සිනා කතා | සිළුමිණ

සිනා කතා

වෙලා තියෙන්නෙ ඒකයි

“මොකද මේ අපේ පැට්රික් මහත්තයත් එක්ක පවුල විරසක වුණයි කියන්නෙ? දෙන්නා බොහොම සමාදානයෙන් හිටියයි කියලයි මට නං පෙනුණෙ. මේ හිටපු ගමන් දික්කසාද නඩුවක් දාන්ඩ තරං මොකද්ද එයා තමන්ගෙ වයිෆ්ට කරපු වරද?” රුවිනි ඇසුවේ නාට්‍ය උලෙළ අවසන් වී ආපසු නිවෙස බලා යාමට සූදානම් වෙමින් සිටියදී ය.

“අවසන් වටයේ නාට්‍ය දවසක සිද්ධවුණු දෙයක් ඕකට හේතු වුණා කියල තමයි ආරංචි.

ඒ නාට්‍යකරුවෝ වේදිකාවට කැඳවලා මල් කලඹක් දීලා පිළිගන්න, එතකොට සහභාගිත්ව සහතිකයක් පිරිනමන සිරිතක් තිබුණනෙ. ඔය එක දවසක මල් කලඹ දුන්නෙ පැට්රික් මහත්තයා අතින්. එදා නාට්‍යයේ නිෂ්පාදිකාවට මල් කලඹ පිරිනමලා පැට්රික් මහත්තයා නිකං හිටියේ නැහැ‍. එයාට උණුසුම් හාද්දකුත් දුන්නා. හැබැයි, අවාසනාවකට වගෙ පැට්රික් මහත්තයට ඒ වෙලාවේ අමතක වුණා. එයා එදා නාට්‍යය බලන්ඩ ආවේ වයිෆ් එක්ක කියල” තිළිණ හේතු දක්වමින් කීවේ ය.

 

කලින් යන්ඩම වෙනවා

“නගර සභාවේ මන්ත්‍රී රැස්වීම පටන්ගන්නෙ නවයට නේද? තවම උදේ හත පහුවුණා විතරයිනෙ. අනික අම්මා ඒ රැස්වීමට යන්නෙ අජිත් අයියගෙ ත්‍රීවීල් එකේනෙ. ඉතින් මෙච්චර කලින් යන්නෙ මොකටද?” අභිනවයෙන් නගර සභා මන්ත්‍රී ධූරයකට පත්වූ දිමිත්‍රා කඩිමුඩියේ ලක ලැහැස්ති වී නිවසින් පිටත්වීමට සූදානම් වෙද්දී දියණිය ඇසුවේ තරමක විමතියකිනි.

“පුතා දන්නවද නගර සභාවට මේ පාර අලුතෙන් මන්ත්‍රීවරු කීදෙනෙක් නං පත්වුණා ද කියල? සභාවේ සීට් එකක් අල්ලගන්ඩ නං පැයක් හමාරක් කලින් යන්ඩම වෙනවා. දිමිත්‍රා තම දියණිය දෙස බලා කීවේ නිවසින් එළියට බසිමිනි.

 

එහෙම කරන්ඩ පුළුවන්ද?

“නාට්‍ය උලෙළ පටන් ගත්ත දවසෙ ඉඳලා ඒ නාට්‍ය බලන්ඩ යද්දී - එද්දී ඔයා හරියට මූණ දිහා බලලා මා එක්ක කතා කරන්නෙ නැහැ. බලපු නාට්‍යයක් ගැන මම මොනවා හරි දෙයක් කිව්වමත් ඔයා ඒක නෑහුණා වගෙ ඉන්නවා. ඇත්තටම මොකද ඔයාට මේ වෙලා තියෙන්නෙ?” නාට්‍ය ‍උලෙළට සහභාගි වී ආපසු නිවෙස් බලා යමින් සිටියදී හේමා තම සැමියා දෙස බලා කීවේ නෝක්කාඩුවක ස්වරයෙනි.

“ඔයා මගෙ වයිෆ් බව හැබෑව. ඒත් නාට්‍ය බලද්දී ඔයා ප්‍රේක්ෂකයෙක් විතරක් වුණාට මම ඒ නාට්‍ය විනිශ්චය කරන මණ්ඩලයේ සාමාජිකයෙක් කියල ඔයාට අමතක වුණා ද? ඉතින් ඔයා නාට්‍ය බලලා පළ කරන මත අහලා මගේ විනිශ්චය අවුල් කරගන්ඩ කියලද ඔයා මට කියන්නෙ” උපාලි කීවේ බැරෑරුම් ස්වරයකිනි.

 

පුදුම වෙන්ඩ දෙයක් නැහැ

“අර අලුත් වේටර් බොහොම ආචාරශීලී විදියටනෙ හෝටලේට එන අයට සලකන්නෙ. කෑම ගෙනැල්ලා තියල කෑම කන්ඩ අපිට ආරාධනා කළෙත් හරිම ගරු සරු ඇතුව” හෝටලයේ ආහාර බුදිමින් සිටියදී බිරිඳ, රේණුක දෙස බලා කීවා ය.

“ඒකෙ පුදුම වෙන්ඩ දෙයක් නැහැ. මට මිනිහා කීප වතාවක්ම මුණගැහිලා තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙ ආපන ශාලාවෙදි.

ඒ කැන්ටිමේ වේටර් කෙනෙක් විදියට මැති ඇමැතිවරුන්ට කෑම ගෙනාවේ මිනිහා. එහෙත් විශ්‍රාම ගියායින් පස්සෙ තමයි දැන් ඔය මේ හෝටලේ වැඩ කරන්නෙ” රේණුක කීවේ ය

 

එඩ්වඩ් චන්ද්‍රසිරි

අදහස්