අසරණ ජීවිත ඔට්ටුවට තැබූ මැදපෙරදිග බල සූදුව | සිළුමිණ

අසරණ ජීවිත ඔට්ටුවට තැබූ මැදපෙරදිග බල සූදුව

සිරියානු යුද්ධය යළිත් වතාවක් අන්තර්ජාතික මාධ්‍ය කරළියේ රැව් දෙන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඩොවුමා නමැති නගරයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයත් සමගයි. 70කට අධික පිරිසකට මරු කැඳවමින් හා තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකරමින් එල්ල කෙරුණා යැයි පැවසෙන රසායනික අවි ප්‍රහාරය හේතුකොට ගෙන සමස්ත සිරියානු යුද්ධයේ මුහුණුවර වෙනස් වීමේ ප්‍රවණතා වර්තමානයේ දක්නට ලැබේ. එය ඇතැම්විට සියල්ල වෙනස් කරන සිද්ධියක් ( Game Changer) වීමට ඉඩ ඇතුවා මෙන්ම ඇතැම්විට එය තාවකාලික ක්‍රියාමාර්ගයකින් පමණක් අවසන් වන ක්‍රියාදාමයක් වීමටද ඉඩ තිබේ. එනම් එම ප්‍රහාරයේ ප්‍රතිඵල සිරියාවට මුල් පෙළේ බටහිර හමුදා මැදිහත්වීමක් හෝ අමෙරිකානු හමුදාවෙන් සිරියානු හමුදාවට එල්ල කෙරෙන මිසයිල ප්‍රහාරයකින් පමණක් අවසන් වීමට ඉඩ තිබේ.

සිරියානු යුද්ධය යනු මෑතකාලීනව ගෝලීය වශයෙන් ඇතිකරන ලද්දා වූ දරුණුතම මානව ඛේදවාචකයයි. යුද්ධය ආරම්භ වූ 2011 වසරේ සිට මේ දක්වා ගැටුම්වලින් මියගිය හා අතුරුදන් වූ සංඛ්‍යාව හාරලක්ෂය ඉක්මවයි. අවතැන් වූ සංඛ්‍යාව 15 ලක්ෂයක් හෝ 20 ලක්ෂයක් පමණ වේ. ලොවට ත්‍රස්තවාදය බෙදාහරින ඝාතක සටන්කාමීන් නිෂ්පාදනාගාරයක් බවටද සිරියාව පත්ව ඇත්තේ අයි එස් කල්ලිය ඇතුලු සටන්කාමි සංවිධාන රැසක් සිය සාමාජිකයන්ගේ සන්නද්ධ පුහුණු වෙඩිපිටිය බවට සිරියාව පත්කරගැනීම හේතුවෙනි. 2011 වසරට පෙරාතුව ඒකීය ස්ථාවර රටක් ලෙස පැවති සිරියාව අද වනවිට විවිධ සන්නද්ධ කණ්ඩායම් අතර බෙදී ගිය ප්‍රාදේශීය පාලනයන් රැසක් පවතින රාජ්‍යයක් බවට පත්ව තිබේ. විවිධ බලවත්තු සිරියාවට විවිධාකාරයෙන් තම අවශ්‍යතා හා අරමුණු ඉටුකරගැනීමේ අපේක්ෂාවෙන් විවිධාකාරයෙන් බලපෑම් සිදුකරති. වර්තමානය වනවිට සිරියාව යනු මැදපෙරදිග කලාපයේ නව නිරවි යුද්ධයට එනම් සීතල යුද්ධයට පාදක වූ ප්‍රධානතම සංධිස්ථානය බවට පත්වන බවක් ද පෙන්නුම් කරයි.

සිරියානු යුද්ධය ආරම්භ වන්නේ 2010 වසරෙන් පසු මැදපෙරදිග හටගත් අරාබි වසන්තය නම් උද්ඝෝෂණ මාලාවෙන් පසු වර්ධනය වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. අරාබි වසන්තය තුලින් අස්ථාවර වූ රටවල් රැස අතරින් වඩාත්ම විනාශකාරි ප්‍රතිඵලවලට මුහුණදුන්නේ සිරියාවයි. ඊට වගකිවයුතු පාර්ශව රැසකි. මූලික වශයෙන් සිරියාවේ පාලක බෂර් අල් අසාද් ජනාධිපතිවරයා හා ඔහුගේ අධිකාරීවාදී ආණ්ඩුව ගෙන යන ජන පීඩක හා දිගුකාලින තනි පක්ෂ පාලනයේ පවතින දුර්දාන්ත ස්වභාවයයි. ලොව බොහෝ අධිකාරීවාදී පාලකයන් මෙන් ජනාධිපති අසාද් ද තම බලය පවත්වා ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රම උපයෝගී කරගත්තේය. අරාබි වසන්තයේ උද්ඝෝෂණ සිරියාවේ ඇරඹෙන්නේ අසාද්ගේ පාලනයට එරෙහිවය. යුද්ධයේ මූල බීජය රෝපණය වන්නේ අසාද් පාලනය එම උද්ඝෝෂණ දුර්දාන්ත ලෙස බලය යොදා මැඩලීමට අනුගමනය කළ ක්‍රියාප ටිපාටියේ ප්‍රතිඵලයක් ලෙසිනි.

සිරියානු යුද්ධයේ ප්‍රධාන වගඋත්තරකරු ජනාධිපති අසාද් පමණක්ම නොවේ. මේ සා විශාල මානව ඛේදවාචකයකට මගපෑදුවේ මැදපෙරදිග පදනම් කරගත් ගෝලීය බල අරගලයයි. එය විවිධ පාර්ශ්ව සම්බන්ධ වූ ජාලගත බල අරගලයකි. ප්‍රධාන වශයෙන්ම බටහිර බල කඳවුර එනම් අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා යුරෝපය අරාබි වසන්තය තුලින් මැදපෙරදිග කලාපයේ තමන්ට එදිරිවාදි හා සිය බල අවශ්‍යතා සඳහා වැදගත් වන රටවලට මැදිහත්වීම සඳහා ප්‍රවේශයක් නිර්මාණය කරගැනීමට ක්‍රියාශීලී වූ බව පිළිගත් සත්‍යයකි. තමන්ට හිතකර නොවු රටවල රෙජීම් වෙනස් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, රුසියාව හා චීනය ප්‍රමුඛ විකල්ප බලවතුන්ගේ කඳවුර මැදපෙරදිග කලාපයේ බලවත් වීම වළක්වාලීමත් බටහිර බලාධිකාරයේ අරමුණ බව පැහැදිලිය. දෙවනුව මැදපෙරදිග කලාපය වෙලාගත් ආගමික බල අරගලයයි. ෂියා, සුන්නි ගැටුම මෙහිලා මූලිකව දැකිය හැකි සංසිද්ධියකි.

සවුදි අරාබියේ නායකත්වයෙන් යුත් සුන්නි මුස්ලිම් පාර්ශවයේ අපේක්ෂාව ඉරානයේ නායකත්වයෙන් යුත් ෂියා මුස්ලිම් පාර්ශවය බලවත් වීම වළක්වාලීමයි. එහිදී සිරියාව යනු ෂියා මුස්ලිම් බලකඳවුරේ ඉරානයට සම්බන්ධව සිටින ප්‍රධාන පාර්ශ්වකාර රාජ්‍යයකි. ඒ නිසා සිරියාවේ යුද්ධයට විවිධ පාර්ශ්ව මැදිහත්වීමට හිතකර වාතාවරණයක් නිර්මාණය වී තිබිණ. ඊට අමතරව ඊශ්‍රායලය මැදපෙරදිග අරාබි බලවතුන්ට එරෙහි විකල්ප බලවේගය හා බටහිර බලකඳවුරේ අනුප්‍රාප්තිකයා ලෙසින් සිරියාවේ යුද්ධයට තීරණාත්මක මැදිහත්වීමක් සිදුකරයි. ඊට අමතරව තුර්කිය තම ආධිපත්‍යය පවත්වාගැනීමටත් කුර්දි ජාතික බෙදුම්වාදී තර්ජනය නිෂ්ක්‍රිය කිරිමටත් සිරියානු යුද්ධයට මැදිහත් වී සිටී. අයි එස් කල්ලිය සිරියාව තුල ලැගුම් ගන්නේ ඔවුන් විසින් ප්‍රකාශිත ඉස්ලාමීය රාජ්‍යය එනම් කැලිෆේටය එහි සිට ක්‍රියාත්මක කරවීමටය. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අයි එස් සටන්කාමී බලවේගය සෙසු සටන්කාමී කණ්ඩායම් අභිබවා සිරියාවේත් අසල්වැසි ඉරාකයේත් විශාල භූමි

භාගයක් අත්පත් කරගත්තේ බටහිර ලෝකය වෙත දැඩි ත්‍රස්තවාදි තර්ජනයක්ද එල්ල කරමිනි. ඉන් පසු රුසියාව සිරියානු යුද්ධයට මැදිහත් වන්නේ මැදපෙරදිග කලාපයේ තම බලාධිකාරයට අමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමටයි.

සිරියානු යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වකාරයන් දෙදෙනා වන්නේ ජනාධිපති අසාද් ගේ රජය සහ එය විනාශ කිරීමට සපථ කර සිටින කැරළිකාර කණ්ඩායම්ය. අසාද් ජනාධිපතිවරයාට එරෙහිව අවි අතටගත් කැරළිකාර පාර්ශ්ව ඉතා බිහිසුණු සටන්කාමී බලවේග බවට පත්වූයේ බටහිර රටවල් හා ඇතැම් අරාබි රටවල් එම සටන්කාමීන්ට අවි ආයුධ පුුහුණුව හා මූල්‍ය සම්පත් ලබාදීම හේතුවෙනි. ෆ්‍රී සිරියන් ආමි වැනි සංවිධාන සන්නද්ධ කළේ තමන් විසින් බව අමෙරිකාව පිළිගනී. ඒ හා සමගාමීව රුසියාව සිරියානු රජය සන්නද්ධ කර ඊට යුදමය සහාය ලබාදෙයි. ලිබියාවේ මෙන් හමුදා මැදිහත්වීමක් තුලින් සිරියාවේ රෙජිම් වෙනස් කිරීමක් ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතාව නම් රුසියාවේ

ශක්තිමත් මැදිහත්වීමයි. පාලන වෙනසකදී රුසියාවට මැදපෙරදිග කලාපයේ සිරියානු සහාය අහෝසි වන අතර එවිට එරට නාවික හමුදාව මධ්‍යධරණී කලාපියේ ස්ථානගතවීමට වරායක් පවා නොමැති වෙයි. දැනට එම පහසුකම් සපයන්නේ සිරියාවයි.

පසුගිය සතියේ රසායනික අවි ප්‍රහාරය එල්ල වූයේ මෙවැනි තීරණාත්මක වාතාවරණයක් සිරියාවේ පවතින අවස්ථාවකය. සිරියානු රජය රුසියානු ගුවන් ආධාරයද ඇතිව කැරලිකාර හමුදා බොහෝ සේ පසුබස්වා තිබේ. සටන්වලින් තොරව ඉවත්ව යෑම සඳහා රජය හා සටන්කාමීන් අතර එකඟතාවන් ඇතිකරගත් අතර ඊට මුලිකව මැදිහත් වූයේ රුසියාවයි. සිරියාවේ රුසියානු බලය ශක්තිමත් වෙමින් පවතින අවස්ථාවක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස වුයේ සිරියාවෙන් අමෙරිකානු හමුදා කණ්ඩායම් හා අවි ඉවත්කරගත යුතුය යන්නයි. උපදේශකවරුන්ගේ බලකිරීම මත එම තීරණය වෙනස්

කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා එකග විය. රුසියාවේ දායකත්වය හා අමෙරිකාවේ පසුගාමීත්වය තුල අසාද් ජනාධිපතිවරයාගේ පාලනයට යම් ශක්තියක් ලැබී ඇති අවස්ථාවක සිරියානු රජයේ හමුදා සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් තහනම් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් අඳබාල වුයේ ඇයිද යන්න ගැටලුවකි. එය අසාද් සියදිවි නසාගැනීමකට හෝ තම අතින් තම මිනීවල කපාගැනීමකට සමාන ක්‍රියාවකි. සිරියානු රජය හා රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදු අතකින් මේ ප්‍රහාරයට සම්බන්ධ නැති බවයි. එහෙත් රසායනික ප්‍රහාරය සිරියානු හමුදාවේ ක්‍රියාවක් බව පවසන අමෙරිකාව සිරියාව ඉලක්ක කරගනිමින් යුද ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට අනතුරු අඟවයි. එය මෙතෙක් සිදු නොවු සිරියානු බටහිර හමුදා මැදිහත්වීමේ ආරම්භය විය හැක. රසායනික අවි ප්‍රහාරය එහි උත්තේජන සංසිද්ධිය සේ සැළකීමට පුළුවන. එහෙත් මේ බලසූදුවෙන් අවසානයේ බැටකන්නේ අහිංසක සිරියානු ජනතාවයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

අදහස්