ජනපති පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට | සිළුමිණ

ජනපති පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව යෑමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අප්‍රේල් 16 වනදා සිට 20 වනදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ “පොදු අනාගතයක් වෙත” යන්නයි.

සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇත.

අප්‍රේල් 17 වනදා සිට 21 වනදා දක්වා එක්සත් රාජධානියේ සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය අතරතුරදී එරට අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ මහත්මිය හමුවීමටද නියමිත අතර, පොදු ර‍ාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිළිබඳ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිතුමාට ඇරියුම් ලැබී තිබෙන අතර, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජනගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකටද ජනාධිපතිතුමා සිය සංචාරයේදී සහභාගි වනු ඇත. 

අදහස්