සිත්ත­රා­වි­යගේ මුද්දර සිත්තම | Page 2 | සිළුමිණ

සිත්ත­රා­වි­යගේ මුද්දර සිත්තම

සිත පිනවන සොදුරු බවින් ජීවිතය වර්ණවත් කර ගන්නට අප කවුරුත් කැමැතිය. එහෙත් සෑම ජීවිතයකටම වෙන්වූ පාටක් ඇති බව දන්නේ අල්ප දෙනෙකි. ඇය සිය ජීවිතය වර්ණවත් කර ගත්තේ පින්සලෙන් සහ පෑනෙනි. කුඩා කළ සිටම විචිත්‍ර වර්ණ , සායම් සමග රස ගැන්වෙමින් දිවිය හැඩ කරගන්නට සමත් වූ මේ සිත්තරාවිය වැඩි වශයෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන ලද්දේ කුඩා දරුවන් සදහාමය. වසර විස්සකට අධික මාධ්‍ය ඉතිහාසයකට හිමිකම් කියන ඇය නමින් සමන්ති මිරියගල්ලය.

1994 වසරේ චණ්ඩි ළමා පුවත්පතෙන් ඇය සිය මාධ්‍ය මෙහෙවර අැරැඹුවාය.සිය පෑන් තුඩින් කවි ,ගීත කෙටි කතා , ළමා කතන්දර මෙන්ම විවිධ ප්‍රවෘත්ති සපයමින් නිදහස් මාධ්‍යෙව්දිනියක ලෙසින් ටයුතු කරන ඇය ජාතික පුවත්පත් කිහිපයක් සදහාම නෑකම් කියයි. එමෙන්ම ගුවන් විදුලිය සදහා මෙන්ම

ජාතික රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් නිවේදිකාවක ලෙස ද කටයුතු කරන සමන්ති කටුන් හා කෙටි චිත්‍රපට හඩකැවීම් ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියැළෙමින් ලැබෙන සෑම ඉඩකඩක්ම ඈ සිය නිර්මාණකරණය වෙනුවෙන් කැප කරනා අතර, මුද්දර නිර්මාණ ශිල්පිනියක ලෙසින් කරළියට එන්නට ඇයට වාසනාව ලැබිණි. අද අප කතා කරන්නේ මුද්දර ශිල්පිනියක් වීම ඇයට උදා වූ භාග්‍යය පිළිබඳවය.

''මුලින්ම මුද්දරයක් නිර්මාණයට අවස්ථාව ලැබෙන්නෙ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් 2016 ලෝක ළමා දින ජාතික උත්සවය සදහා චිත්‍ර නිර්මාණය කිරීමට ලැබුණු අවස්ථාව නිසා. එහි ඉදිරිපත් කළ එක් චිත්‍රයක් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් එම වසරේ ලෝක ළමා දින සමරු මුද්දරය සදහා තෝරා ගන්නවා.

ඉන් අනතුරුව 2017 ලෝක ළමා දින ජාතික උත්සවයේ චිත්‍ර ද නිර්මාණය කරනවා. පරිවාස කටයුතු දෙපාර්තමේන්තුව මඟින් 2016, 2017 වසරවල නිකුත් කළ ළමා දින කොඩිය නිර්මාණය කළෙත් මමයි.

ඒ වගේම ජාතික කාන්තා කමිටුව විසින් ගැහැනු දරුවාගේ දිනය වෙනුවෙන් ප්‍රකාශනය කළ “යෞවනයයි ආදරයයි “ පොත රචනා කොට එහි සිතුවම් නිර්මාණය කිරීමට ද මට අවස්ථාව ලැබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙ 2017 දුම් වැටි විරෝධී දින කොඩිය, පෝස්ටරය හා ස්ටිකරය නිර්මාණය කළා. ඒවගේම සමෘද්ධි දෙපාර්තමේන්තුවෙ නිවාස වාසනා ලොතරැයි වැඩසටහනේ පසුතලය නිර්මාණය කරන්නටද මට අවස්ථාවලැබෙනවා.

චිත්‍ර නිර්මාණය තුළින් ළමා කතන්දර රැසකට හා පොත් පිටකවර සදහා ද මං දායකත්වය සපයනවා. මේ ඇගේ නිර්මාණ ගමන් මගේ මතකයන් කිහිපයක් පමණයි. විශේෂයෙන්ම 2018 වසරෙ වෙසක් උත්සවය සදහා නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම ජීවිතයේ ලැබූ විශාල භාග්‍යයක් ලෙසයි ඇය විශ්වාස කරන්නෙ.

චුල්ල සුතසෝම ජාතකය ඇසුරින් මේ මුද්දර නිර්මාණය කර තියෙනවා. සමන්තිගේ සිතුවමෙන් යුත් මේ සමරුමුද්දර ත්‍රිත්වය 2562 වන වෙසක් සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රු 10.00 , රු 15.00 සහ රු 35.00 අප්‍රේල් 09 දින බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කළේය.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන සමන්ති මිරියගල්ල මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා උපාධිය හදාරමින් සිටින්නීය.ලේඛන කටයුතු වලට අමතරව, පොත් පිටකවර නිර්මාණය , ළමා කතාන්දර සදහා චිත්‍ර නිර්මාණය සදහා විශේෂ කැමැත්තක් දක්වන සමන්ති 2015 වසරේ කොළඹ තරුණ කලාකරු සම්මානයෙන්ද 2016 වසරේ බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් කලාකරුවන් සදහා පිරිනමන ලද විශ්වාභිනන්දන සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ඉදිරියේ දී ඇය විසින් රචිත දරුවන් සදහා නිර්මාණය කළ ළමා පොත් එළි දක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින අතර, මුද්දර ශිල්පිනියකලෙස නව මුද්දර නිර්මාණය කරන්නට ද බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්.වී.ඩී.අයි.අබේවික්‍රම මහතා සහ චන්න මුණසිංහ මහත්වරුන්ට ඇය ගෞරවනීය ස්තුතිය පළ කරයි.

මුද්දර ත්‍රිත්වයට අමතරව මුල් දින කවරය හා සමරු පත්‍රිකාව නිර්මාණය කරන්නෙත් සමන්ති විසින් සිත පිනවන , නෙත සනහන කලාවෙන් අන්‍යයන් තුටු කරන්නට හැකිවීම සතුටට කරුණක්. සමන්ති එකවර විවිධ සහජ හැකියාවන් කිහිපයක්ම භාවිතයට ගනිමින් නිර්මාණ කරණයෙ යෙදෙන්නෙ සිය රැකියාවේ ද නිරත වෙමින්.

ඇගේ ජීවිතයේ සතුට හා සොදුරු බව රැදී ඇත්තේ කලාවෙන් ලැබෙන සංයමය හා ශික්ෂණය තුළින් බවයි ඇය පවසන්නෙ. චිත්‍ර කලාව භාවිත කරමින් මුද්දර ශිල්පිනියක ලෙස තවත් නිර්මාණ සිදු කරන්නටත් දරුවන් වෙනුවෙන් නව ළමා කතන්දර නිර්මාණයන් කිරීමත් ඇගේ බලාපොරොත්තු අතරින් කිහිපයකි.

Comments