අවු­රුදු සමයේ යන එනමං නැති­වන බලු සුර­තල්ලු | සිළුමිණ

අවු­රුදු සමයේ යන එනමං නැති­වන බලු සුර­තල්ලු

එකෙන් දෙකෙන් පුපුරන්නට ගත් රතිඤ්ඤා තප්පර ගණනාවක් යන විට කන් පසාරු කරගෙන යන හඬින් එක දිගට පුපුරන්නට විය. ඒ හඬ අතරේම නැඟුණේ බියට පත් බල්ලන්ගේ බිරුම් හඬය. ඒ හඬ මැද්දේ හැංගෙන්නට තැන් සොයමින් දිවයන බල්ලන්ය. රතිඤ්ඤා හඬ ක්‍රමයෙන් පහව ගිය ද ගමේ බල්ලන්ගේ බිරුම් හඬ නතර වීමට බොහෝ වේලා ගතව ගියේය. “කම්මලේ බල්ලාට හෙණ ගැහුවත් කමක් නැතැයි” කියුවද රතිඤ්ඤා හඬට බිය පත් වන බල්ලන්ගේ බිය පහව යන්න බොහෝ වේලා ගත වෙයි.

කම්මල නිතර කලබලකාරිය. නිතර ඇසෙන්නේ කිණිහිරයට තලන හඬය. තවත් විටෙක තවත් ශබ්දයකි. නමුත් කම්මලේ සිටින බල්ලට නම් මේ කිසි ශබ්දයක වගක් නැත. ඒ ඌ හට එය සුපුරුදු බැවිනි. නමුත් අවුරුදු සමයට නත්තල් සමයට මෙන්ම දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියට නම් කම්මලේ බල්ලාට වුවත් රතිඤ්ඤා හඬ නැගෙන විට බල‍්ලෝ ද හඬ නඟති. ඒ බියට පත්වය, නැතිනම් සැඟවෙන්නට තැන් සොයති.

ගෙවී ගිය අවුරුදු දා ද සිය දහස් ගණනින් රතිඤ්ඤා පුපුරන්නට විය. මේ ශබ්දයේ කම්පනය සුනඛයන් කී දෙනෙකුට දරා ගන්නට හැකි වීද? සුනඛයකු සිටීනම් නිසැකවම ඔබ ද මේ අත්දැකීම ලබා ඇතිවා නිසැකය.

“ඔහු අපේ මාධ්‍ය සගයෙකි ඔහුගේ නිවෙසට දුරින් ඉඩමේ කොනක ඇත්තේ පැලකි. මා දන්නා තරමින් දෙසැම්බර් 31 මෙන්ම නත්තල් දිනට පෙර දින රාත්‍රියේ මෙන්ම අවුරුදු දිනට ඔහු හෝරා කිහිපයක් ගත කරන්නේ දුරින් ඇති පැලේය. රතිඤ්ඤා ශබ්දයට අධික බියක් දක්වන සුනඛයන් දෙදෙනා සමඟය. “මුන් හරි බයයි ඒ හරියට වැඩිය රතිඤ්ඤා පුපුරණ ශබ්දය ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට අහල පහල යන බල්ලෙක් දෙන්නෙකුත් මෙතැනට එනවා. මුන් ආයේ එළියට එන්නේ රතිඤ්ඤා පුපුරණ හඬ අඩු වුණාට පස්සේ. රතිඤ්ඤා ගැන කතා කරන විටෙක ඔහු පැවසුවේය. අප යමක් කිරීමට පෙර අන් අය ගැනද සිතිය යුතුය.

අපේ රටේ වල් බල්ලන් නැත. සිටින්නේ ‘කානීස් ලුපස් ඩොමෙස්ටිකස් වර්ගයට අයත් බල්ලන්ය. වල් බල්ලන් යැයි කි‍යන්නේ කැලෑවේ සිටින බල්ලන්ටය නිවෙසේ ඇති කරන බලු සුරතලුන් අතර දේශීය වර්ගවල මෙන්ම විදේශීය වර්ගවල බලු සුරතල්ලුද වෙති. කොහොම වුණත් කෑම බීම දී හොඳින් රැක බලා ගත්තද මේ සුරතලුන් උත්සව කාලයට අමතක වන්නේ නම් එය ඛේදවාචකයකි.

සෑම කෙනෙකුටම මේ මහ පෙ‍ාළොව මත ජීවත් වීමේ අයිතිය ඇත. නමුදු මිනිසා විසින් ඇතැම් විට සතුන්ගේ ඒ අයිතිය උදුරාගෙන ඇත. ඉන්ද්‍රිය සංවේදිතාවයෙන් බොහෝ වෙනස්කම් තිබෙන සුනඛයන්ට මිනිසාට වඩා පෙනීම අඩු වුවද මිනිස‍ාට වඩා හොඳින් කන් ඇසීම සිදුවේ. නිවසේ සිටින සුනඛයා සම්බන්ධයෙන් ඔබත් මේ අත්දැකීම් විඳ ඇතිවාට සැක නැත. ඇතැම් විටක අපට කිසිදු හඬක් නොඇසුනද බිම වැතිර සිටින සුනඛයා හිස ඔසවා බලයි. ඒ ඌට සියුම් ශබ්ද පවා ඇසෙන බැවිනි. බල්ලන් වයසට යන විට උන්ගේ කන් ඇසෙන්නේ නැත. කම්මලේ බල්ලාට ද හෙණ ගැහුවට කමක් නැත. ඒ ඌ කම්මලේ හඬට ඝෝෂාවට හුරුව සිටින බැවිනි. එසේ වුවත් සියුම් ශබ්ද පවා ඇසෙන මේ බල්ලන් ඇතැම්විට රතිඤ්ඤා හඬ දරා ගැනීමට නොහැකිව කම්පනයෙන් මිය යන්නේය.

මේ ගෙවුණු අවුරුදේ රතිඤ්ඤා ශබ්දය දරා ගැනීමට බැරිව බල්ලන් කී දෙනෙක් නිවෙස්වල ඇඳන් යට රිංගන්නට ඇතිද? කාමරවල සැඟවෙන්නට ඇති ද? දැඩි කම්පනයට පත්වන්නට ඇතිද? එමෙන්ම මිනිසුන් කී දෙනෙක් රතිඤ්ඤා දැල්වීමේදි අනතුරුවලට ලක්වන්නට ඇති ද?

අවුරුද්දට හෝ වෙනත් උත්සවවලට රතිඤ්ඤා අවශ්‍යමද ? අප සමාජයේ තුළ කතා බහක් ඇති කළ යුතුව තිබේ. අවුරුද්දේ නැකැත් එළඹෙන විට රතිඤ්ඤා දල්වන්නේ අනෙකාට ඒ පිළිබඳ සන්නිවේදනය කිරීමට ය. නමුත් දැන් සිදුවන්නේ එකිනෙකා පරයා යන ලෙස රතිඤ්ඤා දැල්වීමය. ලෝකයේ දියුණු රටවල මෙය බොහෝ දුරට අඩුය. ශබ්දය නිසා පරිසරයද දුෂණය වේ. එමෙන්ම අහිංසක සත්තු බියට පත්වෙති. කෙනෙකු, සතෙකු බියට පත්කර අප ලබන සතුට කුමක්ද?

මේ අවුරුද්ද ගෙවුණි. එළැඹෙන අවුරුද්ද, අනෙකුත් උත්සවවලදී අධික ලෙස රතිඤ්ඤා දැල්වීම කෙ‍ාතරම් දුරට යෝග්‍යදැයි ඔබම සිහිපත් කරන්න. ඒ හැම විටම ඔබ නිවෙසේ සිටි සුනඛයාගේ බිය පත් දෑස, සිහිය විකල් වුවාක් මෙන් එහෙමෙහෙ දුව පැන්න අයුරු ඔබ සිහියට නගා ගන්න.

උන්ටද මේ මහ‍පොළව මත නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇත. ඒ අයිතිය සුරකින මේ වගකීම ඇත්තේ ඔබගේ අතේය.

අදහස්