නියා­ම­නය අවශ්‍ය මුහුණ පොතට පම­ණක් නොවේ! | සිළුමිණ

නියා­ම­නය අවශ්‍ය මුහුණ පොතට පම­ණක් නොවේ!

1980 දී පමණ අප රටට රූපවාහිනිය හඳුන්වා දෙන විට වියතුන්ගේ අදහස වූයේ එදා නොව අප රටට රූපවාහිනියක් අවශ්‍ය වන්නේ තවත් වසර 25 කින් පසුව බවයි. එදා අපේ ආර්ථික දේශපාලනික හා සමාජ පදනම අනුව එය එසේ විය යුතු වූ නමුදු එදා අපේ දේශපාලකයන්ට ඒ තතු නොවැටහුණු නිසාදෝ ජපානයෙන් නොමිලයේ වාගේ ලැබුණ හෙයින් දෝ රූපවාහිනී අරඹන ලදි.

අද වන විට මුළු රටම ගිලගත් රකුසකු බවට රූපවාහිනිය පත්වෙමින් තිබේ. එහි නොයෙක් යහපත් පැත්ත තිබුණත් වල් පැළ කිසිදු අපහසුවකින් තොරව වැඩෙන්නාක් මෙන් එහි විනාශකාරී පැත්තට ම අප රට ගමන් කරමින් තිබෙන්නේ ඉතා භයානක අයුරිනි. මේ වන විටද අපට තිබූ අදීන ජාතිකත්වය ගෞරවනීයත්වය, හැදියාව, සැබියාව, ආගම දහම වළපල්ලට යමින් සිටී.

රටේ සාමය සංහිඳියාව නැතැයි කියමින් බලධාරීහු ඒවාට පිළියම් සොයන්නට අහස පොළොව ගැටලමින් ලොව වටා ද යති. එහෙත් දවස පුරා සෑම නිවෙසකම මැද සාලයේ රැව් පිළිරැව් දෙන රූපවාහිනියේ වැඩසටහන් මඟින් සාමය සංහිඳියාව විනාශ වන දේම විකාශය කරනු ලබන බව කිසිදු බලධාරියෙකුට නොපෙනෙන්නේ රටේ අවාසනාවදැයි නොදනිමි.

විදේශ චිත්‍රපට, විදේශ ටෙලි නාට්‍යයන් සිංහල දෙබස් කවා ඉදිරිපත් කරමින් අපේ දරුවන්ගේ හිතේ තිබෙන සංහිඳියාව ද සාමය ද අකාමකා දමමින්, ඔවුන් රාගයෙන් ද්වේශ­්යෙන් මුසපත් කරවමින් සුපර් ස්ටාර්, සුපර් හීරෝ හා විවිධ රියැලිටි වැඩසටහන් දරුවන් ගේ සිත තුළ ආගම දහමින් ලද සාමය, සංවරය පමණක් නොව අභිමානය ද විනාශ කරමින් අපට රටක්, ජාතියක්, ආගම දහමක් තිබේ ද යන්න පවා අමතක කරවමින් කරනු ලබන විසූක දස්සන නෙයියාඩම තුළින් රටට, බසට, රැසට සිදුවන හානිය පිළිබඳ බලධාරීන් සිතා බලා විමසිය යුතු කාලය එළඹ ඇති බව සිහිපත් කරවමි.

අවසන අපට සිදුවන්නේ එදා කුමරතුඟු මුනිදස් මහ පඬුවාණන් පැවසූ පරිදි “සියලු දෙවියනි සිනහසෙන්නට වෙන කරුණක් නැතිනම් අප රට දෙස බැලුව මැනවි” යනුවෙන් සුසුම් ලෑම පමණයි. රූපවාහිනිය අපේ දරුවනට පොවන විෂ හලාහල විෂක් බවට පත්වෙමින් පවතී. මේ සිදුවන විපත මත් කුඩුවලින් සිදු වන විපතට වඩා බියකරු වන්නේ මේ විෂ අපේ මැද සාලයට ම පැමිණ පොවන හෙයිනි.

එක් එක් නාළිකාව උනුනුන් පරයා කරනු ලබන හීන දීන කම් නොපනත්කම් චිත්‍රපට ටෙලිනාට්‍ය ඔස්සේ පමණක් නොව හරසුන් වෙ‍ෙළඳ දැන්වීම් ඔස්සේ සිදුවීම අලි මදිවාට හරක් කීවා සේ විඳ දරා ගැනීමට ද නොහැකි මහ විපතකි. මෙසේ සිදුවන ආගමික, සංස්කෘතික සෝදාපාළුව රන් කහවනු පසුපස හඹා යන ව්‍යාපාරික ප්‍රජාවට වැටහෙන්නේ ම නැත. පෙරහරේ යන උන්ට පෙරහර නොපෙනෙන්නා සේ මොවුනට මෙහි හොඳ නරකක් දැනෙන්නේ නැත. එය හරි හැටි පෙනෙන්නේ උපන් මවුබිමේ ගෞරවය, අභිමානය, යශෝකීර්තිය පසක් කරමින් පසෙක සිට යෝනිසෝමනසිකා‍රයෙන් විමසා පෙරහර බලන අයටය.

කොරේ පිට මරේ කීවා සේ මේ වන විට ෆේස් බුක්, වයිබර්, වට්ස්ඇප් සමාජ ජාල වෙබ් අඩවි හරහා අපේ දරුවන් ද වැඩිහිටියන් ද ජාතිය ද සංස්කෘතිය ද, ආගම දහම ද කනපිට පෙරළමින් සිටින්නේ යුක්ති ධර්මයෙන් තොර රටක් පල් හොරුන් රැළකට බාර දුන්නා සේය. පසුගිය දා දින කීපයකට මේවා තහනම් කළ අවස්ථාවේ ෆේස් බුක් ගිණුමෙන් උපන්නනුවන් මෙන් ෆේස් බුක් නැතිව නින්ද නොයන බව කියමින් ඒවා ඉල්ලා උද්ඝෝෂණ ද කළහ.

අද මත්කුඩු, පාතාල, ළමා අපචාර, ලිංගික අප‍යෝජන, මිනිමැරුම් මංකොල්ලකෑම්, කාම අපරාධ, ජඩකම්, සැහැසිකම් සියල්ලම රූපවාහිනියෙන්, සමාජ ජාලා වෙබ් අඩවි හා ජංගම දුරකතනවලින් ලැබෙන මහත් පිටුබලය නිසා මේ මර්දනය කරන්නට බැරි තරමට සූක්ෂ්ම වන්නේය. රූපවාහිනිය බැලුවොත් අපරාධයකි. මිනිමරුමකි. පැහැරගැනීමකි. වෙඩි තැබීමකි. පිහියා ඇනුමකි. අයුක්තියකි. අසාධරණයකි. හෙට සමාජය ගොඩ නගන දරුවන්ට මේවා සුළු සිද්ධි බවට පත්වන තරමට මේවා සුලභ වී ඇත.

අවිද්‍යාව, නොදැනීම නිසා සංස්කාර රැස් කරමින් නිරයට, තිරිසන් අපායට, ප්‍රේත ලෝකයට මාරුවෙමින් යන අඳ බාලයිනි විද්‍යු­ාව ගෙඩිපිටින් නොගිල මේ ආගම දහමින් පෙන්වා දෙන සැනැසුම් සහගත නිවුණු ලොවට කවදා කෙසේ පිවිසෙන්නද කියා මඳක් නැවතී සිතා බලනු මැනවි.

නො එසේ නම් තවත් වසර දහයකින් අපට රටක්, ජාතියක්, ආගම දහමක් සැබියාවක් හැදියාවක් ඉතිරි නොවන්නට හොඳටම ඉඩ ඇති බව සිහිපත් කරවමි.

 

අදහස්