ඉන්දීය දුම්රිය සේවයේ පුරප්පාඩු 90000ට අයැදුම්පත්‍ර මිලියන 28ක් | Page 2 | සිළුමිණ

ඉන්දීය දුම්රිය සේවයේ පුරප්පාඩු 90000ට අයැදුම්පත්‍ර මිලියන 28ක්

ඉන්දියාවේ රැකියා ගැටලුව යනු බලයට පත්වන ආණ්ඩුව තීරණය කිරීම දක්වා බලසම්පන්න එමෙන්ම කිසිදා නොවිස‍ෙඳෙන ගැටලුවකි. මේ රැකියා ගැටලුව දඩමීමා කරගෙන ආණ්ඩු ඇතිකිරීමටත්, ආණ්ඩු පෙරළා දැමීමටත් එරට ජනතාව කටයුතු කළේ වරක් හෝ දෙවරක් නොවේ. ඉන්දියානු රැකියා ගැටලුව හේතු සාධක මගින් නිර්මාණය කළ සංකීර්ණ තත්ත්වයක් ලෙසද හැඳින්වීමේ කිසිදු වරදක් නැත. මන්දයත් ඉන්දියානු රැකියා ගැටලුව දිනෙන් දින ඔඩු දුවන හිඟන්නාගේ තුවාලයක් මෙන් යොදා ගනිමින් ඉන්දියානු දේශපාලන ප්‍රවාහයේ දේශපාලනඥයන් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ උත්සාහයක නිරත වීම නිසාය.

ඉතිහාසය පුරා වරින් වර මතුවන මේ ඉන්දියානු රැකියා ගැටලුව හා ආර්ථික කඩාවැටීම යළිත් වරක් පසුගියදා දක්නට ලැබුණේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවෙනි. ලෝකයේ 10වන විශාලතම සේවායෝජකයා වනුයේ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවයි. පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය සේවකයන් 90000ක් බඳවා ගැනීම වෙනුවෙන් අයැදුම්පත් කැඳවූ අතර එහිදී ලැබුණු රැකියා විරහිත අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් ප්‍රමාණය මිලියන 28ක් විය.

ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රට පුරා සිටින දුම්රිය රියැදුරන් සහ අනෙකුත් සේවක සංඛ්‍යාව මිලියන 1.3කට ආසන්න වන අතර අයැදුම්පත්‍ර කැඳවා තිබුණේ සහායක දුම්රිය රියැදුරු තනතුර සඳහා 26000ක් ද දුම්රිය කම්කරු රැකියා සඳහා 63000කට ආසන්න ප්‍රමාණයක් වූ පුරප්පාඩු පිරවීමටය. මෙහිදී සේවකයන් බඳවා ගැනීමට මසක පමණ කාලයක් තුළදී මිලියන 28ක ප්‍රමාණයක් අයැදුම් කර තිබූ අතර අවසන් දින පහ තුළදී පමණක් මිලියන 9ක ප්‍රමාණයක් අයැදුම් පත්‍ර එවා තිබිණි. වයස 18 - 31 අතර වූ වයස්හි පසුවන අයැදුම්කරුවන්ට පිටු 57කින් යුත් අයැදුම්පත්‍රයක් අන්තර්ජාලය මගින් (online) සම්පූර්ණ කළ යුතු විය.

දිනෙන් දින උග්‍ර වන ජනගහන ගැටලුවටද මුහුණ දෙන ඉන්දීය ජනතාව ඒ හා සමානවම ඉදිරියේදී රැකියා ගැටලුවටද මුහුණ දීමට නියමිත බවට ඉඟි දැනටමත් පෙනේ.

ඉන්දියාවේ රැකියා අර්බුදය මේ අාකාරයෙන් ඔඩුදුවද්දී ඉන්දීය වැසියන් වඩාත් උත්සාහ කරන්නේ රජයේ රැකියා ලබා ගැනීමටය. මන්ද යත් පෞද්ගලික ආයතන වර්තමානය වන විට දැඩු පසුබෑමකට පත්වීමත් දිනෙන් දින උග්‍රවන ආර්ථික අවපාතයකට එරට ආර්ථිකය මුහුණ පෑමත් නිසාය.

ස්ථිර වූ ආදායම් මාර්ගයක් සහ සුරක්ෂිත රැකියාවක් බලාපොරොත්තුවෙන් රැකියා සොයන වර්තමාන ඉන්දියානු තරුණ ප්‍රජාව තවමත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට ඒමට පෙර ඔහුගේ ප්‍රධානම ප්‍රචාරණ පොරොන්දුව වූ මිලියන 10ක නව රැකියා උත්පාදනය ඉන්දියාව තුළ ඇති කරලීමේ වැඩසටහන දෙස බලා සිටින අතර ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බවද ‍දක්නට ලැබේ.

ඉන්දීය දුම්රිය සේවය තුළ සේවකයන් මිලියන 1.3කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර වාර්ෂිකව දළ වශයෙන් දුම්රිය මගීන් බිලියන 8.2ක පමණ ප්‍රමාණයක් එරට දුම්රිය සේවය ලබා ගනිති. උග්‍රවන රැකියා අර්බුදය වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව කුමක් කරයිද? ආර්ථික විශ්ලේෂකයන්ට අනුව නම් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ ඇති අඩුපාඩුකම් සහ නව රැකියා උත්පාදනය කෙරෙහි ඇති උනන්දුවේ අඩුකම මේ ආකාරයෙන් ගැටලුව තවතවත් වර්ධනය වීමට ප්‍රධානම හේතුව වී තිබේ.

හසිත මලවිගේ

Comments