මුව­න්පැ­ලැස්සේ මැණිකේ දිවි රඟ­ම­ඬ­ලෙන් බැස යයි | සිළුමිණ

මුව­න්පැ­ලැස්සේ මැණිකේ දිවි රඟ­ම­ඬ­ලෙන් බැස යයි

‘අනේ ඔය කොරළේ පාණ්ඩිය මට ලැබුණ නම් දනී මං ඕක කරන හැටි‘ ඇයගේ ගෝරනාඩුව ඉවරයක් නැත. ගමම පාලනය කරන කෝරළේ මහත්තයාද ඇයගේ කතාව ඉදිරියේ ඉස්සරහට ගත් පය පස්සට ගත් වාර අනන්තවත්ය. ඇගේ හඬට වලව්ව පවා ගිගුරුම් දුන්නාය. ඒ තරම් ම හැමෝම මැණිකේට බයය. ඒ මැණිකේ ගේ කට සැර නිසාය. මැණිකේ කිසි දිනක දැක නොදැකපු අය වුවද මැණිකේට බයය. ඒ තරමටම ඇය මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍ය හරහා සිය චරිතයට අපූරු සජීවීකරණයක් ලබාදීමට සමත් වූවාය. එදා එම නාට්‍යයේ මැණිකේගේ චරිතයට පණ පෙවූ රත්නාවලී කැකුණවෙල නම් වූ ගුවන්විදුලි, වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා ප්‍රවීණ රංඟන ශිල්පිනිය සිය රංඟන දිවියෙන් පමණක් නොව ජීවිතය නැමැති රඟමඩලෙන් ද පසුගියදා සමුගත්තාය.

 

දශක පහකටත් අධික කාලයක් රංඟන ශිල්පිනියක ලෙසත්, හඬකැවීමේ ශිල්පිනියක ලෙසත් කටයුතු කරමින් සිටී ඇය රන්මිනිතැන්නේදී පද්මසිරි කොඩිකාර අධ්‍යක්ෂණය කළ ‘කෝරළේ මහත්තයා‘ ටෙලි නාට්‍යයේ මැණිකේ ලෙස රඟපාමින් සිටියදී හදිසියේම අසනීප වී රෝහල් ගත කෙරිණි. අධික රුධිර වහනය නිසා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණ ද වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ දක්ෂතාවත්, ඇයගේ පෙර පිනත් නිසා තව දුරටත් ජීවත් වීමේ වාසනාව හිමි වූවාය. එහෙත් එදින සිට විවේකීව ජීවිතය ගෙවූ රත්නාවලී මහත්මිය වසර 87ක් ආයු වළඳා මෙලොවින් සුමගත්තාය.

මුවන්පැලැස්ස ප්‍රචාරය වන සමයේ ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ අතොළොස්සකටය. ඇතැම් විට ගමේ යමක් කමක් තිබෙන ගෙදරකටය. එවැනි අවස්ථාවලදී එම ගමේ සිටින කුඩා, තරුණ, මහලු සියල්ලෝම ගුවන්විදුලිය ඇති නිවසට එක්රොක් වී මුවන්පැලැස්සට සවන් දුන්නේය. ඒ තරමට ම ගම්වල මිනිසුන් අතර මුවන්පැලැස්ස ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණේය. එහි එන චරිත මිනිසුන් අතර කොයිතරම් ජනප්‍රිය වී ඇද්දැයි කිවහොත් එම නාට්‍යයට සවන් දුන් ඇතැම් කාන්තාවන් මෙන්ම පිරිමින් ද එහි එන චරිත ද අනුකරණය කරන්නට පමණක් නොව සිය බිරිඳට මැණිකේ යැයි කතා කරන්නට පවා පෙළඹුණේය.

එලෙස ගම් දනව්කරා විසිරි ගිය මුවන්පැලැස්ස නාට්‍යයේ මැණිකේ හෙවත් රත්නාවලී කැකුණවෙල මහත්මියගේ පියා සයිමන් මිගෙල්ය. ගම නුවරය, මව සැලිනා ප්‍රනාන්දුය. ඇගේ ගම බේරුවලය. එහෙත් රත්නාවලී උප්පත්තිය ලබන්නේ දැරණියගලදීය. ඒ සිය පියා දැරිණියගල නූරී වත්තේ ටී මේකර්වරයකු ලෙස වැඩකළ නිසාය. 1931 ජනවාරි මස 20 වැනිදා මෙලොව එළිය දුටු සිඟිත්තිය දියණියක් වූ නිසා ඇයට රත්නාවලී යැයි නම් තැබුවාය. සහෝදර සහෝදරියන් සිව්දෙනකු සමඟ හැඳුනු වැඩුණු ඇය පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළාය. මසකට වරක් පාසලේ පැවැත්වෙන සාහිත්‍ය සමිතියේදී රත්නාවලීගේ කතාවක්, ගීතයක් හෝ නාට්‍යයක කෑල්ලක් නොවැරඳුනේය. ඒ තරම් ම ක්‍රියාශීලී හා කැපී පෙනෙන චරිතයක් වූ ඇය කෙටි කාලයක් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පමණක් නොව ගුරුවරුන් අතරද කතා බහට ලක් වූ ශිෂ්‍යාවක් බවට පත්වූවාය. වරක් ගුවන්විදුලියේ ප්‍රචාරය වූ නාට්‍යයක තිබූ ගැහැණියකගේ චරිතයට ඇහුම්කම් දී සිටී ඇය එකවරම ‘අපරාදේ ඒ චරිතේ මට දුන්නනම් මම ඊට වඩා ලස්සනට කරනවා‘ ඇගේ මුවින් ඉඹේම පිට වූවාය. ඒ තරම් ම කුඩා කළ සිට ඇය රඟපෑමට දැඩි අසාවක් දැක්වූවාය.

සිය නැගණියගේ හැකියාව දෙස නෙත් යොමන් සිටී වැඩිමල් සහෝදරයා වන වික්ටර් නැගණිය ගුවන්විදුලියට යොමු කිරීමට තීරණය කළේය. ‘රත්නා නංගිට රේඩියෝ නාට්‍යයක රඟපාන්න ආස නම් ලෑස්ති වෙන්න කියන්නැයි අයියා ධර්මා අක්කා ළගට ඇවිත් කීවේය. ඒ 1951 දෙසැම්බර් මස 09 වැනිදාය. එදා සවස සිය නැගණියත් සමඟ රේඩියෝ සිලෝන් එකට ගිය වික්ටර් සිය නැගණිය රටක් වසඟ කළ හැකි කටහඬක් ඇති රංගන ශිල්පිණියක් වේ යැයි එදා නොසිතන්නට ඇත. සිය අයියා විසින් රචනා කළ සරත්චන්ද්‍ර මහතා නිෂ්පාදනය කළ නාට්‍යයක හා පුරා කියා රඟපෑවේ වයස අවුරුදු හැටතුනක මහළු චරිතයක් ය. ඒ චරිතේ රඟ දැක්වීමෙන් පසු සරත්චන්ද්‍ර මහතා විසින් එය ඇගයීමට ලක්කර සෑම සෙනසුරාදාවක ම නොවරදවා ගුවන් විදුලියට පැමිණෙන්නැයි ඇයට දැනුම් දුන්නේය. එය කන වැකුණු වහාම දිව ගිය ඇය එම ඉල්ලීම ගැන අයියා සමඟ පැවැසුවාය. එතුමා කිව්වා නම් නංගි හොඳට ඒ චරිතේ කරන්න ඇති අයියා ද නැගණිය දිරිමත් කළේය. ගුවන් විදුලි රඟමඩල සතිපතා පැය භාගයක් ප්‍රචාරය විය. ඉන් ඇගේ අතට රුපියල් 15 ක් ද ඇයට ලැබීය. ඒ වන විට තරුණවියට එළ‍ෙඹමින් සිටී ඇය ලස්සනට අඳින්න පළදින්න මහත් ආසාවක් දැක්වුවාය. ඒ නිසාම ඇය සෑම සතියකම වරක් ජෝර්ජට් සාරියක් මිළදී ගත්තාය. ‘කවද හරි උබව බන්දල දෙන්න වෙන්නේ මුස්ලිම් වෙළෙන්දෙකුට, මොකඳ නැතුව ඔහොම හැමදාම සාරි ගන්න වෙන්නේ නැහැ‘. ඇයට එය ඇසූ ගමන් හිනා ගියේය.

තමන් ඒ වන විටත් පෙම්වතියක් බව කිසිවෙක් නොදන්න නිසාය. ගාල්ලේ පුංචි අම්මාගේ නිවසේ රැදී සිටී කාලයේ ඒ අසළ නිවසක සිටී තරුණයකු ගැන ඇයට හිත ගියේය.ඩේවිඩ් කැකුණවල නම් වූ තරුණයා පොලිසියේ රේඩියෝ ඔපරේටර් වරයකු ලෙස සේවය කළේය. දිනෙන් දින ආදරයෙන් වෙලුණු ඔවුන් 1957 වසරේ දී විවාහ වූහ.

රත්නාවලී 1957 වසරේ සිට මීට වසර දෙකකට පෙර රෝගාතුරවන තෙක් ගුවන්විදුලි නාට්‍ය දහසකට ආසන්න ගණනක රඟපා ඇත. ටී. ජී. ඩබ්ලිව් ද සිල්වාගේ ‘මහ රෑ හමුවුණ ස්ත්‍රීය‘කතාව ඇසුරෙන් වික්ටර් මිගෙල් ගුවන්විදුලියට කොටස් වශයෙන් රචනා කළ මුල්ම ගුවන් විදුලි නාට්‍යයේ ‘මැංචි කුඩම්මා‘ ලෙස රඟපෑවාය. 1952 වසරේ පී. කේ. ඩී සෙනවිරත්න කොටස් වශයෙන් රචනා කළ ‘කුරුලු බැද්ද‘ නාට්‍යයේ බණ්ඩාර මැණිකේ ලෙස රඟදැක්වූවාය. රත්නාවලීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ 1962 වසරේ මුදලිනායක සෝමරත්න රචනා කළ ‘මුවන්පැලැස්ස‘ ගුවන් විදුලි නාටකයේ එතනහාමි හා මැණිකේ ලෙස වසර 50ක් අඛණ්ඩව රඟපෑමද වාර්තාවකි.

වේදිකා නාට්‍ය වලින් නොනවතින ඇය සිනමාවට එක්වන්නේ ‘සත් සමුදුර‘ චිත්‍රපටයේ රඟපාමිනි. කරුමක්කාරයෝ, මුවන්පැලස්ස 1 සහ 2, කදිරා, ආරාධනා, බට්ටි, වදුල, දඩයම ඇය රඟපෑ තවත් චිත්‍රපට කිහිපයකි. ඊට අමතරව ටෙලිනාට්‍ය රැසකද රංගනයේ නියැලී තිබේ.

‘උතුරේ රාහුල‘ නාට්‍යයෙන් වේදාකවට පිවිසෙන ඇය බණ්ඩාරනායක මැතිණියගේ චරිතයට රඟපාමින් දැඩි කතා බහට ලක්වන චරිතයක් බවට පත්වූවාය. පුරා දශක පහකට අධික කාලයක් රංගනයේ නියැලුණු රත්නාවලී කැකුණවෙල මහත්මිය ජනාධිපති, සරසවි, සිග්නීස් සම්මාන රැසක් මෙන්ම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් ලැබුණු විශේෂ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

මිය යන විට දූ දුරුවන් හය දෙනකුගේ මෑණියකු මෙන්ම මුණුපුරු මිණිපිරියන්ගේ ද ආත්තම්මා වීමට තරම් වාසනාවන්ත වූවාය.

නුවන් කොඩි­කාර   

අදහස්