අපි අව­තාරෙ බලන්න කැලේට යමුද? | සිළුමිණ

අපි අව­තාරෙ බලන්න කැලේට යමුද?

 

ෆියෝනා පොත පසෙක තැබුවේ පොත කියවීමට සෑහෙන ආලෝකයක් කාමරය තුළ නොවූ හෙයිනි. ඇය නැගිට වටපිට බැලුවාය. ළා අඳුර පරිසරය පුරාම පැතිර යමින් තිබෙයි. ෆියෝනා නැගිට විදුලි පහන දැල්වූවාය.

වේලාව සවස හයයි තිහ ද ඉක්ම ඇති බව ඇය දුටුවේ එවිටය. දහවලට කිසිදු ආහාරයක් නොගත් බව ෆියෝනාට සිහිපත් විය. පිපාසය ද දැඩිව දැනෙයි. කාමරයේ ජනෙල් පෙළම තවමත් හැර දමා තිබේ. අසාර් නිවසෙහි සිටියේනම් සවස පහ පසු වනවිටම ජනෙල් වසා තබන ලෙස උපදෙස් දෙයි.

“මදුරුවෝ ගෙට එනවා ෆියෝනා. ජනෙල් වහලා දාන්න.‘‘

තම කන්තෝරු කාමරය තුළ සිටම අසාර් කෑගසයි. රාත්‍රී නින්දට යාමේදී මදුරු දැලක් භාවිතා කිරීමට මහත් අකැමැත්තක් දක්වන අසාර් ඉඳහිට මදුරුවන් වැඩි දිනයකදී වේෆරයිසරය භාවිතා කළ ද, ඔහු පසුවන්නේ අසහනනකාරී බවින් යුතුවය.

“ඔව්වයෙ ගඳ මට දරා ගන්න අමාරුයි. මොන ජරාවක්ද? කලින්ම ජනෙල් වහලා දැම්මනම් ඉවරයිනෙ.‘‘

එවන් දිනවල රාත්‍රියේ වරින් වර පිබිදෙන ඔහු චෝදනා කරයි.

“ඉතින් වහන්න තිබුණනෙ. මම වැහුවෙ නැත්නම් ජනෙල් වැහෙන්නෙ නැද්ද?‘‘

ඔහුගේ චෝදනා ඉවසා සිටීමට නොහැකි තැන පැවසුවද, ඉන් ඔහු වඩාත් කෝපයට පත් වෙයි.

“මට වැඩ තියෙනවා. ඔයා ගෙදර ඉන්නෙ නිකන්. මගේ බිස්නස් වැඩ වලට මට ඉඩ දීලා ඔයා ගෙදර වැඩ කරන්න ඕන.‘‘

“මම වැඩකාරියක්ද?‘‘යි අසන්නට දහස් වර සිත් වුව ද, නිවසෙහි සාමය පවත්වා ගැනීම සඳහා නිහඬව සිටීමට සිදු වූ වාරයන් අනන්තය.

උඩු මහලේ විදුලි පහන් දල්වමින්ම ෆියෝනා සඳැල්ල දෙසට ඇවිද ගියාය. වීදි පහන් වල ආලෝකය නිසා මුලු වීදියම දහවල් කාලයේ මෙන්ම ආලෝකමත්ව පැවතිණ. අවට නිවෙස් සියල්ලෙහිම විදුලි පහන් දල්වා තිබුණද, නිසල විල සංගීත ආශ්‍රමය පමණක් තවමත් අඳුරෙහි ගිලී තිබිණ. අරවින්ද් නිවසෙන් බැහැර යන්නට ඇත්ද නොඑසේනම් ඔහු නින්දට වැටී සිටිනු ඇත්දැයි ෆියෝනා කල්පනා කළාය.

අරවින්ද් නිවසෙහි නැතැයි යන්න සිහිපත්වන කළ රාත්‍රිය ගත කිරීමට ඇති වන්නේ බියකි. ඔහු නිවසෙහි සිටියානම් හදිසියකදී වුව ද, ඔහුට කතා කර ගත හැකිය. අනෙක් නිවෙස් වල කිසිවකු හා ආශ්‍රයක් නොතිබුණෙන් තම එකම ගැලවුම්කරු අරවින්ද් නොවේදැයි ෆියෝනාට සිතිණ.

පහත මාලය අඳුරෙහි ගිලී තිබුණෙන් ෆියෝනා එහි ද විදුලි පහන් සියල්ල දැල්වූවාය. කුසගිනි වඩ වඩාත් දැනෙන්නට වූයෙන් ඇය වතුර කේතලයෙන් අඩක් පුරවා ළිප මත තැබුවාය.

“බඩගින්නට බිස්කට් කාලා තේ බීලා හරියන්නෙ නෑ. රෑටවත් මොනවා හරි උයා ගන්න ඕන. ‘‘

වතුර උතුරන තුරු රාත්‍රියට පිසින්නට එළවළුවක් ගන්නට ශීතකරණය හැර බැලුවද, අසාර් කෑමට ප්‍රිය කළ මාලු මිරිස් කරල් කිහිපයක් සහ ලීක්ස් ගස් කීපයක් හැරෙන්නට එතුළ එළවළු සියල්ල අවසන් වී තිබිණ. ඇය සහල් භාජනය හැර බැලුවාය. සහල් ද අවසන් වෙමින් තිබිණ. විවාහ වූ දිනයේ සිටම නිවසට අවශ්‍ය කළමනා සියල්ල ගෙන එනු ලැබුවේ අසාර්මය. ඔහු මසකට සෑහෙන තරම් නිවසට අවශ්‍ය සියලු දෑ ගෙනැවිත් තබන හෙයින් ෆියෝනා කිසිදිනෙක අවශ්‍ය දෑ මිල දී ගන්නට බැහැර නොගියාය. ඇය නිවසින් බැහැර යනු දකින්නට අසාර් තුළ ද, කිසිදු කැමැත්තක් නොවීය.

“කඩවල් ගානෙ ගිහින් රස්තියාදු වෙන්න ඕන නෑ. ඕන කරන හැමදේම මං ගෙනත් දෙනවනම් මොනවටද ආයෙ එළියට යන්නෙ? ‘‘

ගෙදරට ඇවැසි දෙයක් ගැනීමට තබා තමාට වුවමනා ඇඳුමක් පැළඳුමක් ගැනීමටවත් නිවසින් පිටතට යාමට අසාර්ගෙන් අවසර නොලැබෙයි.

“එහෙම හිටිය මනුස්සයා දැන් ගෙදරට ඕන දේවල් ගැනවත් හොයා බලන්නෙ නෑ.‘‘

අසාර් වෙනස් වී ඇතැයි සිතන කළ සිතට ඇති වන්නේ මහත් දුකකි. විවාහ වූ මුල් කාලයේ ඔහු ඔහුගේ නිවසට ගියේ කලාතුරකිනි. එකල ඔහුගේ ආදරය ද තමා වෙත නොඅඩුව ලැබෙමින් පැවැති බව ෆියෝනා දැන සිටියාය. එහෙත් අසාර්ගේ පවුලේ ව්‍යාපාර තව තවත් පුළුල් වන්නට පුළුල් වන්නට අසාර්ගේ නිවැසියන්ට ඔහු වඩාත් අවශ්‍ය අයකු බවට පත්වන්නට ඇත. දැන් ඔහු නිවසට සමීප වෙමින් ද තමා කෙරෙන් දුරස් වෙමින් ද සිටියි. වතුර කේතලයේ නළා හඬ නිවසේ නිහැඬියාව බිඳින්නට සමත් විය. වහා තේ කෝප්පයක් සාදාගෙන පානය කරන අතරේ ෆියෝනා තීරණයකට එළඹුණාය. දැන් රාත්‍රිය උදා වෙමින් පැවැතියද මාවත තවමත් ජනාකීර්ණය. නිවසින් පිටව සුපිරි වෙළඳ සලකට ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මෙය කදිම අවස්ථාවක් නොවේදැයි ඇය කල්පනා කළාය.

ෆියෝනා වහ වහා හැඳ පැළඳ ගත්තාය. ආහාර පිසීමට කිසිවක් නිවසෙහි නොමැති බැවින් සුපිරි වෙළඳසලට යන බව අසාර් හා පවසන්නට සිතා දුරකතන ඇමතුමක් ගත්තද, ඔහුගේ ජංගම දුරකතනය විසන්ධි කර තිබිණ. වහ වහා හැඳ පැළඳ ගත් ෆියෝනා නිවසින් පිටවූවාය. සුපිරි වෙළෙඳ සලට යාම සඳහා කිලෝ මීටරයක පමණ දුරක් පයින් යායුතු විය. තමා පසු කරගෙන යන ත්‍රිරෝද රථයකට අත දිගු කර එහි නැග ගන්නට සිතුණද, පයින්ම මෙම කෙටි දුර යන්නට ෆියෝනා සිත හදා ගත්තාය. කිසිදිනෙක නොදැනුන අන්දමේ නිදහසක් ඇගේ සිතට දැනිණ. ඇය කිරිල්ලියක සේ නිදහස් සිතින් යුතුව ඉදිරියට පියනගන්නට වූවාය.

කුඩා කාලයේ සිටම තමා හිතුවක්කාරියක ලෙස අක්කලා දෙදෙනා තමා හංවඩු ගසා තිබුනද, අම්මා කිසිවිටෙක එසේ පවසා තමාට චෝදනා නොකළ බව ෆියෝනාට සිහිපත් විය. සැබවින්ම අම්මාගේ තරුණ අවධියේ ඇය ගෙවූ ජීවිතය හා සසඳද්දී තමාට එසේ චෝදනා කිරීම අයුක්ති සහගත එකක් ලෙසින් ඇය සිතන්නට ඇත. තම ඇතැම් මුරණ්ඩු ක්‍රියා ඉදිරියෙහි අක්කලා දෙදෙනා කුපිත වී තමාට බැන වදින නමුත් අම්මා තද කර ගත් සිනාවකින් යුතුව සියල්ල ඉවසා සිටියි. ඇය ඉඳහිට අවවාද කළේ ද දැඩිව නොවේ. බෙහෙවින් මෘදු ලෙසිනි. එකල මල්ලී අභීත තම මුරණ්ඩුකම් දෙස බලා සිටියේ තමා වීරවරියක ලෙස සළකමිනි. කුඩා කාලයේ කිසිදිනෙක නොයන්නැයි සියලු දෙනා තහනම් කලාපයක් බවට පත් කර තිබූ අසල වන රොදකට තමා අභීත ද කැඳවාගෙන ගිය අයුරු සිහිපත්ව ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ. බොහෝ කලකට පෙර දර කපන්නට කැළයට ගිය මිනිසෙක් කැලෑවේ අඹ ගසක් යට සර්ප දෂ්ඨයෙන් මියගොස් සිටි බව පියවතී පමණක් නොව අසළ ගම් වල බොහෝ දෙනෙකු ද අම්මා හා පවසා තිබිණ.

සතියකට පමණ පසු ඔහුගේ මිනිය හමු වී ඇති අතර, ඉන්පසු දර කඩන්නට කැළයට ගිය කිහිප දෙනෙකුම ඔහුගේ අවතාරය දැක බිය වී උණ ගැනුණු බව ඕපාදූපයක් ලෙසින් පියවතී පැවසුවේ අසා සිටින්නන් තුළ සිරුර ලොමු දැහැ ගන්වන අන්දමේ භීතියක් ඇති කරමිනි.

“අපි අවතාරෙ බලන්න කැලේට යමුද? ‘‘

හොල්මන් අවතාර පිළිබඳව නොසිඳෙන කුතුහලයකින් පසු වූ අවධියේ තමා අභීතට කළ යෝජනාව ඔහු පිළිගත්තද ඔහු පසු වූයේ දෙගිඩියාවෙනි.

“අපට යන්න දේවිද?‘‘

ඔහු ඇසුවේ බියපත් ස්වරයෙනි. කැලේට ගොස් අසු වුවහොත් දැඩි ලෙස දඬුවම් කරන බවට ලොකු අක්කා තර්ජනය කර තිබුණෙන් ඔහු බිය වූවා විය යුතුය.

“කවුද කිය කියා යන්නෙ? දවල්ට අක්කලා නිදා ගත්ත අතරේ අපි යමු. ‘‘

එදින දිවා ආහාරයෙන් පසු අම්මාත්, අක්කලාත් නින්දට වැටී සිටි මොහොතේ අභීත ද කැටුව කැළයට ගිය අන්දම දැනුදු ෆියෝනාට සිහිපත් වෙයි. දර කැඩීමට ගිය මිනිසා මිය ගියා යයි ගම්මුන් පැවසූ දැවැන්ත අඹ ගසේ ගෙඩි පිරී තිබිණ. අඹ ගසට මුවා වී සිටින අවතාරය කවර මොහොතක හෝ තමා හා අභීත වෙත කඩා පනිනු ඇතැයි යටි සිත තුළ කල්පනාවක් තිබුනද, අවතාරයක් තබා වන සතකුවත් එදින දැක ගැනීමට නොහැකි විය.

“කොහෙද අනේ අවතාරෙ ඉන්නෙ?‘‘ යි තමා ඇසු අන්දමත්, අභීත අවතාරයට පැමිණෙන්නැයි කෑගසමින් අභියෝග කළ අන්දමත් සිහිපත්ව ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ. කිසිදු බියකින් සැකයකින් තොරව ඇති තරම් අඹ ගෙඩි කඩාගෙන නිවසට පැමිණෙද්දී අසල්වාසීන් කිහිප දෙනකුම තමා දෙසත්, අභීත දෙසත් දෙනෙත් ලොකු කරගෙන බලා සිටි ආකාරයත්. ලොකු අක්කා ගෙන එන ලද අඹ ගෙඩි සියල්ල උදුරා විසි කර දැමු අන්දමත් කිසි දිනෙක මතකයට අමතක නොවන සිදුවීම්ය. අම්මා මේ සිදුවීම් දෙස බලා සිටියේ උපේක්ෂා සහගත සිතින් යුතුවය.

“අපූරුයි. ගෑනු ළමයි හැදෙන හැටිනම්. පොඩි එකාවත් අල්ලගෙන ගියා මෙතන අවතාර බලන්න. අවතාරෙ දැකලා බය වුණා නම් එහෙම අපිට තොවිල් නටන්නත් වේවි. ‘‘

දඬුවමක් ලෙසින් තමාටත්, අභීතටත් ආහාර නොදුන් ලොකු අක්කා අම්මා හා පවසන හඬ එදින රාත්‍රියේ බොරු නින්දකට වැටී සිටි ෆියෝනා අසා සිටියාය.

“ඔය වයසෙ හැටි. කවුරු හරි කියන දේ ඒ විදියටම පිළි නොගෙන ඒවා ඇත්තද නැත්තද කියලා හොයා බලන එක ළමයින්ගෙ හැටි. ඒ ගැන වැරැද්දක් කියන්නත් බෑ. ‘‘

අම්මා පැවසුවේ ඇගේ යටගියාව සිහිපත් වීම නිසා විය යුතුය.

තමා පසුකරගෙන ගිය ත්‍රිරෝද රථයක් ආපසු පසුපසට පැමිණෙන අයුරු දුටු ෆියෝනාගේ සිතට බියක් දැනිණ. තමා තනිවම පැමිණ ඇත්තේ මෝඩ ගමනකැයි සිහිපත් වන විට ත්‍රිරෝද රථය ඇය අසළින්ම නතර කර තිබිණ. ගැහෙන හදවතින් යුක්තව ෆියෝනා හිස ඔසවා බැලුවාය.

 

ලබන සතියට

අදහස්