සිනමා අඹ­රෙන් බැස­ගිය චාන්ද­නිය-5 | සිළුමිණ

සිනමා අඹ­රෙන් බැස­ගිය චාන්ද­නිය-5

මිනිසාගේ ජීවිතයෙන් අඩක්ම ගෙවන්නේ නිදා ගැනීමට බවට කියමනක් පවතී. එහෙත් පුංචි ශ්‍රී දේවියගේ දිවා කාලය මෙන් ම රාත්‍රී කාලය ද කැමරාව ඉදිරියේ මවන චරිත විසින් අවදි කර, සොරාගනු ලැබ ඇත. ‘කන්දක් කරුණෙයි’ (1967) සිනමා පටයේදී මුළු ගත පුරාම නිල් පැහැය තවරාගෙන ස්කන්ධ දෙවියන්ගේ කුඩා විය රඟපෑම සිවු හැවිරිදි දැරියකට පහසුවෙන් කළ හැක්කක් නොවේ. එහෙත් කුලුඳුල් සිනමා පටයේදී ම අධ්‍යක්ෂවරයාට කිසිවක් දෙවරක් පැවසීමට හෝ එක ම දසුන යළි යළිත් ගැනීමට හෝ සිදු වූයේ නැත. එවකට දමිළ සිනමාවේ පතාක යෝධයන්ව සිටි අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් මවිතයට පත් කළ කාරණය ද එයම විය. දමිළ වේවා, තෙළිඟු වේවා, මලයාලම් වේවා, දේව චරිතය, ප්‍රධාන තාරකාවගේ බාලවිය, සහෝදරියකගේ චරිතය ආදී කුමන චරිතයක් වේවා ඔවුනගේ අංක එකේ තෝරා ගැනීම ‘බේබි ශ්‍රී දේවි’ විය. පූම්බත්තා (සමනලයා) එම තෝරා ගැනීමේ නිරවද්‍යතාවයට ලද සම්මානනීය සාක්ෂියයි.

‘බේබි ශ්‍රී දේවි’ හොඳම ළමා නිළිය බවට පත් වුණේ මලයාලම් දමිළ ද්විභාෂික ‘කුමාර සම්භවම්’ සිනමා පටයේ රංගනයෙන් අතිශය ජනප්‍රියවී සිටියදීය. පස් හැවිරිදි කුඩා දැරියක සංගීත භාණ්ඩ ගණනාවක් වයමින් රැඟූ ගීතමය ජවනිකාවත්, කුමාර චරිත නිරූපණයත් ප්‍රේක්ෂකයන්ට කෝවිලක කුඩා දේව ප්‍රතිමාවකට තිරයේදී පණ ලැබීමක් හා සමාන විය.

1971 වසරේ පූම්බත්තා තිරගත වූවත් ශ්‍රීට සම්මානය පිරිනැමුණේ 1970 දීය. 1971 තිරගත වූ බොහොමයක් සිනමා පටවල ශ්‍රීගේ දත් කැකුළු පෑ කිරි සිනාව වෙනුවට දක්නට ලැබුණේ ද ඉදිරි පෙළ දත් වැටුණු සුරතල් දඟකාරියකි. ඒ වසරේ එකම දිනයේ තමන් රඟපෑ සිනමාපට දෙකක් තිරගතවීමේ සතුට ද ශ්‍රී සිත්සේ විඳ ගත්තාය.

ආනා වලර්දියා වනම්පඩියුඩේ මහන් වලයාලම් සිනමාපටය ජූලි 22 වැනිදා මොලිවුඩයේ තිරගතවූ අතර එයම දමිළ හඬ කවා එදිනම යානෙයි වලර්තා වනම්බදි මගන් නමින් තිරගත විණි.

ආදි පරාසක්ති දමිළ වර්ණ සිනමා පටයත්, බාබු කළු සුදු සිනමා පටයත් තිරගත වූයේ ඔක්තෝබර් 18 වැනි දිනය. 1971 තිරගතවූ සිනමාපට අතරින් ‘නා තම්මුදු’ සිනමා පටය පුංචි තාරකාවට අති සුවිශේෂීය. ඩිරෙක්ටර් සර් කාරයේ හැපෙන ජවනිකාවක නිරූපණය කිරීමට පැවසූ විට එය ශ්‍රීට දැනුණේ කතා නායකයා දුෂ්ටයා පරදවා ජය ගන්නවාට ද වඩා විසල් ජයක් ලෙසයි.

‘නා තම්මුදු’ අධ්‍යක්ෂණය කළේ කෝවෙලාමුදි සූර්ය ප්‍රකාශ් රාඕය. ඔහුට අවශ්‍යවී තිබුණේ තාත්වික ලෙස ශ්‍රී මෝටර් රථයේ හැපෙන ජවනිකාවක් රූගත කිරීමටයි. මාවතේ විරුද්ධ පැත්තේ සිටින කුඩා ශ්‍රීට රාඕ ලේන්සුව වැනූ විගස ම පාර පැන ඔහු දෙසට දිව එන ලෙස පැවසීය.

ඇය රාඕ ඩිරෙක්ට්ර සර් පැනවූ අණ අකුරට ම ක්‍රියාත්මක කළාය. වම හෝ දකුණ නොබලා අධ්‍යක්ෂවරයා අණ කළ සැණින් ශ්‍රී පාර පැන්නේ කඟවේනකුටත් වැඩි වේගයකිනි. කුඩා දැරිය වාහනේ වැදී ඉවතට විසිවූ ආකාරය කිසිවකුටත් සිතාගත නොහැකි විය. නා තම්මුදු සිනමා පටයේ ඉතා තාත්විකව දර්ශනය රූගත වුණත් ඉන් ශ්‍රී දේවිය මිය යාමට පවා ඉඩ තිබිණි. වාසනාවකට සීරීම් තුවාල පමණක් ලබා දැරියගේ දිවි ගැළවිණි. අධ්‍යක්ෂවරයාගේ අණ සියයට සියයක් ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී දිවි දෙවැනි කොට කැපවී සිටියාය.

රාඕ රූගත කිරීම ගැන තෘප්තිමත් වුවත් ඔහුට සතුටට පත්වීමට නම් නොහැකි විය. ඔහුටත්, සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහුගේ පුතු කේ රාග වේන්ද්‍ර රාඕටත් සිනමාපටය රූගත කරන තුරුමත්, තිරගත වෙද්දීත් එම දර්ශනයෙන් ඇතිවූ කම්පනය නම් දරාගත නොහැකි විය.

ශ්‍රී ගේ මවගේ කෑගැසීමත්, තමන් සිරභාරයට ගන්නා ආකාරයත් තරුණ සහාය අධ්‍යක්ෂවරයා සිහිනෙන් දුටුවේය. අනතුරට පත් ශ්‍රී දෝත දරා ගෙන වහාම ගොස් ප්‍රථමාධාර ලබා දෙන ලද්දේ රාඕය. එදින තම දිවිය බේරුණේ අනූනවයෙන් බව ශ්‍රීට නොවැටහිණි. සීරීම් තුවාලවලට ප්‍රතිකාර ලැබුවද පාදයට වූ අනතුරින් ශ්‍රී ට සුපුරුදු ලෙස දඟකාර අන්දමින් දුව පැනීමට නම් දින කිහිපයක් ම ඉවසීමට සිදුවිය.

රාජේශ්වරීට ද සම්මානයේ සතුට විඳිමින් සිටියදී ලද අමිහිරි අත්දැකීම භයානක සිහිනයක් සේ දිවා රෑ සිතට වධ දුන්නේය. එහෙත් ශ්‍රීට නම් ඊළඟ රූගත කිරීමේදී සියල්ල අමතක වී තිබිණි. ‘ලයිට්ස් කැමරා ඇක්ෂන්’ දිව මතුරත් සමඟ ශ්‍රී, ඩිරෙක්ටර් සර්ගේ අණින් විදුලි බෝනික්කියකසේ ක්‍රියාත්මක වන්නීය.

දෙපා බිම තැබීමට හැකිවූ පසු ඇය කිරිල්ලියක සේ දර්ශන තලයට ගියේ ඉතිරි කොටස් රඟපෑමටයි. සුපුරුදු පරිදි ශ්‍රී අධ්‍යක්ෂවරයාටත් සහාය අධ්‍යක්ෂවරයාටත් හිස නමා ආචාර කර දෙපා වන්දනා කළාය. පළමු අධ්‍යක්ෂවරයාගේ සිටම මව එසේ කරන ලෙස ශ්‍රී ට අවවාද කළ අතර කුඩා දැරිය ද එය අකුරට ම පිළිපැද්දාය. එහෙත් අධ්‍යක්ෂවරු දෙදෙනා එදින දැරියගේ ගෞරවනීය ආචාරය පිළිගත්තේ කඳුළු පිරි ‍දෑසිනි. ඔවුන් ඉන්පසු වෙනදාටත් වඩා දැරියගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූවාය.

1971 දී ශ්‍රී රැඟූ දමිළ සිනමාපට හතරක් ද, මලයාලම් සිනමා පට දෙකක් ද තෙලිඟු සිනමා පට පහක් ද තිරගත විය. 1971 අප්‍රේල් 14 තිරගතවූ ‘සබාදම්’ දමිළ සිනමා පටයේ ශ්‍රී මහා භාරත නාට්‍ය දර්ශනයේ පුංචි ක්‍රිෂ්ණා විය. ශ්‍රීමන්තුදු (මිලියනපති) තෙලිඟු සිනමා පටයේ ජමුනා, අක්කිනේනි නාගේෂ්වර රාඕ ඇතුළු තෙලිඟු සිනමාවේ යෝධ තරු අතරට ශ්‍රී ද එක්විය. කුඩා රාජා ලෙස රැඟූ මාස්ටර් ආදිනාරයන සමඟ එක්වී කුඩා රාධා ලෙස රැඟූ ශ්‍රී දේවියගේ රංගනය වගේ ම චිට්ටේ පොට්ටේ පොන්මලු ගීතමය නර්තන ජවනිකාවත් ප්‍රේක්ෂකයෝ නැවත නැවතත් රස වින්දහ. ප්‍රධාන තාරකාව වූ රාධාට ශ්‍රී මුල්වරට මුණ ගැසෙන්නේ ශ්‍රීමන්තුදු සිනමා පටයේදීයි. දර්ශන තලයේදී වැඩිය කතා නොකරන (කතාව සීමිත) කැමරාවේදී අවශ්‍ය තරමට කතා කරන මේ දැරිය අන් දරු දැරියන්ට වඩා සැමට ම සුවිශේෂී විය. සෑම අධ්‍යක්ෂවරයකුගේ වාගේ ම නළු නිළි, සිනමා කණ්ඩායම්වලත් රාජේශ්වරී, ශ්‍රී දියණිය නිළියක ලෙස පෙළ ගස්වන අන්දම ගැන තිබුණේ පැහැදීමකි.

පාත්තින්දලා බන්ගරම් හි ශ්‍රීගේ රංගනය වගේ ම අම්මානු නේනන්තා රඟමින් ගැයූ ගීය ද ජනප්‍රිය විය. ආදි පරාශක්ති සිනමා පටයේ යළිත් කුඩා ස්කන්ධ කුමරු හා කුඩා පූසාරියකසේ චරිත නිරූපණය කළාය. අැය ශ්‍රී ස්කන්ධ කුමරු වූයේ ශක්ති දෙවඟනගේ චරිතය රැඟූ ජයලලිතා සමඟයි.

බාබු හි දිළිදු දැරියක ලෙස ශ්‍රී, ජෙමිනි ගනේෂන් සමඟ කළ රංගනය ද 1971 වස‍ෙර් ශ්‍රී ගේ රංගන අතර කැපී පෙනිණි. ශ්‍රී සුරතල් කරමින් ජෙමිනි රඟන සෞන්දරරාජන් ගයන ඉදෙන් එන්දන් දේවියම් ගීය නැළවිලි ගීය කොලිවුඩයේ රැව් දුන්නේය.

කාතිකි කන්කනම්, නෙනෝ මනිෂිනේ 1971 තිරගතවූ ශ්‍රී රැඟූ තවත් තෙළිඟු සිනමාපට දෙකකි. කාතිකි කන්කනම් සිනමා පටයේ ආශ්‍රමක දැරියක ලෙස ශ්‍රී රඟන්නීය. එහි නයකුගෙන් ඇය බේරා ගන්නා රූප රාමුව ද ප්‍රේක්ෂකයන්ට මෝටර් රථ අනතුරට නොදෙවැනි ලොමු ඩැහැ ගන්වන අත්දැකීමක් විණි.

  චම්පිකා දීපානි රණ­සිංහ    

අදහස්