HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 බීබර්ගේ රථය අනතුරක

ජස්ටින් බීබර් පසුගිය දවසක රාත්‍රියේ බටහිර හොලිවුඩ් ප්‍රදේශයෙන් මෝටර් රථය පදවාගෙන යද්දී ඔහුගේ රථය තවත් රථයක ගැටුණා.‍ මෙයින් ඔහුගේ මර්සඩීස් බෙන්ස් රථයේ පසුපස කොටසට අලාභ හානි සිදුවූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදුවූ හැටියට නම් වරද ඇත්තේ බීබර් අතේ නම් නොවෙයි. පිටුපසින් ධාවනය වූ රේන්ජ් රෝවර් රථයේ රියැදුරා තමයි වරද කර ඇත්තේ.

බීබර්ගේ රථයේ ඇති නවීන අංගෝපාංගයන් හේතුවෙන් අනතුර එසැණින් ම එම ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා වෙත වාර්තා වී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බීබර් සහ අනෙක් රථයේ රියැදුරු අතර කතා බහක් ඇතිවී තිබූ බවයි පැවසෙන්නේ. ඒ මොහොතේ බීබර්, තම රථය පදවාගෙන ගොස් ඇත්තේ තනිවමයි.

ඇසින් දුටු අය ප්‍රකාශ කළේ එදින පෙරවරු කාලයේ බීබර් ඔහුගේ නිවසේ රැඳී සිටිද්දී බෑස්කින්චැම්පියන් නම්වූ නිරූපිකාව ඔහු හමුවීමට පැමිණි බවයි. ඇය, බීබර්ගේ අලුත් පෙම්වතිය යැයි පැවසෙනවා. ඇය කිහිපයක් ඇය සමඟ ගත කළ බීබර් තම මෝටර් රථයෙන් ද, බෑස්කින් ඇගේ මෝටර් රථයෙන් ද පිටවී ගොස් තිබෙනවා. බීබර් ගේ රථය අනතුරට පත්ව ඇත්තේ ඉන් පසුවයි.

 

සෙයින් මලික්ගේ පෙම් කතාව නිමවෙයි

යොවුන් හදවත් ආකර්ෂණය කළ ජනප්‍රිය ගායක සෙයින් මලික් ගැන අසුබ ආරංචියක් අහන්න ලැබුණා. බ්‍රිතාන්‍යයේ ‘සන්’ පුවත්පත සඳහන් කළේ සෙයින් මලික්ගේ සැබෑ ජීවිතයේ පෙම් කතාව නිමාවට පත්වී ඇති බවයි.

මේ සුපිරි ගායකයා ගේ ආදරය දිනා ගන්න සමත්වූයේ ගිගි හඩිඩ් නම්වූ නිරූපිකාවයි. ඇයත් ඔහුත් පෙම් දමකට මුල පිරුවේ 2015 දී. එතැන් සිට දෙදෙනා කල් ගත කළේ හදවතින් ම බැ‍ඳෙමින්. නමුත් මේ ආදරය නිමවී ඇත්තේ මාර්තු මස මුල් දිනවලදී. සෙයින් මලික්ගේ සමීපතමයකු ඒ ගැන තොරතුරු මෙලෙස හෙළි කළා...

“සෙයින් - ගිගි තවදුරටත් පෙම්වතුන් නෙමෙයි. දෙන්නා වෙන් වෙලා. දෙන්නාම හරිම කාර්ය බහුලයි. ඒ නිසා වෙන් වෙන්න සිද්ධ වුණා. ඕනෑම පෙම්වතුන් යුවළකට මේ වගේ දේවල් වෙනවා. විශේෂයෙන් ම තම තමන්ගේ වෘත්තීය ජීවිතවල වැඩ ගොඩගැහෙන කොට.”

සෙයින් සහ ගිගි වෙන්වුණත් පෙර ලෙසින් ම කතා බහ කරන බවයි, ඔහු පැවසුවේ. සෙයින් තම ට්විටර් පිටුවෙහි මෙවැනි සටහනක් තැබුවේ කාටත් දැක ගන්නයි...

“ගිගිත්, මමත් ගත කළේ අර්ථවත් කාලයක්. ඒ වගේ ම ප්‍රේමණීය, සැහැල්ලු සම්බන්ධයක් අපි අතර තිබුණා. ගිගිට පුදුමාකාර අධ්‍යාත්මයක් තිබුණා.”

 

 

විෂාදයෙන් පීඩා වින්ද ඩ්වේන්

ඩ්වේන් ජොන්සන් ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයෙක්. පසුව ඔහු සිනමා රංගනයටත් පිවිසුණා. ‍ඔහු ගැටවර විය ගත කළ කාලයේ දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියා. විශේෂයෙන් ම ඔහුගේ මව විෂාදය නම්වූ මානසික රෝගී තත්ත්වයෙන් සිටි නිසයි ඔහුගේ සිතට කිසිදු අස්වැසිල්ලක් නොතිබුණේ. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ තමන් ද විෂාදයෙන් පීඩා විඳි බවයි.

වයස අවුරුදු 15 දී මව සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිද්දී සිදුවූ දෙයක් ඔහු මෙලෙස හෙළි කළා... “අම්මා කාර් එකෙන් පැනල යන්න ගියා. ඒ වෙලාවෙ පාරෙ වාහන එහාට මෙහාට යනවා.‍ මමත් කාර් එකෙන් පැනල අම්මාව එක පාරට ඇදල ගත්තා” ජොන්සන් ඒ වනවිට 15 වැනි වියෙහි පසු වුවත් ඔහු ඉතා ශක්තිමත් ගැටවරයකුව සිටියා. ඔහු ඒ කාලයේත් උස තරුණයෙක්. “අම්මා එදා දිවි නසා ගන්නයි හැදුවෙ. මම එදා බේර ගත්තෙ නැත්නම් අම්මාගේ ජීවිතය නැති වෙනවා.”

පසු කාලයේදී ඔහු අත්විඳි විෂාද රෝගී තත්ත්වයේ කටුක බව ප්‍රකාශ කළේ වචන දෙක තුනකින්. “ඒ දවස්වල මොනව කරනවද කියල මට හිතුණෙ නැහැ. මම නිතරම ඇඬුවා.”

 

 

ස්ටෝමිගේ කට වහන්න 1,30,000 ක්?

කාමුක චිත්‍රපටවල රඟපෑමෙන් ප්‍රසිද්ධ වූ ස්ටෙෆනි ක්ලිෆර්ඩ් හෙවත් ස්ටෝමි ඩැනි‍යල්ස් මෑතකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන බරපතළ ‘කතන්දරයක්’ කියන්නට පටන් ගත්තා. ඇය ප්‍රසිද්ධියේ කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට වසර කිහිපයකට පෙර තමන් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බවයි.

මෙම සම්බන්ධය ගැන කිසිදු අනාවරණයක් සිදු නොකරන ලෙස ට්‍රම්ප් සහ ස්ටෝම් අතර ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. ඒ, 2016 දී. මෙම ගිවිසුමට ස්ටෝමි අත්සන් තබා ඇතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර නැහැ. ස්ටෝමි ප්‍රසිද්ධියේ මෙම සම්බන්ධය යළි හෙළිකර ඇත්තේ ඒ බව සිහිපත් කරමින්. පසුගිය මාසයේ එම ප්‍රකාශය කළ ඇය, ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමටත් කටයුතු කළා.

ඉන් පසුව ට්‍රම්ප්ගේ නීතිඥවරයා ස්ටෝමි වෙත ඩොලර් 1,30,000 ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.‍ මෙවැන්නක් සිදුවී ඇත්තේ ස්ටෝමිගේ හෙළිදරව් කිරීම් නතර කිරීමට යැයි පැවසෙනවා. ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් එම මුදල ගෙවා දැමීමෙන් පසුව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ ස්ටෝමිගේ නඩුව ඉවත දමන ලෙසයි.

 

 සුජීව තේව­හෙ­ට්ටිගේ    

අදහස්