අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් | සිළුමිණ

අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්

ආනන්ද සමරකෝන් අනුස්මරණය අප්‍රේල් 5 වැනිදාට යෙදිණි.

1948 වසරේ මේ තම්බපණ්ණියට නිදහසේ අනුහස අත් පත් වන තෙක්ම මෙ රටට සරිලන ජාතික ගීතයක් නොවු බවට කවර නම් රහසක් ද? නාමිකව හෝ වේවා නිදහස සාක්ෂාත් වීමෙන් ඉක්බිතිව ස්වදේශයට ජාතික ගීතයක බලවත් වුවමනාව තීව්‍රව දැනෙන්ට විණි. එහි ප්‍රතිඵලයන් වශයෙන් ලක් දෑ ගීයට ඉල්ලුම් පත්‍ර කැඳවෙන්ට වුයේ. එවක ප්‍රකට කවිවරයකු වූ පී.බී. ඉලංගසිංහත්, ආනන්ද සමර‍කෝන් කලාකරුවා එක්කම එවන් අයැදුම්පත් යොමුකළද අවසානයේ ඉලංගසිංහයන් හට ජය අත්වුණු බව සැලයි. ශ්‍රී ලංකා ජාතික ගීතය බවට පත් වුයේ ඔහුගේ එම නිබන්ධනයයි. එය එසේ වුවද විරෝධතා මතුවීම කරණ කො‍ටගෙන ජාතික ගීතය පිළිබඳ කර්තව්‍යය ලත් තැනම ලොප් වු බැව් නොරහසකි. ඉතින් මේ දෝෂාභියෝගයන් මතු වුයේ කවර හේතුවක් නිසාද? රචක පී. බී. ඉලංගසිංහ මෙන්ම සංගීතඥ ලයනල් එදිරිසිංහත් අයදුම්පත් කැඳවු යථෝත්ත ගාන්ධර්ව සභාවේම සාමාජිකයන් වීම කරණකොටගෙන වේ. අනතුරුව ආනන්ද සමර‍කෝන් විසින් ප්‍රබන්ධ කරනු ලැබු නමෝ නමෝ මාතා නමැති ප්‍රගීතය හෙළදිව ජාතික ගීතය බවට පරිවර්තනයවී එතැන් පටන් එය අප ජන්ම භූමියේ සතර දිග් භාගය පුරාම රැව් පිළිරැව් දුන් බවයි ඉතිහාසය පවසන්නේ.

රවීන්ද්‍රනාත් තාගෝර් තුමාද ඉපදුණු මහා භාරතයේ චන්ද්‍රලාල් බෝස් පා සෙ‍වණේ සංගීතය හදරාලු ආනන්ද සමර‍කෝන්හු පෙරළා මාතෘ භූමිය කරා සම්ප්‍රාප්ත වුවෝය. ඒ කාල වකවානුව වූ කලී නිරතුරුවම වාගේ අපමණ බොදු බැති ගී සමුදායෙන් ශ්‍රාවක දෙසවන් අප්‍රමාණව තෘප්තිමත්ව ගොස් තිබු බැව් කිවහොත් එය මුසාවක් හෙම නොවේ. එහෙයින් මේ සංගීත වේදියාණෝ වෙනස් මගක ගමන් කිරීමේ හුදු සුමිහිරි වුවමනාව පිටම ‍සොබා දහම් වැනුම්වලට ගීතය පාදක කිරීමට වග බලා ගත්තේය. ගීතකරණයේ කැපී පෙනෙන වෙනසක් ජනිත වීම නිසා හෙළදිව සහෘදයන් මත් කුරවීකයන් සිහි ගන්වමින් ඉමහත් සේ කුල්මත් වීමට පටන් ගත්තේය. මෙනයින් සොබා සෙදිරියාමය ගී වැල් එදා ආනන්දයන් වෙතින් සම්මුසු වුයේය. සිංහල ගීත වංශය සමඟ “විලේ මලක් පිපිලා කදිමයි අහො නෙළන්ඩ යමු මැණිකේ”, “පුංචි සුදු සුදු කැටියා කොයිබද උදයේ”, සහ “ඇසේ මධුර ජීවනයේ ගීතා” වැනි ඉමියුරු ගී මෙයට කදිම උදාහරණයෝ වෙති.

වාත්සල්‍යය හෙවත් ආදරය සරලව මෙන්ම අපුර්වාකාරයෙන්ද මේ ගේය පද රචකයා ඉදිරිපත් කළ එක් නිර්මාණාත්මක ගීතයක් පවතී. එය අනෙකක් නොව “පොඩි මල් එතනෝ - සුරතල් එතනෝ” යන්න වේ. මෙහිදී ගම්බද පෙම්වතා “ඔබ මේ කාට ඇසෙන්නද යයි අසන විට ඇය දොඩනුයේ කුමක්ද ? “අතු අග හිඳිනා රණ ගිරවියට ඇසෙන සේ මම ගී ගයමි” කියායි. සත්‍යය නම් ඕ ගී ගයන්නේ තම ළෙන්ගතු ආදරවත්තයාට බවකි. කොටින්ම කියතොත් සුරැඳී පවත්නා හැංගි හොරකම මැ ගීතයේ අපුර්වත්වය යසරහට සනාථ කරවනු නොවේදැයි පිළිවිසිය යුතුව තිබේ. ගීත රචනයෙහි ලා ආනන්ද සමරකෝන් හට කදිම දැක්මක් සහ අපුර්වත්වයක් තිබීම ඔහුගේ සුවිශේෂත්වය හැටියට සැලකිය හැකි වනු ඇත. මේ බලන්න මිනිසෙක් මලක් අමතයි. කුසුමට එසේ කතාකොට “ඔබ කුසුමක් වී මා මිනිසෙක් වී පවතිද අප ප්‍රේමේ” යනුවෙන් විමංශනය කරයි. අන්තිමේ ඔහුගේ ප්‍රපංචය වන්නේ කුමක්ද? “එන ජාතියේ මා බඹරෙක් වේවා ඒ මල රොන් ගන්නා” යනුවෙනි. ඉතින් මෙවන් යෙදුම් දක්ෂ ගීත රචකයකු සතු වටිනා සම්පතක් නොවේද යනුවෙන් විමසනු වටී.

ආනන්ද සමර‍කෝන් කලාකරුවාගෙන් මේ මවුබිමට සිදු වූ වටිනාම සේවාව වන්නේ කුමක්ද ? උත්තරීතර වූ ශ්‍රී ලංකා ජාතික ගීත නිබන්දනයට අමතරව ජන ගායනය ඇසුරෙන් සිංහල සංගීතයට අමුතු පාරක් සාදා පාදා ලීමය. එතුමන් එදා දැරූ අමිල ප්‍රයන්නයේ ආභාසය වත්මනෙහි සංගීතඥයන් කිහිප දෙනෙකුන් වෙතින් වේවා සනාථ වනු ඇතැඹුලක් සේ ප්‍රත්‍යක්ෂ වනු නිසැක වේ. ගැමි ඌරුව තහවුරු කොටගත් ඔහුගේ ගායන විලාසය ශාස්ත්‍රීය අතින් සම්මානනීය මට්ටමක පවතිනු දැනේ. “පුදමු මේ කුසුම්” නමැති සරල ගීතය එයට සාක්කි සපයයි. ගාල්ල මහින්ද විද්‍යාලයේ පමණක් නොව පාණදුර ශ්‍රී සුමංගල පාඨශාල‍ාවේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් රැසකම එදා සමරකෝන් ගුරුතුමා මියැසි සිප් කිරි පොවාලුයේය. ඔහුගෙන් මේ රටේ පිපී වැනී ගිය මල් බොහෝය. ඒ මල් වටා රැල් බැදගත් බඹර - මී මැසි ගණයාගේ සංඛ්‍යාව බොහෝය.

කලාකරුවකු ඇත්තෙන්ම තුන්කල් දක්නා ඉසිවරයකු හට සමාන වනු නිරනුමානයි. ඔහු විසින් පබඳිනු ලැබු එක්තරා ගීතයකින් එය මනාව ඔප්පු නොවන්නේද යනු විමංශනය වනු නිසැක වේ. එය නම් අනෙකක් නොව “ජන හද දුකදුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිදුමී “ නමැති පද කැඩි අඩංගුගේය පද රචනයයි. මේ කලාකරුවාගේ අනාගත දැක්ම සක්සුදක් සේ පෙ‍නෙන්නේ “ඇසැර බලව් - ඉඳ අවදිව ලක යයි පිරිහී” යන්නෙහි මිනිස් හරදම් අතින් වත්මන් සමාජය සැබැවින්ම ඉස්සර තත්ත්වයට අලගු තබන්නටවත් නොහැකියාවක් පවතිනවා නොවේද?

ඒ අනුපමේය ජාතික ගීතයේ අංශු මාත්‍රයකි හෝ වේවා තමාගෙන් නොවිමසා හිතුමතේ විපරිත කිරීමේ ඊනියා නොසිරිත්කම කරණ කොටගෙන සුන්දර වසන්තයේ එක්තරා දවසක යථෝක්ත කලාකරුවා සදහටම දෙනෙත් පියා මරු වසගයට පාත්‍ර වී සිටිනු දක්නා ලදී.

කලාභූෂණ ඇම්. අසෝක. ද සිල්වා

අදහස්