සිංහල සින­මාවේ උදා­ගිර: | සිළුමිණ

සිංහල සින­මාවේ උදා­ගිර:

ඉංගිරිසි කතා කරන ගෙදරක ඉපදී ඉහළ සමාජ චාරිත්‍ර මැද ජීවත් වූ ලෙස්ටර්ට එදා සිංහල දෙබසක් අහන්නට ලැබුණේ සිය මවට තදින්ම කේන්ති ගිය අවස්ථාවකදී පමණක් බව ලෙස්ටර් කියා ඇත. එහෙව් ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගම කරා ගොස් ගැමි සමාජයේ හැඟීම් විශ්වාස හා ඇවතුම් පැවතුම් ඔස්සේ සිනමා නිර්මාණයක් කිරීම එක් අතකින් විස්මය ජනකය.

රුසියානු සාහිත්‍යය බිහිවූයේ නිකොලායි ගොගොල්ගේ ‘හිම කබාය’ නිසා නම්, සිංහල සිනමාව බිහිවූයේ ලෙස්ටර ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ නිසාය.

පියා ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් සහ මව විනිප්‍රඩ් ජයසූරිය අදහස් කළේ ලෙස්ටර් වෛද්‍යවරයෙකු කරන්නටය. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ උගනිද්දී ස්කොට්ලන්ඩ් ක්‍රිකට් පිලේ සිටි පියා, පුතු ක්‍රිකට් ක්‍රීඩකයකු කිරීමේ අපේක්ෂාවක් ද තිබිණ. ශාන්ත පීටර් විද්‍යාලයේ දී ගුරු පීටර් පිල්ලේ පියතුමාට උවමනා වූයේ ලෙස්ටර් පූජකවරයකු කරන්නටය.

එහෙත් ලෙස්ටර් මුලින් හිතුවේ මුල්ක්රාජ් ආනන්ද් හෝ Grass for My Feet ලියූ ජිනදාස විජයතුංග වැනි ලෝඛකයකු වන්නටය. ලෙස්ටර් වරෙක Cathedral And A Star නම් කවි පොතක් ලීවේය. එය හිතට මදිය. ඔහු එය රහසේම පුලුස්සා දැම්මේය. Schord for Wives නමින් නාට්‍යයක් කළේය. ඉනුදු සෑහීමකට පත් නොවීය. Farewell to Childhood නමින් කෙටි කතාවක් ලිව්වේය. ඒත් හිතට හරිගියේ නැත. අවසානයේ ඔහු පුවත්පත් කලාව තෝරා ගත්තේය. ඔහුට එතැන ද නවාතැනක් පමණක් විය.

ක‍තෝලික පවුලක උපන්නත් පවුලේ දරුවන් සිවු දෙනාටම කේන්දර ලියවා තිබිණි. බොරැල්ලේ සිටි ක්ලිෆර්ඩ් පෙරේරා නම් දෛවඥයා ලෙස්ටර්ගේ කේන්දරය බලා ‘මේ දරුවා චිත්‍රපටකාරයෙක් වෙනවා’ යි. අනාවැකියක් කීවේය. ඒ වන විට ලෙස්ටර් 15 හැවිරිදි වියේය. මෙරට චිත්‍රපට කලාවක් බිහි වී නැති කලෙක මෙබඳු අනාවැකියක් කීමට ඔහු සැබෑ දෛවඥයකු වියයුතු නොවේද?

චිත්‍ර ශිල්පියකු වූ පුත් අයිවන් පීරිස් මගින් හඳුනාගත් සුපතළ කලාකරු ලයනල් වෙන්ඩ්ට් පියාට උපදේශයක් දුන්නේය. ‘ලෙස්ටර් කැමති දේ කරන්න ඉඩ ‍දෙන්න’ ඒ උපදේශයයි.

සියල්ල අතහැර ලෙස්ටර් Times of Ceylon වාර්තාකරුවා ලෙස ලන්ඩනයේ ටයිම්ස් කාර්යාලයට ගියේය. Times of Ceylon පත්‍රයට ලියන අතර London Daily Express - Evening Standard සහ London Times පත්‍රවලටත් ලිපි සම්පාදනය කළේය. අවුරුදු 8 ක් ගෙවී ගියේය. ඔහු හිතා හිටියේ පත්‍ර කලාව දිගටම කරන්නටය.

ලෙස්ටර් ලන්ඩනයේ දී සොලිලොකියු (ආත්ම භාෂණය - 1949) නමින් විනාඩි 13 ක කෙටි චිත්‍රපටයක් හැදුවේය. මහා බ්‍රිතාන්‍යයේ ආධුනික සහ පර්යේෂණාත්මක චිත්‍රපට තනන්නන්ගේ උලෙළේ දී ශිල්පීය ප්‍රවීණතාව උදෙසා සිනමාභියෝග කුසලානය ඊට හිමිවිය. ඊළඟට ඔහු කලකට ඉහත තමන් ලියූ කෙටි කතාව පදනම් කරගෙන Farewell to Chilhood කෙටි චිත්‍රපටය ද හැදුවේය. ලන්ඩන් ටයිම්ස් පත්‍රය වෙනුවෙන් රැල්ෆ් කීන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට යන්නට සිදුවුණේ මේ අතරතුරය. ඔහු ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශයේ පත්වීමක් ලබා එහි යෑමට නියමිතව සිටියේය. ශ්‍රී ලංකාවට පැමිණියහොත් රජයේ චිත්‍රපට අංශයේ රැකියාවක් දීමට ඔහු ලෙස්ටර්ට පොරොන්දු විය. රැල්ෆ් කීන් කොළඹට පැමිණ ලෙස්ටර්ට ලියුම් පිට ලියුම් ලිව්වේය. අන්තිමේදී ඔහු පැමිණ රජයේ චිත්‍රපට අංශයට බැඳී ‘නෙළුම්ගම’ - ‘ලංකාවේ උරුමය’ යන චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. ‘නෙළුමගම’ පටිගත කරද්දී, සිනෙ කැමරාව චිත්‍රාගාරයෙන් එළියට ගතහොත් බොහෝ දේ කළහැකි යැයි ලෙස්ටර්ට සිතිණි.

ලෙස්ටර් සිය ඉහළ පැළැන්තියේ වටිනාකම්වලට පයින් ගසා සිනමාව ස්වකීය වෘත්තිය ලෙස තෝරා ගත්තේය. ටයිටස් තොටවත්ත - විලී බ්ලේක් සමඟ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයෙන් නික්මුණේ ‘රේඛාව’ හැදීමේ අරමුණ ඇතිවය.

1956 නව යටත් විජිතවාදයට අභියෝග කරමින් සිදු වූ දේශපාලන පෙරළියෙන් ඉක්බිති අපේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ද පෙර නොවූ විරූ පෙරැළියක් සිදුවිය. මෙය පූර්ව නිදහස් අවදියේ ‘අපේ අනන්‍යතාව’ සොයා භාරතයට යෑම හා සමාන සංසිද්ධීන් කිහිපයක් සිදුවිය. දේශීය උරුමයත් - ජාතික අනන්‍යතාවත් සෙවූ මහාචාර්ය සරච්චන්ද්‍ර 1956 දී මනමේ නාටකය නිර්මාණය කළේය. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ‘විරාගය’ ලීවේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඓතිහාසික ‘රේඛාව’ නිර්මාණය කළේය.

චිත්‍රාගාරයේ සිරගත කරනු ලැබ සිටි සිනෙ කැමරාවත් රැගෙන ඔහු චිත්‍රාගාරයෙන් නික්මී ගමට ගිය ගමන බටහිර සිනමානුරූපී හරයත් - හරවත් ජාතික අනන්‍යතාවත් - කලාත්මක සිනමා භාවිතාව තුළින් බද්ධ කිරීමට ගිය ගමනක් විය. දකුණු ඉන්දියානු පියකුට දාව උපන් අපේ සිනමාවේ ජාතික අනන්‍යතාව සෙවූ ප්‍රථමයා ලෙස්ටර් ජේම්ස් පීරිස් නොවේ. දේශප්‍රේමී සිරිසේන විමලවීර ය. එහෙත් කලාත්මක සිනමා භාවිතාව හෝ ජාතිකත්වය ගවේෂණයට අවශ්‍ය නිසි දැක්මක් නොතිබීම නිසා ඔහුගේ ව්‍යායාමය නිෂ්ඵල විය.

ජගත් සිනමා සිතියමේ ආසියානු සලකුණ තැබීමට මහා සිනමාකරුවන් වන අකිරා කුරෝසවා - සත්‍යජිත් රායි සමඟ අපේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හැකිවීම අපේ අභිමානයට හේතුවක් නොවන්නේ ද?

අපේ විදග්ධ සිනමාවත් - විදග්ධ සිනමා රසඥතාවත් - විදග්ධ සිනමා විචාරයත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරනු ලැබීය. ග්‍රාම්‍ය ලක්ෂණ සහිත ගොරහැඩි සිනමාවෙන් සංවරශීලී කලාත්මක සිනමාවත් - ගොරහැඩි “චිත්‍රපටි” නිසා නිර්මාණය වුණු අවර ගණයේ රසඥතාවෙන් උසස් කලාත්මක සිනමා රසවින්දනයට අවශ්‍ය සියුම් සිනමා වින්දනටයත් - සැබෑ විචාරය - සැබෑ කලාත්මක සිනමා කෘතියක් හඳුනා ගැනීමේ ජාත්‍යන්තර ප්‍රමිතියක් බවට පත් කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

කොටින්ම අපේ ජාතික සිනමාව ලෙස්ටර් ජේම්ස් පීරිස් හරහා හැදුණේ ය. වැඩුණේ ය. පෝෂණය වූයේ ය. ඒ සමඟම සැබෑ සිනමා භාවිතාව හඳුනාගත් නව පරපුරක් බිහි වූයේ ය. වරෙක තිස්ස අබේසේකර (GROWING WITH LESTER) ‘ලෙස්ටර් සමඟ වැඩීම’ යනුවෙන් කළ සඳහන තුළ ලෙස්ටර් ගැන කිවයුතු සියල්ල අන්තර්ගත වෙයි.

සිනමාත්මක රූප භාෂාව යනු කුමක් ද? ශික්ෂණයෙන් යුත් රංගනය යනු කුමක් ද? ගොරහැඩි කර්කශ බවින් මිදුණු සංගීතය යනු කුමක් ද? සිනමාවේ ගීතයක සුගම පදවැල කවරාකාර විය යුතුද? මේ සියල්ලේ කලාත්මක භාවිතාව කියා දුන්නේ ඔහු ය. අපේ සිනමාවේ මාර්ගෝපදේශකයා ඔහු ය. අපේ සිනමාවේ අභ්‍යාස විද්‍යාලය ඔහු ය. සැබෑ සිනමාව සොයන්නවුන් ගේ අත්වැල ඔහුය. අපේ සිනමාවේ ප්‍රමිතිය ඔහුය. කොටින්ම අපේ සිනමාවේ දිසාපාමොක් ඔහුය. අපේ සිනමාවේ ජාතික අනන්‍යතාව සොයා දුන් ජාතික සිනමාකරු ද ඔහුය. අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය ජාත්‍යන්තර සිනමාකරු ද ඔහුය. එබැවින් ඔහුට සමස්ත ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.”

අපේ රටේ කලාකරුවාගේ නිදහස් ප්‍රකාශනයට බාධක ඇරැඹුනේ ද ඔහුට කෙණෙහිලි කිරීමෙන් බව ලෙස්ටර්ට සිහිවිය. පොඩි ළමයින්ට ගැහැට පමුණුවන නරක මිනිසුන් පෙන්වීම රටට අහිතකර යැයි චෝදනා කර රේඛාව ‘කෑන්ස්’ චිත්‍රපට උලෙළට යැවීම නතර කළ යුතු යැයි සංස්කෘතික ඇමතිවරයෙක් තදබල ලෙස කියා සිටියේය. කලාකරුවන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තහංචි පැනවීමේ මෙම ආරම්භය, පසුකාලීනව යුද්ධය - දේශප්‍රේමය හෝ සමාජ දේශපාලනය විශ්ලේෂණය කරන සිනමාකරුවන්ගේ නිර්මාණ කප්පාදුව දක්වා වර්ධනය විය. එවිට මුලින්ම නැඟී සිටියේ ලෙස්ටර්ය. බ්‍රිතාන්‍යයේ ලින්ඩ්සේ ඇන්ඩර්ටසන් - බ්‍රිටැනිකා හොස්පිට්ල් චිත්‍රපටයෙන් බ්‍රිතාන්‍ය රෝහලකට උපමා කරමින් එහි වැසියෝ ද මහ රැජන ද උන්මත්තකයන් ලෙස නිරූපණය කළේය. ඔහුගේ “IF” චිත්‍රපටය පාසලක ඉහළ පන්ති ළමයින් හමුදාවක් හදා, විදුහල් තෑගි ප්‍රදාන‍යකදී බිහිසුණු ඝාතන රැසක් සිදු කිරීම නිරූපණය කළේය. මේ උදාහරණ දක්වමින් ලෙස්ටර් පෙන්වා දුන්නේ, සිනමාකරුවන්ට තමන් ජීවත්වන සමාජය වටා කැකෑරෙන ගැටලු සිය නිර්මාණ මඟින් සාකච්ඡා කිරීමට ඉඩ තැබිය යුතු බවයි. අශෝක හඳගම‍ගේ - විමුක්ති ජයසුන්දරගේ නිර්මාණවලට කතුර අමෝරාගත් විට තරුණයන් වෙනුවෙන් පෙරමුණ ගත්තේ වයෝවෘද්ධ ලෙස්ටර්ය.

ඉංගිරිසි කතා කරන ගෙදරක ඉපදී ඉහළ සමාජ චාරිත්‍ර මැද ජීවත් වූ ලෙස්ටර්ට එදා සිංහල දෙබසක් අහන්නට ලැබුණේ සිය මවට තදින්ම කේන්ති ගිය අවස්ථාවකදී පමණක් බව ලෙස්ටර් කියා ඇත. එහෙව් ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගම කරා ගොස් ගැමි සමාජයේ හැඟීම් විශ්වාස හා ඇවතුම් පැවතුම් ඔස්සේ සිනමා නිර්මාණයක් කිරීම එක් අතකින් විස්මය ජනකය.

‘රේඛාවේ’ සිට ‘අම්මාවරුනේ’ දක්වා ‘පිංහාමි’ කෙටි චිත්‍රපටයක් ඇතුළුව සිංහල චිත්‍රපට 20 ක් ලෙස්ටර් නිර්මාණය කළේය. ‘සොලිලොකියු’ (ආත්ම භාෂණය) සිට ‘කැන්ඩි පෙරහැර’ දක්වා වාර්තා චිත්‍රපටි 11 ක් ඔහු නිර්මාණය කළේය. ඔහුට දේශීය - විදේශීය සම්මාන බොහොමයක් ලැබුණේ මේ සමහර චිත්‍රපටවලටය.

ලෝ පතළ වන කලා කෘති නිර්මාණය වන අතරතුර සිදුවන අහඹු සිදුවීම් නිසා කලා කෘතියක් බවට පත්වන්නට ගිය ඇතැම් කෘති ඉවතට යයි. නොසිතූ විරූ කෘති ඉදිරියට එයි. ප්‍රතිනිර්මාණය වෙයි.

මාර්ටින් වික්‍රමසිංහගේ අරමුණ වූයේ මා ලවා ‘රෝහිණි’ නම් ඔහුගේ ඓතිහාසික නවකතාව සිනමාවට නංවන්නටයි. කොටින්ම ඔහු ‘රෝහිණී’ පිටපතක් ආනන්ද ජයරත්න අතේ මා වෙත එවා තිබිණ. ‘ගම්පෙරළිය’ සිනමාවට වඩා යෝග්‍ය යැයි මට රෙකමදාරු කළේ රෙජී සිරිවර්ධනය. මම ‘රෝහිණි’ ඉවත දමා ‘ගම්පෙරළිය’ සිනමාවට නැඟීමි.

ජී.බී. සේනානායකගේ ‘පළිගැනීම’ කෘතියේ එන ‘නිධානය’ කතාව චිත්‍රපටගත කරන්නැයි බෙනඩික්ට් දොඩම්පෙගම ලෙස්ටර්ට කීවේ රේඛාව හැදූ අලුතය. එහෙත්, රේඛාව වාණිජ වශයෙන් අසාර්ථක වූ නිසා, ලෙස්ටර් ‘නිධානය’ ට අත නොගැසුවේය. “සංදේශය චිත්‍රපටයේ මූල බීජය උපන්නේ, දොඩම්පෙගම ලේක් හවුසියට බැඳී නොබෝ දිනකින් ලේක් හවුස් පුස්තකාලයේ තිබුණු 1929 මුද්‍රිත ‘කොන්ස්ටන්තීන්ද සාස් මැජ් ඇන්ඩ් ප්ලෑන් ඔෆ් සිලෝන්’ නම් කෘතිය දැකීමෙනි. ඔහු ඒ බව ලෙස්ටර්ට දැනුම් දීමෙන් පසු ලද අනුමැතියෙන් කේ.ඒ.ඩබ්ලිව්. පෙ‍රේරා සමඟ තිර නාටකය ද ලිවීය. ‘සංදේශය’ නිර්මාණය වීමේ නිමිත්ත එයයි.”

රොබට් නොක්ස්ගේ කතාව ඇසුරින් පැය හයක ධාවන කාලයකින් යුත් කතාංග 12 ක තිර නාටකයක් සැකසුව ද එම චිත්‍රපටය කඩාකප්පල් වීමෙන් හටගත් කම්පනයෙන් ලෙස්ටර් කලක් රෝහල්ගතව සිටින්නට ද සිදුවිය.

කිසියම් කලාවක විචාර මාර්ගය සැකැසෙන්නේ ද ප්‍රමිති නිර්මාණය වන්නේ ද බිහිවන කලා කෘති අනුසාරයෙනි. එබැවින් උසස් විචාර මාර්ගයක් පෑදෙන්ට පළමුව, උසස් කලා කෘති නිර්මාණය අනිවාර්ය වෙයි. මුල් පදනම සැකැසුණු පසු, විචාරය නිසා නිර්මාණයත් - නිර්මාණය නිසා විචාරයත් රථ චක්‍ර නියායෙන් වර්ධනය වෙයි. අපේ දේශීය සිනමාවේ ප්‍රමිතියත් - විචාර මාර්ගයත් නිර්මාණය වූයේ ලෙස්ටර්ගේ කෘති පාදක කොටගෙනය. එඩ්වින් ආරියදාස සූරීන් කියන්නේ දේශීය සිනමාවේ ‘මිනුම්දණ්ඩ’ ම ලෙස්ටර් ජේම්ස් පීරිස් බවය.

ධර්මසේන පතිරාජ - වසන්ත ඔබේසේකර - ප්‍රසන්න විතානගේ - අශෝක හඳගම - ධර්මසිරි බණ්ඩාරනායක - පරාක්‍රම නිරිඇල්ල - විමුක්ති ජයසුන්දර ආදීන්ගේ සිනමා කෘති වෙනුවෙන් ඔහු සෙන්පතියකු මෙන් පෙනී සිටී. ඔවුන් ගැන මහත් සේ අපේක්ෂා සහගතව සිටී.

1957 දී රේඛාව රැගෙන ප්‍රංශයට ගිය ලෙස්ටර්ට සිය සොහොයුරු සමඟ ප්‍රංශයේ සිටි සුමිත්‍රා ගුණවර්ධන නම් යුවතිය මුණ ගැසුණි. රේඛාව පෙන්වා, ලෙස්ටර් ශ්‍රී ලංකාවට ආවේය. සුමිත්‍රා ලන්ඩනයට ගියේ ලෙස්ටර්ගේ නිර්දේශය පරිදි, සිනමාකරණය ප්‍රගුණ කරන්නටය. ඇය පෙරළා ලංකාවට එන විට ලෙස්ටර් ‘සංදේශය’ ට සූදනම් වෙමින් සිටියේය. ඇගේ සොහොයුරාගේ ඉල්ලීම පිට ඇය සංදේශයේ සහාය අධ්‍යක්ෂවරිය ලෙස බඳවා ගැනිණි. එතැන් පටන් ලෙස්ටර්ගේ චිත්‍රපට දහයකම සංස්කාරිකාව වූයේ සුමිත්‍රාය.

“සුමිත්‍රා මගේ කලාවට වගේම, මගේ ජීවිතයටත් සැබෑ සහකාරිය වුණා. මගේ දුකට සැපට හිටියා. කොටින්ම කියතොත් මා මෙපමණ කල් ජීවත් වන්නේ සුමිත්‍රා නිසයි.’ සිංහල සිනමාවේ මනෝවිද්‍යාඥයා සිය පතිනිය ගැන එසේ කියයි.

ලෙස්ටර් ගැන පතිනිය සුමිත්‍රාගේ හැඟීම්ද ඊට නොදෙවැනිය. “මගේ ජීවිතය පුරා වැටී ඇති යෝධ සෙවණැල්ල ලෙස්ටර්ය. සිනමාකරුවෙකු වශයෙන් ලොවට ඔහු කොතරම් වටී ද මට මගේ ආදරණීය සැමියා ලෙස ලෙස්ටර් දහස් වාරයක් වටී.” ‘සංදේශය’ නිම කිරීමට මුදල් මදිපාඩු වූ විටක සීතාවක තානායම අසල මට අයිතිව තිබුණු ඉඩම විකුණා දමා, ඒ මුදල ලෙස්ටර්ට දුන්නෙමි. ඒ ලෙස්ටර්ගේ සැනසීම මගේත් සැනසීම ලෙස මා එදත් අදත් සිතන බැවිනි.

ඉකුත් අප්‍රේල් 5 වැනිදාට යෙදුණු ලෙස්ටර්ගේ 99 වැනි ජන්ම දිනයට සුමිත්‍රා, ලෙස්ටර් වඩාත්ම කැමැති ත්‍යාගයක් දුන්නාය. ඒ ඇගේ අලුත් ම චිත්‍රපටය ‘වෛෂ්ණාවී’ ය. ලෙස්ටර්ට සියක් ආයු ඉක්මවා ජීවත් වන්නට ශක්තිය ද සුමිත්‍රා ඒ සමඟ ම ලෙස්ටර්ට ප්‍රදානය කළාය.

 

 

තිලකරත්න කුරුවිට බණ්ඩාර

අදහස්