බිඳුණු සම්මුතිය හා බැඳුණු දේශපාලන යථාර්ථය! | සිළුමිණ

බිඳුණු සම්මුතිය හා බැඳුණු දේශපාලන යථාර්ථය!

විශ්වාසභංගයෙන් පසු දෙදරා ගිය සම්මුතිය දෙස බලා හිනැහෙන අයත් සිටිති. ඒ අස්සේ තම දේශපාලන න්‍යාය පත්‍ර කළු මැද ඔපමට්ටම් කර ගැනීමට මාන බලන අය ද සිටිති. ඒ නිසා සිහි නුවණ මෙහෙයවා තීරණවලට එළඹීම දෙපර්ශ්වයේ ම යුතුකම හා වගකීම බව පෙන්වා දිය යුතුය. කැබිනට් වර්ජනය යනු මෙම අර්බුදය විදහා දැක්වීමක් මෙන්ම දේශපාලන ව්‍යාකූලත්වයකට මඟ පෑදීමක් බව ද සඳහන් කළ යුතුය. ජනතාව මේ දෙස බලා සිටින්නේ කලකිරීමකට වඩා කෝපය මුසු හැඟීමකින් බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් තහවුරු වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය වැඩි ජන්දයකින් නිෂ්ප්‍රභා කිරීමට සමත් වුවද එහි අනපේක්ෂිත ප්‍රතිඵලය වී තිබෙන්නේ මෛත්‍රී - රනිල් සම්මුතියට බරපතළ හානි සිදුවීමය. යහ පාලන ආණුඩුවේ කේන්ද්‍රීය බලවේග දෙකක් වන ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය හා එජාපය දිගින් දිගටම අනුගමනය කළේ අත්ත බිඳෙයි පය බුරුලෙන් න්‍යාය බව රහසක් නොවේ. දේශපාලන ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන් ද විවිධ විෂමතා ප්‍රදර්ශනය කෙරෙන පක්ෂ දෙකක එකමුතුව සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය හා දේශපාලන මඟ පෙන්වීම අතිශය දුෂ්කර කාර්යයකි. දෙපැත්තේම දේශපාලන සංයුතිය විමසා බලන විට පෙනී යන්නේ සමහරුන්ගේ දේශපාලන දැක්මේ දිළිඳු බවය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිළිබඳව හෝ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් හෝ ප්‍රථමික අවබෝධයක්වත් නොමැති බව පසුගිය තුන් වසරක පාලන සමය තුළ අඩු වැඩි වශයෙන් තහවුරු කර තිබේ.

මෛත්‍රී ජනාධිපතිවරයාත් රනිල් අගමැතිවරයාත් මේ කණ්ඩායම් දෙක සමඟ මේ ගමන පැමිණි ආකාරය කෙබඳු දැයි කවුරුත් දනිති. ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ තිබෙන ආවේණික ග්‍රාම්‍ය ලක්ෂණ ද මෙම සම්මුතියට නොයෙක් පීඩා විපත් සිදු කළ ආකාරය අපි ද දනිමු. දේශපාලනය යනු අර්බුද ගටුම් සමනය කරමින් රටේ ජනතාවගේත් අභීවෘද්ධිය උදෙසා යන බැරෑරුම් ගමනක් ලෙස පක්ෂ දේශපාලනය තුළ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නැත. මෛත්‍රී - රනිල් පාලනය පිළිබඳ නොයෙක් විවේචන අදටද තිබේ. එහෙත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා දැල් වූ 19 වැනි සංශෝධනය සමඟ රට අලුත් දිශාන්තයකට යොමු වූ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. සැබැවින්ම අද ජනතාව විසින් බුක්ති විඳිනු ලබන නිදහස පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරයාත්මක වෙනස්කම් ද එහි සාධනීය ප්‍රතිඵල විනා අන් දෙයක් නොවේ.

පරිණතභාවය

කෙසේ වුවද මෛත්‍රී ජනාධිපතිවරයා මේ අර්බුද හා පිඩාවන් හැකි උපරිම මට්ටමකින් සමනය කරගෙන පාලන කටයුතු මෙහෙයවීමට සියුම් විය. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේම පසුපෙළවලින් බොහෝ විට පළ වුයේ දේශපාලනික වශයෙන් ද නොමේරූ හා ප්‍රාථමික හැසිරීම් පමණක් නොව අවලාද, ගැරහුම් හා නර්මාලාප පමණි. මේ සියල්ලෙහි බරපතළම ප්‍රතිඵලය වුයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයයි.

මෙම විශ්වාසභංගයට විරුද්ධව මෙන්ම පක්ෂව ක්‍රියා කළ දෙපිරිසක් වෙති. විශ්වාසභංගයෙන් ජනපති හා අගමැති අතර අර්බුදයක් ඇති නොවුයේ ඔවුන් සතු දේශපාලන පරිණතභාවය මෙන්ම නායකත්වය පිළිබුඳ තිබෙන අවබෝධය නිසා බව නිසැකය. එහෙත් අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගයේ දී ජන්දය ලබා දුන් 16 දෙනා සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ප්‍රශ්නය ඉතාම ස්භාවිකය. ආණ්ඩුවේ අගමැතිවරයාට විරුද්ධව ජන්දය ලබා දෙන කිසිදු ඇම­ැතිවරයෙකුට යළිත් අගමැති සමඟ එකට සිට ක්‍රියා කළ හැකිද? යන ප්‍රශ්නය සුළු පටු එකක් නොවේ. ඒ ක්‍රියාවලියට දායක වු අයට ආණ්ඩුව තුළ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ද සැබෑය. මෙහිදි අගමැතිවරයා සමඟ එකඟතාවකට පැමිණ කිසියම් අවබෝධයකින් දේශපාලනික ක්‍රියාදාමයකට යෑමට පුළුවන් කම තිබුණි. එහෙත් එබඳු දෙයකට දෙපාර්ශවයෙන්ම ඉඩක් නොලැබුණි. එකිනෙකා අතර තිබෙන අඩුපාඩු විවේචනාත්මකව සලකා බලා එය කළ හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවීය.

එජාපයේ මන්ත්‍රීන් මෙන්ම පසුපෙළ බොහෝ මන්ත්‍රීවරු ද මෙම විශ්වාසභංගයේ දී අගමැතිවරයාට එරෙහිවු කණ්ඩායම දෙස බැලූවේ ද ඔවුන් විවේචන සිදු කළේ ද දැඩි පිලිකුලකින් හා වෛරයකින් බව පෙනුණි. ඔවුන් එල්ල කළ විවේචනවල දේශපාලනික ගුණය ඉක්මවු පෞද්ගලික අවලාද ස්වරූපයක් තිබුණි. මෙම දහසය දෙනාගේ කණ්ඩායම නෙරපා දැමිය යුතු බව එජාපය දැඩිවම අවධාරණය කළේය. පසු පෙළින් ඔවුන්ට එරෙහිව විශ්වාසභංග 16 ක් ද ඉදිරිපත් විය.

විශ්වාස භංගය ජය ගැනීමෙන් පසු පැවත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ එම කණ්ඩායමට අයත් ඇමතිවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ තමන්ට ඇමැති ධූරවලින් ඉවත්වීමට ඉඩ ලබා දෙන ලෙසය. ඇත්තවශයෙන්ම කැමැත්තෙන් ඉවත් වී සිය හෘදය සාක්‍ෂිය අනුව ක්‍රියා කිරීමේ පරම අයිතියක් ඒ හැම කෙනෙකුටම තිබේ. එජාපයේ ඇතැම් විවේචකයන් කියන ආකාරයට ඇමතිකමක් සඳහා තම පෞද්ගලිකත්වය විනාශ කර ගැනීම හෝ බාල්දු වීමට හෝ මේ කිසිඳු ඇමතිවරයෙක් කැමැති නොවෙති. එජාපයේ සමහරුන් ඔවුන්ට එරෙහිව චෝදනා කිරීමේ දී කානුවට බසින ආකාරය රටටම පෙනුණි. අප දන්නා පරිදි මේ කිසිදු දේශපාලන පක්‍ෂයක පිරිසිදු, නිර්මල අනුගාමිකයෝ සිටිත් නම් ඒ ඉතා අඩුවෙන්ය. බලය හා තනතුර සඳහා පිල් පැනීමේ රුසියන් ගෙන් පිරී ගිය දේශපාලනයක් තුළ අභිමානයෙන් හා ආඩම්බරයෙන් ප්‍රතිපත්ති අනුව ක්‍රියා කළ අය ඉතා අඩුවෙති.

කෙසේ වුවද රනිල් අගමැතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ක්‍රියා කළ හැකිද යන්න තවදුරටත් විවේක බුද්ධියෙන් යුතුව කල්පනා කර බලා නිගමනයකට එලඹෙන ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා මෙම ඇමතිවරුන්ට දැනුම් දී ඇත්තේ ද පරිණත හා සංවේ දී නායකයකු ලෙසය. දේශපාලන තීන්දු යනු ක්‍ෂණිකව ගත යුතු මෙන්ම කල්පනාකාරීව ගත යුතු තීන්දු ලෙස වර්ග දෙකක් තිබේ. දේශපාලනයේ දී බැලිය යුත්තේ බලය නොව රට ගැනය. රටේත් ජනතාවගේත් හෙට ගැනය.

අවලාද දේශපාලනය

විශ්වාසභංගයෙන් පසු දෙදරා ගිය සම්මුතිය දෙස බලා හිනැහෙන අයත් සිටිති. ඒ අස්සේ තම දේශපාලන න්‍යාය පත්‍ර කළු මැද ඔපමට්ටම් කර ගැනීමට මාන බලන අය ද සිටිති. ඒ නිසා සිහි නුවණ මෙහෙයවා තීරණවලට එළඹීම දෙපර්ශ්වයේ ම යුතුකම හා වගකීම බව පෙන්වා දිය යුතුය. කැබිනට් වර්ජනය යනු මෙම අර්බුදය විදහා දැක්වීමක් මෙන්ම දේශපාලන ව්‍යාකූලත්වයකට මඟ පෑදීමක් බව ද සඳහන් කළ යුතුය. ජනතාව මේ දෙස බලා සිටින්නේ කලකිරීමකට වඩා කෝපය මුසු හැඟීමකින් බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් තහවුරු වේ.

මේ සියලු අර්බුදවල ප්‍රතිඵල නෙලා ගැනීමට හැකි වන්නේ රාජපක්‍ෂ පිල ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයටය. ජවිපෙ දේශපාලන ගමන හා භාවිතය කෙතරම් පිරිසිදු වුවද ජනතාව තවමත් ජවිපෙ බලවේගය දෙස බලන්නේ තරමක් දුරස්ථවය. එම නිසා මේ දේශපාලන ගමන රටට උචිත පරිදි සකසා ගැනීමට තවමත් සුළු හෝ ඉඩක් තිබෙන බව ද අපට පෙනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නැඹුරුව ආපසු හැරවීමට හෝ යළිත් රට දේශපාලන අරාජිකත්වයට තල්ලු කළ යුතුද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ වගකීම බව ඔවුහු තේරුම් ගත යුතු වෙති. තම දේශපාලන වලිගවලට වුවමනා පරිදි හිස නැටවීමට වඩා, රටේත්, ජනතාවගේත් අපේක්‍ෂා යථාර්ථයක් බවට පත් කිරීමට ඔවුහු සෘජුව හා එඩිතරව තීන්දු තීරණ ගත යුතු වෙති.

අමතක ඉතිහාසය

රනිල් අගමැතිවරයා අද සිය පක්‍ෂය තුළ අර්බුදයකට මැදිවී සිටියි. මෛත්‍රී ජනාධිපතිවරයා ද ආණ්ඩුව තුළ අර්බුදයකට මැදිවී සිටියි. මෛත්‍රී ජනාධිපතිවරයා මේ දේශපාලන ගමනට ශක්තිය හා බලය ලබා දුන් ආකාරය රටම දනිති. එය සැබැවින්ම ජීවිතය උකසට තබා කළ දේශපාලන සූදුවක් වැනිය. එහෙත් අද ඔහුගේම පක්‍ෂයේ හිටපු නායිකාවට ද එය අමතක වී තිබීම සංවේගය දනවයි. නොබෝ දිනක ඇය විසින් සඳහන් කරන ලද පරිදි එවේලේ ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහැකි දේශපාලන පසුබිමක් මෙරටේ නොවූ බවට අමුතු අටුවා ටීකා අවශ්‍ය නැත. ඇය සඳහන් කරන දේශපාලන යන්ත්‍රණය ඇගේ හිතලුවක් පමණි. 2015 ජනවාරි 08 ජයග්‍රහණය සඳහා කැපවූ සිවිල් සංවිධාන මෙන්ම පුද්ගලයෝ ද එදා තිබුණු දේශපාලන භීෂණය ඉඳුරාම දැන සිටියහ. අනෙක් අතට ඇය සඳහන් කරන දේශපාලන පරිසරයක් තිබුණි නම් එම මැතිවරණය සඳහා එජාප නායක වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොකිරීමට හේතුවක් ද නැත. තමාට ජයග්‍රහණය කළ හැකි පසුබිමක් තිබුණි නම් එජාපය ද ඒ සඳහා පොදු අපේක්‍ෂකයකු වෙත නොයෑම ද ස්වාභාවිකය. මේ රටේ පැරණිතම දේශපාලන පක්‍ෂයේ නායකයාට ඒ අවස්ථාව දිය යුතුව තිබුණි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඔහුගේ වියෝවින් අවසන් වූ දේශපාලනය තුළ කිසිදු අවස්ථාවක එජාපය ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ අාකාරයද අපට පෙනේ. චන්ද්‍රිකා සමඟ තරගයට නියමිතව සිටි ගාමිණී දිසානායක මහතාගේ වියෝවේ සිට දිගින් දිගටම එජාපයට මේ සඳහා ධෛර්ය සම්පන්නව මුහුණ දීමට නොහැකි වූ බව කිසිවිටෙක සැඟවිය නොහැක.

හිටපු ජනාධිපති චන්ද්‍රිකාට අද ඒ දේශපාලන ඉතිහාසය අමතක වී තිබේ. එයට හේතුව ඇය ද අයත්වන වරප්‍රසාද සහිත පන්තියෙන් පරිබාහිර වූ පොදු ජනයා අතරින් පැමිණි පිවිතුරු රජරට නායකයා දෙස වපර ඇසින් බැලීම නිසාදැයි දන්නේ ඇයම පමණි. පාරම්පරික දේශපාලන නිජබිම වන අත්තනගල්ලෙන් දැක්වූ ප්‍රතිචාරය කුමක් ද යන්න ඇය දනී. ඒ නිසා දේශපාලනය යනු පාරම්පරික උරුමයක් හෝ ප්‍රවේණිගත හිමිකමක් නොවන බව ද අපට පෙනෙන යථාර්ථයයි. ඒ නිසා මෛත්‍රීගේ ජයග්‍රහණය ඒකාබද්ධ විපක්‍ෂයේ පොල් ලෙලි න්‍යායට සමාන කිරීම දේශපාලන කුහකකමකි.

කෙසේ හෝ මෛත්‍රී ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවෙන් ප්‍රකාශ කර තිබුණේ අපි ඔක්කොම එකට ඉඳිමු. මට වුවමනා ඔබ සියලූ දෙනාම එක තීරණයකට එළඹෙනු දැකීම බවය. එහෙත් කිසිදු එකඟතාවයක් නොවුනත් හෙට සිට මේ ගමන යා යුතු බව ද මෛත්‍රී ජනාධිපතිවරයා හොඳින් දනියි. මෙම අර්බුදයට විසඳුම අලුත් කැබිනට් මණ්ඩලයක් නම් එය මඟහැර යාමට ඔහුට ඉඩක් ද නැත. මේ සටහන කියවන මොහොත වන විට ඇතැම් විට ඔබට එම ප්‍රතිඵලය කුමක් දැයි නිශ්චිතව දැන ගැනීමට හැකිවනු ඇත.

මෙහි දී එජාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ සිටින සමහරුන් ද කල්පනා කරන්නේ ශ්‍රීලනිපය හා සන්ධානය නැති තනි ආණ්ඩුවක් ගැනය. එහෙත් එය හිතළුවක් පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ තම බලය පෙන්වීම සඳහා කිසිසේත් ජවිපෙ උදව් දෙනු ඇතැයි සිතිය නොහැක. එසේ නම් බිහි විය හැක්කේ එජාප - දෙමළ සන්ධාන හවුලකි. එහෙත් එබඳු හවුලකට යෑම දේශපාලන වශයෙන් කෙබදු ප්‍රතිඵල ලබා දෙනු ඇද්දැයි යන්න එජාපය හොදින් දනී. මේ නිසා දැනට තිබෙන එකම විසඳුම මේ සම්මුතිය යළි ගොඩනගා ගැනීමය. එහි දී අධිපතිවාදී දේශපාලන මමංකාරයට ඉඩක් නැත. තමා මෙන්ම අනෙකා ද වැදගත් බව කල්පනා කළ යුතුය.

සිංහයා හා වනය

සිංහයා නිසා වනය රැකෙන්නා සේම වනය නිසා සිංහයා ද රැකෙන බව පංචතන්ත්‍රයේ උපමා කතාවක එයි. ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි නම් ඊළඟට කළ යුත්තේ මැතිවරණයට යාමකි. එයට ද ව්‍යවස්ථානුකූල බාධා තිබේ. අනෙක එබඳු මැතිවරණයක ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද? මේවා හීන්සීරුවේ කල්පනා කළ යුතු දේවල්ය. කාටකාටත් පොදු දේවල්ය. දේශපාලනයේ දී බලය ගැන මෙන්ම රට ගැන ද කල්පනා කළ යුතුය. සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයා බැලිය යුත්තේ ඊළඟ මැතිවරණය දෙස නොව ඊළඟ පරම්පරාව ගැන ය. යන ප්‍රකාශය අපට සිහිපත් වේ. එනිසා බිඳුණු සම්මුතිය හා බැඳුණු දේශපාලන යථාර්ථය දෙස බුද්ධිමත්ව විමසා බැලිය යුතු බව පමණක් සඳහන් කරමු.

සුමේධ ජයබාහු

අදහස්