BOLLYWOOD | Page 2 | සිළුමිණ

BOLLYWOOD

ප්‍රියංකා කැපෙයි කට්රිනා මතුවෙයි

 බොලිවුඩයත් හොලිවුඩයත් අතර දෝලනය වන සිතක් ඇති නිළියක් හැටියට තමයි මේ දිනවල ප්‍රියංකා චොප්රාව පෙනෙන්නේ. ඇය පසුගිය මාස ගණනක් තිස්සේ තමන්ගේ මුළු කාලයම වැය කළේ, ‘ක්වොන්ටිකෝ’ නම් වූ ජනප්‍රිය හොලිවුඩ් ටෙලිනාට්‍යය වෙනුවෙන්. පසුගිය දිනවල ඇය කල්පනා කළේ නැවතත් බොලිවුඩ් ලෝකයට පා තබන්නේ කොහොමද කියලයි.

මේ අයුරින් කල්පනා ලෝකයේ අතරමං වී සිටි ප්‍රියංකාට ජනප්‍රිය නළු සල්මන් ඛාන් රඟන ‘භාරත්’ යනුවෙන් නම් ලද චිත්‍රපටයක් නිර්මාණය වෙන්නට කටයුතු සූදානම් වෙමින් පවතින බව, දැනගන්න ලැබුණා. අලි අබ්බාස් සෆාර් අධ්‍යක්ෂණය කරන අතුල් අග්නිහෝත්‍රී නිෂ්පාදනයෙන් දායක වන මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය වන්නේ කොරියානු චිත්‍රපට කතාවක් ඇසුරෙන්.

අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය ගැන මුලින් ම ප්‍රකාශයක් කළේ එහි ප්‍රධාන නළුවා සල්මන් ඛාන් බවට ඉඟියක් ද පළ කිරීමෙන්. ඉන් පසුව කවුරුත් උනන්දු වුණේ සල්මන් සමඟ රඟන නිළිය කවුරුන්දැයි සොයා බලන්නටයි. සති දෙක තුනක් ගතවෙද්දී බොහෝ දෙනා ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුගේ නම් යෝජනා කළා. ඒ අතරින් ප්‍රියංකා චොප්රාගේ නම තමයි, කැපී පෙනුණේ. කවුරුත් සිතුවේ සල්මන් සමඟ ප්‍රියංකා ‘භාරත්’ චිත්‍රපටයේ රඟපාවි කියලයි.

නමුත් අන්තිමේදී සිදුවුණේ ප්‍රියංකා වෙනුවට කට්රිනා කයිෆ්ව තෝරා ගැනීමයි. සල්මන් සහ කට්රිනා ගේ පෙම් රැඟුම් කදිමට ගැළපෙන බවත් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය ‘භාරත්’ චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතු වන බවත් ඒ චිත්‍රපටයට සම්බන්ධ අය කියන්නට පටන් ගත්තා.

නමුත් ප්‍රියංකා වැනි ප්‍රවීණ නිළියක් ද ‘භාරත්’ චිත්‍රපටයට කදිමට ගැළපෙන බවයි, තවත් අය ප්‍රකාශ කළේ. කොහොම වෙතත් ඒ අවස්ථාව ‘ක්වොන්ටිකෝ නිළියට’ උදාවුණේ නැහැ. ඇය ඉවත්කර කට්රිනාට ඇගේ තැන ලබාදීමට මුල් වුණේ කවුරුන්ද? අධ්‍යක්ෂ අලි අබ්බාස් ද? නැත්නම් කට්රිනා ගේ පෙර පෙම්වතා වූ සල්මන් ද?

වසර 18කට පසු  එක්වූ දෙදෙ­නෙක්  

ජනප්‍රියත්වයෙන් හිනි පෙත්තටම නොගියත් මනෝජ් බජ්පායිගේ රංගන හැකියාවන් සිනමා ලෝලීන් හොඳින් හඳුනනවා. හොඳම සහාය නළුවාට හිමිවන ජාතික සිනමා සම්මානය, ෆිල්ම් ෆෙයාර් විචාරක සම්මානය වැනි සම්මානයන්ගෙන් පිදුම් ලද මනෝජ් බජ්පායි, කිහිප වතාවක් ම ෆිල්ම් ෆෙයාර් සම්මානයන් සඳහා නිර්දේශ වී තිබෙනවා.

අපූර්ව රංගන හැකියාවන්ගෙන් යුතු මනෝජ්, මීට වසර 18 කට පෙර තමන් සමඟ රඟපෑ ප්‍රවීණ, ජනප්‍රිය නිළියක සමඟ යළි රඟපා තිබෙනවා. මේ ප්‍රවීණ නිළිය තමයි, තාබු. මේ දෙදෙනා එදා රඟපෑවේ ‘දිල්පෙ මට්ලෙයාර්’ නම්වූ චිත්‍රපටයේයි. මනෝජ් සහ තාබු නම්වූ ජාතික සිනමා සම්මානයන්ගෙන් පිදුම් ලද නළු නිළි යුවළ යළි එකට රඟපෑමේ චිත්‍රපටය, ‘මිසිං’. විද්‍යාත්මක ත්‍රාස ජනක සිදුවීම් රැගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මුකුල් අභයන්කාර්. විවාහක යුවළක් සහ ඔවුන්ගේ තුන් හැවිරිදි දියණිය වටා ගෙතුණු කතාවක් මුසුවූ ‘මිසිං’ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වන්නටත් මනෝජ්ට ඉඩ ලැබී තිබුණා.

“මේ චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යයටත් එක් වෙන්න කියල මට ආරාධනා කළේ අධ්‍යක්ෂවරයායි. මේක මගේ මුල් ම චිත්‍රපට නිෂ්පාදනයයි. ඒක මට විශේෂයක් වුණත්, ඊට වඩා විශේෂයක් වෙන්නෙ තාබු එක්ක රඟපෑමයි. ඇයත් එක්ක රඟපාද්දී මගේ හිත තුළ ඇති කළේ තිගැස්මක්. මේ චිත්‍රපටයේ තාබුගේ රඟපෑම් දකින අයට ඒ ගැන කතා කරන්න වචන නැතිවේවි” මනෝජ් බජ්පායි පැවසූවා.

රිචා චඩ්ඩා ‘වැඩි­හිටි’ චිත්‍ර­ප­ට­යක

හොඳින් ‘ගෙදර වැඩ’ කරගෙන සිනමා කැමරාවක් ඉදිරියට යෑම තමයි ජනප්‍රිය නිළි රිචා චඩ්ඩා නිතරම උත්සාහ කරන්නෙ. ඇය පසුගිය දවස්වල ඉන්දියාවේ උසාවි තුළ ගැවසුණෙත් එවැනි ‘ගෙදර වැඩ’ කිහිපයක් වෙනුවෙන්.

රිචා වැනි සුරූපී ජනප්‍රිය නිළියක් උසාවි තුළ වරින් වර දකින්න ලැබුණේ ඇයි දැයි බොහෝ දෙනකු විමසුවේ කරුණු හරි හැටි වටහා නොගෙනයි. ඇත්තෙන් ම ඇයට ඕනෑවී තිබුණේ උසාවියක නඩු අහන හැටි, නීතිඥයන් තර්ක විතර්ක කරන හැටි හොඳින් දැක බලාගන්නයි. ඒ, ඇයට ලැබී ඇති චරිතයක් හොඳින් නිරූපණය කරන්නයි. රිචාට ලැබී ඇත්තේ ‘සෙක්ෂන් 375’ නම්වූ චිත්‍රපටයේ නීතිඥවරියකගේ චරිතයක්. ඉතින්, ඒ වෙනුවෙන් ඇය පසුගිය දිනවල නඩු විභාග කරන අයුරු විතරක් නොවෙයි, දන්නා හඳුනන නීතිඥවරුන් සහ නීතිඥවරියන් හමුවී තව තවත් උපදෙස් ලබාගත්තා.

රිචාට මීට අමතරව මලයාලම් භාෂාව ඉගෙන ගන්නටත් සිදුවෙලා. ඒ, මලයාලම් චිත්‍රපටයක රඟපෑමටයි. මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය වී ඇත්තේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක වූ ශකිලා ගේ ජීවිත කතාව පාදක කරගෙනයි. දමිළ සහ තෙලිඟු සිනමාවේද ජනප්‍රිය වූ ශකිලා, වඩාත් ම රඟපෑවේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවලයි.

රිචාට ලැබී ඇත්තේ ශකිලා ගේ ජීවිතය යළි නිරූපණය කිරීමේ අවස්ථාවයි. මේ නිසා නිවැරැදිව මලයාලම් භාෂාව උච්චාරණය කළ යුතුයි. ඒ නිසයි, රිචා ඉදිරි මාස කිහිපය තුළ මලයාලම් භාෂාව ඉ‍ගෙන ගැනීමට සූදානම් වන්නේ.

සුජීව තේව­හෙ­ට්ටිගේ

Comments