ඉර වන්ද­නාවේ සිංහල දෙමළ සබැ­ඳි­යාව | සිළුමිණ

ඉර වන්ද­නාවේ සිංහල දෙමළ සබැ­ඳි­යාව

හිරු දෙවියා පිදීම සිංහල දෙමළ ද්විත්ව ජාතීන්ට ම පොදු වූ චාරිත්‍රයකි. රාවණ යුගයේ පටන් මෙම චාරිත්‍රය පැවති බවට පුරාවිද්‍යාත්මක තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබේ. මේ ප්‍රාග් ඓතිහාසික තතු සොයා යන්නන් අතර පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව ඉදිරියෙන්ම සිටියි. ඒ අනුව වත්මන් 'කූරගල' රාවණා රජු හිරුදෙවියන් වන්දනා කළ ස්ථානය බව රාවණා මතවාදය පිළිබඳව අදහස් දක්වන බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය විසින් පවත්වාගෙන ගිය ටැමිල් නෙට් වෙබ් අඩවිය දෙමළ ඉතිහාසය ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙරට දෙමළ ජනතාව, රාවණ රජුගේ කාලයේ සිට පැවත එන පිරිසක් බවය. ඒ කරුණු කාරණාවල සත්‍ය අසත්‍යතාව ‍කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය. ඒ මෙරට ස්වදේශිකයින් තමන්ගේ පූර්වජයකු ලෙස රාවණා රජු පිළිගැනීමට පෙළඹී සිටීමයි. ඉන් ගම්‍යමානවන කාරණය වන්නේ සිංහල දෙමළ ජනතාව වර්තමානයේ කුමන ආස්ථානයක සිටියද ඓතිහාසික වශයෙන් ගත් කළ ඔවුනොවුන් එකම ජනකොට්ඨාසයක් ලෙස එකට ජීවත්ව ඇති බවය.

දෙමළ මාස ක්‍රමය අනුව දුරුතු මාසය හෙවත් තෛ මාසයේ (ජනවාරි) මුල් දිනය පොංගල් උත්සවය පවත්වන දිනයයි. ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව එම දිනය යෙදී ඇත්තේ ජනවාරි 14 වෙනිදාට හෝ 15 වෙනිදාටය. අලුත් මැටි බඳුනක පිළියෙල කරගන්නා රස මුසු කිරිබත හෙවත් 'පොංගල් බත' එදින උත්සවයේ ප්‍රමුඛතම අංගය වේ. සහල්, හකුරු හා කිරි එක්කර එම අලුත් මැටි බඳුනට දුඹුරු පැහැති සීනි, එළඟි තෙල්, කජු සහ වියළි මිදි එකතු කර 'පොංගල් බත' පිළියෙල කරගනී. මේ සඳහා නෙළා ගත් අලුත් අස්‌වැන්නේ සහල් උපයෝගී කරගැනීමට සිරිත ය. මේ බඳුන හිරු එළියේ තබා පිසගැනීම සාම්ප්‍රදායික සිරිතය. හිරු එළියෙන් පැසී කිරි බඳුන උතුරා යන මොහොතේ 'පොංගල් පොංගල්' යනුවෙන් ශබ්ද නගා කෑ ගැසීම අවට සිටින අයගේ සාම්ප්‍රදායික සිරිතය. 'පොංගල්' නමින් හඳුන්වන්නේ මෙලෙස සකස් කරගන්නා ආහාර බඳුන ය. එම අවස්‌ථාවේ දී හක්‌ගෙඩිය පිඹීමත් එම චාරිත්‍රයේම කොටසකි. මෙරට සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතර හක්ගෙඩිය අපට අමතක කළ නොහැකිය. සිසපතිකා‍ හෙවත් කුවන්නාගෙන් සිරිසවස්තු පුරයේ පැවැත්වෙන උත්සවය පිළිබඳව තතු විමසන විජය අර සක් පිඹිනවා ඇසෙන්නේ කවර දෙසකින්දැයි විමසයි. දළදා මාළිගාවේ තේවාව ආරම්භවන්නේ ද සක් පිඹීමත් සමඟ වැයෙන මගුල්බෙර වාදනයෙනි.

 

පුරාවෘත්ත

 

කිරි ඉතිරීම සුබ ලකුණක්‌ ලෙසට සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනයා ද සිතති. එනිසා නව අවුරුද්ද ආරම්භ වන්නේ කිරි ඉතිර වීමත් සමඟය. තෛයි පොංගල් උත්සවයේදී ද සාම්ප්‍රදායිකව සකසා ගත් කිරිබත හිරු දෙවියන්ට පිළිගැන්වීම තුළින් අලුත් අස්‌වැන්න වෙනුවෙන් දෙවියන්ට කෘතගුණ දැක්‌වීම සිදු කරයි. ඉන් අනතුරුව නිවෙස්‌ තුළ රැස්‌ව සිටින අය උත්සවශ්‍රීයෙන් පොංගල් බත අනුභව කරමින්, අන්‍යන්ට බෙදා දෙමින් සතුටු වෙති. දෙමළ ජනයා 'සැවොරි' නමැති සුවඳවත් පැළෑටි හා වඩේ, මුරුක්‌කු, පායසම් බඳුන් රැගෙන එකිනෙකා අතර සුබ පැතුම් හුවමාරු කරගනිති. සිංහල ජනතාවද මේ ආකාරයටම අලුත් අවුරුද්ද දවසේ සිය අසල්වාසීන් සමඟ කැවිලිපෙවිලි හුවමාරු කර ගනිති.

පොංගල් උළෙල හා බැඳුණු පුරාවෘත්ත අතර වඩාත් කැපී පෙනෙන චරිත දෙක වනුයේ ශිව දෙවියන් හා ඉන්ද්‍ර දෙවියන්ය. ශිව දෙවියන්ගේ ගවයා වනුයේ 'නන්දි' ය. දිනක් නන්දි ඇමතූ ශිව පෘථීවියට ගොස්‌ තෙල් සාත්තුවක්‌ කර සෑම දිනයක දී ම ස්‌නානය කරන ලෙස මනුෂ්‍යයින්ට දැනුම් දෙන ලෙස පැවසීය. එසේම මසකට වරක්‌ ආහාර ගන්නා මෙන් උපදෙස්‌ දී එන ලෙස ශිව දෙවියන් නන්දියට ප්‍රකාශ කර සිටියේය.

නමුත් ශිව දෙවිඳුන්ගේ පණිවුඩය වරදවා වටහා ගත් නිසාදෝ, නන්දි පෘථීවියට පැමිණ සෑම දිනකම ආහාර ගන්නා ලෙසත්, මසකට වරක්‌ තෙල් සාත්තු කිරීම හා ස්‌නානය කිරීම සිදු කරන ලෙසත් මානව සමාජයට පැවසීය. එම වරද පිළිබඳව කුපිතව කෝපයෙන් දිදුලන ශිව දෙවියන් සිය ගවයා වූ නන්දියට ශාප කළේය. එම ශාපය අනුව නන්දි සදාකාලිකව පෘථිවියේ ම වාසය කළ යුතු වේ.

එමෙන් ම සී සාමින්, කුඹුරු වැඩ ඇතුළු මානව සමාජයේ වෙනත් කටයුතු උදෙසා සහාය වෙමින් කටයුතු කළ යුතු විය. මෙනිසා ආහාර නිෂ්පාදනය වර්ධනය වූ බව ඉන්දියානු පුරාවෘත්තයන්හි සඳහන් වේ.

 

ඉන්ද්‍ර හා ක්‍රිෂ්ණා

 

පොංගල් උළෙලට ඉන්ද්‍ර හා ක්‍රිෂ්ණ යන දෙවිවරුන් දෙදෙනාගේද සම්බන්ධයක් වේ. ක්‍රිෂ්ණ දෙවිඳුන් ළමා වියේ දී දෙවියන්ගේ නායක වූ ඉන්ද්‍ර දෙවිඳුන්ට (සක්‍ර) පාඩමක්‌ කියාදීමට සිතුවේය. ඒ අනුව ගොපලු ජනයා ඇමතූ ක්‍රිෂ්ණ දෙවිඳුන් ඉන්ද්‍ර දෙවිඳුන්ට වැඳුම් පිදුම් කිරීමෙන් වළකින ලෙසට දැඩිව අවධාරණය කළේය. ඉන් බලවත් සේ කිපුණු ඉන්ද්‍ර දෙවිඳුන් වලාකුළු හා අකුණු යවමින් අඛණ්‌ඩව දින තුනක්‌ මුළුල්ලේ ධාරානිපාත වර්ෂා වැස්‌සවීමට සැලැස් ‌වීය. එම අවස්‌ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ක්‍රිෂ්ණ දෙවිඳුන් ගොවර්ධන් කන්ද (Mount Govardhan) ඔසොවා ඉන්ද්‍රයන්ගේ වර්ෂාවෙන් මනුෂ්‍ය වර්ගයා මුදා ගත්තේය. ඉන් අනතුරුව පොංගල් උළෙලේ දිව්‍යමය බලය හා තමන්ගේ වරද තේරුම්ගත් ඉන්ද්‍ර දෙවිඳුන් සිය කෝපය මැඩගැනීමට කටයුතු කළ ආකාරය හින්දු පුරාණ කථාවන් හි දැක්‌වේ. මෙය එක්තරා ආකාරයකින් ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය දේව කතා ආශ්‍රයෙන් ප්‍රකට කිරීමක් ලෙසද හැඳින්විය හැකිය.

 

සබැඳියාව

 

මෙම මංගල්‍යයේ පදනම වන්නේ අලුත් සහල් හිරු දෙවියන්ට පූජා කිරීමය. සශ්‍රීකත්වය සෞභාග්‍ය ළඟා කරගනු වස් ඔවුනොවුන් මෙසේ පූජාවන් පවත්වති. එපමණක් නොව විවාහ ගිවස ගැනීමේ චාරිත්‍රයක් ද මේ හා බැඳී පවතී. සිංහල ජනතාවද වසන්ත උත්සවය ලෙස සැලකු මෙම උත්සව අවස්ථාවේදී නවයොවුන් තරුණ තරුණියන් සිය සහකරු හෝ සහකාරිය පිළිබඳව සිත් ඇති කරගැනීම ස්පර්ශ කිරීම හා ඔවුනොවුන් හා එක්ව කෙළි සෙල්ලම් කිරීම සිරිතක්ව පැවතිනි. එසේම තම සිතගත් අය පිළිබඳව වැඩිහිටියන් සමඟ කතිකා කිරීමටද අමතක නොකරති. මේ සෑම අතින්ම බලන කල මෙම උත්සවය බොහෝසෙයින් සමානය. එමෙන්ම මෙම උත්සවය දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටත් අතිශයින්ම වැදගත් සංස්කෘතික උත්සවයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙම උත්සවය මූලික වී පවතින්නේ කෘෂි සංස්කෘතික වටපිටාවක වීමය. මෙහි දී ජාතිකත්වයන් ඉක්මවා සාමූහික බවකින් බැඳුණු මානවීය ගුණය ඉස්මතු වී පැවතීම සිත්ගන්නා සුළුය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ සමාන භූමිකලාපවල සංස්කෘතික සාම්‍යක් පැවතීමය. එනම් ජීවන රටාව හා ආහාර සංස්කෘතිය තුළ කිසියම් සමානකමන් නිරූපණය වීමය. අදවන විට කිසිවෙක් තම ආහාර සංස්කෘතිය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන නමුත්, ඒතුළ පවතින මේ සංස්කෘතික සබැඳියාව බැහැර කළ නොහැකිය. කෘෂිකාර්මික ජීවිතය පිළිබඳ අතීත සම්ප්‍රදායන් විමසා බලන විට මූලිකවම ආහාර සංස්කෘතිය මත ඒවා පදනම් වී ඇති බව පෙනීයයි. 'වී' ගස කේන්ද්‍ර කරගෙන මේ සංස්කෘතීන් දෙකම අනොන්‍ය ලෙස බැඳී පවතී.

ස්වභාදහමට අනුකූලව වගා කටයුතු සිදුකරමින් අස්වනු නෙලා එහි මුල් කොටස දෙවියන් උදෙසා පූජා කිරීම දෙමළ හින්දු සංස්කෘතිය තුළත්, සිංහල බෞද්ධ සංස්කෘතිය තුළත් දැක ගතහැකිය. අලුත් සහල් මංගල්‍ය ලෙස මෙය පැවැත්වීමේ දී ඒ තුළ ජාතීන් වශයෙන් නියෝජනය වීමක් දක්නට නැත.

කෙතෙන් ලබාගන්නා වී ටික කමතට ගෙනත් රැස් කරන අතර, ඒවා කිසිවෙක් ආහාරයට ගන්නේ නැත. ආහාරයට ගැනීමට දෙමළ සම්ප්‍රදාය තුළ තහනම්. ඒ ආකාරයටම සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ ද රැස් කර අලුත් වී ඇටයකදු දත්ගසන්නේ නැත. කමතෙන් බැත නෙළාගත්තායින් පසුව මුල්කොටස දෙවියන් උදෙසා රක්ෂා කරයි. එය 'අක්‍යාල' කියා හඳුන්වති. 'අක්‍යාල' යනු දෙමළ වදනකි. එහෙත් අපි එය දෙමළ යැයි කියා වෙනස් කිරීමට මේ දක්වා උත්සාහ දරා නැත. ලංකාවේ රුහුණු, පිහිටි මායා ආදී සියලු පළාත්වල මෙලෙස අස්වැන්නේ මුල් කොටස වෙන් කර තබන අතර, එය හඳුන්වන්නේ ද 'අක්‍යාල' නමින් වීම විශේෂයකි. මෙමඟින් සංස්කෘතීන් අතර සබැඳියාව මොනවට විද්‍යාමාන වේ.

හිරු සඳු ආදී ස්වභාවික වස්තූන් දේවත්වයෙන් පිදීම දෙමළ හින්දු ජනතාව පමණක් නොව සිංහල බෞද්ධ ජනතාව අතරද පවතී. මේ නිසා අපේ විහාර බිතුසිතුවම්වල සූර්ය දේව හා චන්ද්‍ර දේව සටහන් කර ඇති අයුරු දැකගත හැකිය. කෞතුකාගාරයට ඇතුළුවන විට නගින පියගැට පේලිය දෙපස මෙම සිතුවම් ඔබට අද පවා ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව ද අපට සංස්කෘතික සාම්‍යක් මේ තුළ දැකිය හැකිය.

මීට අමතරව කිරි ඉතිර වීම තුළත් අපට මේ සාමානකම දැකිය හැකි වේ. සෞභාග්‍ය පතා කිරි ඉතිර වීම දෙමළ සංස්කෘතිය තුළද සිංහල සංස්කෘතිය තුළද එකසේ පැවතීම අපේ ආරෝපිත අසමානතා මකාදමන්නකි. සංහිඳ ඇදහිල්ල පැවති සමයේ වනයේ විශාල වෘක්ෂයක් තෝරාගෙන එයට බාරහාරවීම සිංහල වගේම දෙමළ කෘෂි සමාජය තුළද පැවති චාරිත්‍රයකි. පසුකාලීනව ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමඟ මෙම සංහිඳ චාරිත්‍රය ශ්‍රී මහා බෝධිය ආශ්‍රය කරගෙන පැවැත්වෙන අතර, ඒ සඳහා උතුරු නැගෙනහිර ජනයාද තම 'අක්‍යාල' රැගෙන එම පූජාවන්වලට සහභාගි දායක වෙති. පසුකාලීනව දළදාව මෙරටට වැඩවීමත් සමඟ මෙ අලුත් සහල් මංගල්‍ය දළදා පූජාවක් බවට ද පත් විය. මේ අනුව පෙනී යන්නේ කෘෂිකාර්මික ජීවන රටාව සමඟ අප අනොන්‍යවශයෙන් බැඳී ඇති බවයි. ඇතමෙක් සිතන්නේ මේ දෙවල් පසුකාලීනව යටත් විජිත සමයෙන් පසුව ඇති වූ බවය. නමුත් සත්‍ය නම් අප වෙන්ව කටයුතු කිරීම යටත් විජිත සමයෙන් පසුව ආරම්භ ව අද දක්වා වර්ධනය වී ඇති බවය.

තෛයි-පොංගල් දාට පසු දා එළඹෙන මාතුපොංගල් දවසෙහිද විශේෂත්වයක් ඇත. තමන්ට අස්වැන්න ලබාදීමට කටයුතු කළ ගවයා නහවා, සරසවා, ගෙජ්ජි එල්ලා, කවඩි බැඳ කෑම බීම ලබාදී නොයෙක් සාත්තු සප්පායම් කරති. ඔවුන් කරත්තයක, කණුවක, ගසක ගැට නොගසා නිදහසේ සිටීමට සලස්වති. ශිව දෙවියන්ගේ වාහනය ලෙස සලකන ගවයා දෙමළ ජනයා දේවත්වයෙන් සළකති. එසේම සිංහල ජනයාද ගවයාට විශේෂත්වයක් දක්වති. ලංකාවේ වැඩිම කිරි නිෂ්පාදනයක් ලැබෙන්නේ ද දුරුතු නවම් මාස දෙකේ දීය. එය නම් කර ඇත්තේ 'මීකිරි දෙමාහ' යනුවෙනි. මේ කාලයට ගව පට්ටිවල කිරි උතුරවති. ඒ ගවසම්පතට අධිපති දෙවියා ලෙස සැලකෙන මංගර දෙවියන් සඳහා ය. මෙම චාරිත්‍රයද දෙමළ මාතුපොංගල් චාරිත්‍රය තුළින් නිර්මාණය වූවකැයි සිතිය හැකිය. මේ ජාතීන් අතර සබැඳියාව අද අපේ සමාජයෙන් ගිලිහීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එතෙක් පැවති කෘෂිකාර්මික ජීවන රටාවෙන් අප ක්‍රමයෙන් බැහැර වීමත්, යටත් විජිත යුගයේ බෙදා වෙන් කර පාලනය කිරීමත් හේතුවෙනි. එනිසා අපි මේ සත්‍ය අවබෝධ කොටගෙන නැවත ඒ සංස්කෘතික සහජීවනය ගොඩනගාගැනීමට මේ අවුරුද්දේ සිට වත් අදිටන් කරගනිමු.

අදහස්