කළ හොඳ පස්සෙන් එළවනවා වාගේ | සිළුමිණ

කළ හොඳ පස්සෙන් එළවනවා වාගේ

එක ගමක වැසියෙක් දිනක් ලී දඬු ටිකක් කපා ගැනීමට කැලයට ගියේය. ලී කපමින් කැලෑවේ ඈතට ගිය ඔහු ආපසු එන පාර සොයා ගත නොහැකිව අතරමං වී හෙම්බත්විය. අවසානයේ ඔහු ගසක් යට වාඩිවී ආපසු ගමට යන හැටි කල්පනා කළේය. කුසගින්නේ සිටි හෙතෙම පසුවූයේ දැඩි බියෙනි. මෙසේ ගස යට ඈඳි ගෙන සිටි ඔහු අබියසට ආවේ නරියෙකි.

“ගම මහත්තයෝ මොකද මේ ගහක් යටට වෙලා කල්පනා කරන්නේ?” ගැමියා ළඟට කිට්ටු වූ නරියා විමසීය.

“නරි නයිදේ මං මේ කැලේට ලී කපන්න ඇවිත් අතරමං වුණා. මට ගමට යන පාර හොයා ගන්නයි ඕනෑ” ගැමියා බොහෝ අසරණව පැවසීය.

“ආ, මට පුළුවන් ගමට යන පාර පෙන්නන්න.” නරියා ඇස් කරකවමින් පැවසුවේ ඊට ප්‍රතිඋපකාරයක්ද බලාපොරොත්තුවෙනි.

“නරි නයිදේ, මට ආපසු ගමට යන පාර පෙන්නුවොත් මං උඹට හොඳට සලකන්නම්”

“හා හොඳයි මට මොනවාද එහෙනම් දෙන්නේ”

“මං උඹට ගෝනියක් පුරවලා කුකුල්ලු දෙන්නම්”

කුකුල්ලු කී ගමන් කටට කෙළ උනද්දී “හා හොඳයි” කියමින් ඉස්සර වූ නරියා ගමරාලට ගමට යන පෙන්නා ගම පෙනෙනතෙක් මානයේදී නතර විය.

“මට දෙනවා කී තෑග්ග මෙතෙන්ට ගෙනත් දෙන්න”

නිවෙසට පැමිණි ගැමියා තමන් වනයේ දී අතරමංවූ පුවත බිරියට පවසා නරියා ගමට පාර පෙන්වු බවද පැවසීය.

“දැන් නරියා ගම කෙළවරේ මං කුකුල්ලු ගේනකම් බලා ඉන්නවා”

“හොඳයි! මං දෙන්නම්කෝ නරියාට හොඳවැයින් කුකුල්ලු ටිකක්” යනුවෙන් පැවසූ ගැමි බිරිය ගෙදර සිටි දඩෝරි බල්ලා ගෝනියකට දමා කට ගැට ගසා නරියාට ගිහින් දෙන ලෙස සැමියාට පැවසුවාය.

ගැමියා ගෝනිය ගෙන ගොස් නරියා අසලින් තබා හණිකට නිවෙසට ආවේය.

නරියාද කටට කෙළ උනද්දී වහා ගෝනියේ කට ලෙහුවේ එතැන සිටම කුකුළකුගේ රස බැලීමටය. එහෙත් ගෝනිය ලිහූ සැණින් එළියට පැන්නේ දඩෝරියාය. දඩෝරි බල්ලා නරියා පසුපස පන්නමින් කැලය දෙවනත් කරද්දී නරියා පණ එපා කියමින් දුව ගියේය.

කැලේ කඩා ගෙන දුව යන නරියා දුටු අනෙක් සතුන් ඒ ගැන විපරම් කරද්දී නරියා, “කළ හොඳ පස්සෙන් එළවනවා” යැයි කියමින් දිව ගොස් පණ බේරා ගත්තේය.

කතාව - සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු මාමා

අදහස්