒ පක්ෂ දෙකටම තවත් පාර්ශවයක හෝ පාර්ශ්ව කිහිපයක සහයෝගය අත්‍යවශ්‍ය වනු ඇත. එහි දී තීරණාත්මක වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂයයි. අගමැතිවරයාට එරෙහිව මතු වූ විශ්වාසභංග යෝජනාවේ දී දෙමළ ජාතික සන්ධානයේ සහය අග්‍රාමාත්‍යවරයාට සෘජුවම ලබා දුන්න ද එජාපය සමඟ සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ අභිලාෂයක් ඇතැයි දකින්නට නැත. එමෙන්ම සාමාන්‍ය එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ද එවැනි අපේක්ෂාවක් නැත. අනෙක් අතට ශ්‍රීලනිපයට එවැනි උත්සාහයක් දැරීමට නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසකගෙන් සහයෝගයක් ලැබිය යුතුය. රටේ පවත්නා දේශපාලන සන්දර්භය තුළ එවැනි තත්ත්වයන් නිර්මාණය වීම අතිශයින්ම සීමා සහිතය. අනෙක් අතට එවැනි කුමන හෝ උත්සාහයක් ජනවාරි 08 ජනතා අභිලාෂයන්ට සපුරා පටහැණිය.

ඒ අනුව පවත්නා දේශපාලන පරිසරය තුළ විය හැක්කේ ද බහුතර ජනතා අපේක්ෂාවන් අනුව සිදුවිය යුත්තේ ද සම්මුති බද්ධ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමය. ජනතාව අපේක්ෂා කරන ලද අරමුණු ඉදිරි දෙවසර තුළ දී හෝ සාක්ෂාත් කරලීමට වෙර දැරීමය. ඒ සඳහා කටයුතු කළ හැක්කේ ළඟ බැලීමෙන් නොවේ. දුර දැක්මකින් කටයුතු කිරීමෙනි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද එක සේ අදාළය.

 

අදහස්