වායු දූෂණයත් වැඩි වෙලා-ලෙඩත් වැඩි වෙලා | සිළුමිණ

වායු දූෂණයත් වැඩි වෙලා-ලෙඩත් වැඩි වෙලා

වායු දූෂණය අඩු කිරීමට ඉන්ධන පිරිමැසීමට අලුත් ප්‍රතිකාරක‍ මෙරට තිබුණත් ඒවා ජනප්‍රිය නොකරන්නේ ඇයි?

පසුගිය මාස 3 ට අපේ රටේ වාහන 125000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළේ ය. මේ වාහනවලින් පිටවන දුමේ ප්‍රමිතිය ද අපි මේ වාහන ලියාපදිංචි කරන අතරම සලකා බැලිය යුතු සුවිශේෂී සාධකයක් වී තිබේ.

ඊට හේතුව අද අපේ රට ද වායු දූෂණයෙන් සංත‍ෘප්ත වන රටක් බවට පත්වෙමින් සිටින නිසා ය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හා කාර්මික තාක්ෂණ ආයතනය මොරටු සරසවිය කළ අලුත්ම පර්යේෂණ අනුව අපේ රටේ මහනුවර හා කොළඹ යන නගරවල වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත උපරිම වායු දූෂණ මට්ටම ඉක්මවා යමින් තිබේ.

අපේ රටේ ප්‍රධාන වායු දූෂක ලෙස වාහනවලින් කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන් ක්ෂුද්‍ර අංශු, සල්ෆර් ‍ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් හැඳින්වීමට පුළුවන‍. පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය පවසන පරිදි අධික වාහන දුම් නිසා අපේ රටේ ජනතාවට නිහඬ මාරයෙක් පැමිණ තිබේ.

මේ වායු දූෂණය නිසා නිල් දරු උපත්, ආඝාතය, හෘදයාබාධ, පිළිකා, හමේ ආසාදන, හිසරදය, කරකැවිල්ල, වමනය, සෙම්ප්‍රතිශ්‍යාව, අධි රුධිර පීඩනය, ඇස් දැවිල්ල, අන්ධභාවය, ස්නායු ‍රෝග, අක්මා වකුගඩු රෝග බහුලව ඇතිවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ඊට අමතරව වායු දූෂණය නිසා පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම අවට පරිසරය විනාශ වීම නිසා ජෛව විවිධත්වයට සිදුවන අහිතකර බලපෑම හා දේශගුණික විපර්යාස නිසා ජීවන තත්ත්වය අස්ථාවර වීම හා වායු දූෂණය නම් නිහඬ මරයා ලෙසින් වටිනා ජීවිත අහිමිවිම සිදුවෙමින් පවතී.

චීනයේ බීජිං නුවර හා ඉන්දියාවේ දිල්ලියේ දැන් ලොව දරුණු වායු දූෂණ තත්ත්ව ඇතිවී තිබේ. මෙරට ඉවක් බවක් නැතිව ලියාපදිංචි කරන වාහන සංඛ්‍යාව නිසාත් පරණ වාහන පාවිච්චිය කර්මාන්ත ශාලාවලින් පිටවන දුම නිසා ද අපේ රටේ මහනුවර, කොළඹ යන නගරවල වායු දූෂණය වැඩිවෙමින් තිබෙන බව පේරාදෙණිය සරසවිය හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කළ පර්යේෂණ අනුව අනාවරණය වී ඇත. ලෝකය කාර්මික දියුණුවේ ඉහළම වර්ධනයට පැමිණ ඇතැයි කීව ද, ලොව කාර්මීකරණයෙන් ඉහළම සිටින නගරවල ජිවත්වීමට අපහසු තරම් වායු දූෂණයට ලක්ව තිබේ. චීනයේ බීජිං, ඉන්දියාවේ නවදිල්ලිය වායු දූෂණයේ ඉහළම නගර ලෙස සැලකේ. බීජිං නගරයේ වායු දූෂණය අවම කරන්නට චීන පාලනය විසින් විවිධාකාර වූ ක්‍රියාමාර්ග ගෙන ඇත. නගර තුළ රුක් රෝපණය සහ උයන්වතු නිර්මාණය (ඉලෙක්ට්‍රික්) විදුලි බස් රථ හා විදුලි යතුරු පැදි වැනි දෑ භාවිතයට වැඩි නැඹුරුවක් දැක්වීම විසඳුම් අතර වේ.

එහෙත් ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතී. ඉකුත් දෙසැම්බර් හයවැනිදා දිල්ලියේ පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ වායු පෙරහන් (මුඛවාඩම්) පැලඳගෙන ය. මෙය ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වූයේ මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙවන් අමිහිරි අත්දැකීමක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට විඳින්නට සිදු නොවූ නිසා විය හැක. ඒ තරමටම දිල්ලියේ වායු දූෂණය ඉහළ ගොස් ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ අධික වාහන තදබදය නිසා වාහනවලින් නැ‍ඟෙන (කළු) දුමාරය හා අවට ප්‍රදේශවල කැලෑ දහනයෙන් ද, කම්හල්වල දුමෙන් ද නැ‍ඟෙන වායු දූෂණයෙන් බවට සැලකේ. කෙසේ හෝ මෙම වායු දූෂණය නිසා දිල්ලි නගරයට ඇතුළුවන බරවාහන සීමා කිරීමේ නීති රීති එරට අධිකරණය මඟින් පනවන්නට කටයුතු යෙදිණි.

මෙසේ දිනෙන් දින වායුගෝලය දූෂණයට ලොව පුරා මාර්ගවල ගමන්කරන හා වාහන තදබදවල සිරවී සිටින වාහනවල පැට්‍රල්, ඩීසල්, දහනය හේතුවන බව දැන් රහසක් නොවේ. මේ ආකාරයෙන් සිදුවුවහොත් හුස්ම ගැනීමේ අයිතිය පවා අපට අහිමිව යෑම වැඩි ඈතක නොවන අතර, බීජිං වැසියන් මෙන් ඔක්සිජන් සල්ලිවලට ගැනීමට වුව ශ්‍රී ලාංකිකයන් වන අපට ද සිදුවනු ඇත්තේ අපේ රටේ ද වායු දූෂණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නිසා ය. කර්මාන්ත අඩු, නාගරික ප්‍රදේශවල වායු දූෂණයට පවතින එකම හේතුව අධික වාහන ධාවනය හා අධික වාහන තදබදය වේ. නිකරුණේ දැවෙන ඛනිජ තෙල් මඟින් ඇති කරන පරිසර හානිය මෙතෙකැයි කියා තක්සේරු කළ හැක්කක් නොවේ.

එබැවින් වහ වහා මේ සඳහා විසඳුම් ලැබිය යුතුව ඇත. ගස් - කොළං සිටුවීමෙන් හෝ විදුලි හෝ දෙමුහුන් වාහනවලට යෑම පමණක් විසඳුමක් වන්නේ නැත. දිනපතා මහමඟ දුවන ඩීසල් පෙට්‍රල් ප්‍රමාණය අඩුකිරීමක්, එසේ දවන ඉන්ධනවල ගුණාත්මක බව වැඩිකර හෝ ප‍ූර්ණ දහනයකට ලක්කර වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන්, සල්පර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි අහිතකර වාය‍ූන්ගේ ප්‍රමාණය අඩුකර නොගතහොත් මානව සංහතියට පමණක් නොව ගහකොළ සතා සිවුපාවාට ද බරපතළ විනාශයක් අත්වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ අපට වායු දූෂණයේ අනතුර නැතැයි කියා කිසිවකුටත් සතුටුවිය නොහැක. අපට නොදැනුනාට අප තැකීමක් නොකළාට අප අවට වාතය, පරිසරය වායු දූෂණයෙන් පෙළෙන බව අප සිහි තබා ගත යුතු ය. දූවිලි අංශු මෙන් ම අහිතකර වායූන්ගෙන් සමන්විත අප හුස්ම ගන්නා වාතය බොහෝ විට කිළිටි කරන්නේ පෙර කී පරිදි බහුල වශයෙන් වාහන දුමෙනි. ශ්‍රී ලංකාවේ වායු දූෂණය වැඩිම නගරය ලෙස සැලකෙන්නේ මහනුවර නගරයයි. කඳු වළල්ලකින් වටවී ඇති මහනුවර නගරයේ අධික වාහන තදබදය හේතුවෙන් නැ‍ඟෙන බරින් වැඩි විෂ දුම ඉහළට පාවී නොගොස් නගරය තුළ ම පැතිර ඉතිරි වේ. එහි ප්‍රතිඵල දැනටමත් මහනුවර නගරය තුළ දිවි ගෙවන හා නගරයට පැමිණෙන දහසකුත් ජනතාව විඳ දරා ගනිති‍. එහෙත් එය ප්‍රදර්ශනය නොවීමයි කනගාටුවට ඇත්තේ. සැබෑව නම්, දිල්ලි නගරයේ මෙන්, මහනුවර නගරයේ සැරිසරන හා ජීවත්වන ජනතාව ‘මුඛ වායු පෙරහන්’ භාවිතා කළ යුතු වීම ය.

කොළඹ නගරයේ අධික වාහන තදබදයක් පැවතිය ද, මෙහි වායු දූෂණයේ තරම නොපෙනෙන්නේ මහා සාගරයට ඇති සමීප බව නිසා ය. සුළං හේතුවෙන් කොළඹ නගරයේ වායු දූෂණය බොහෝ දුරට පාලනය වුවත්, නගරය තුළ අප නොදකින බරපතළ වායු දුමක් ඇත. එය නුදුරු අනාගතයේදීම දෙගුණ තෙගුණ වනු ඇතැයි කියන්නේ නගරය තුළ අහස උසට හැදෙන ගොඩනැඟිලි නිසා ය. වරාය නගරය ඇතුළු නගරයේ මහල් ගොඩනැඟිලි අනාගතයේදී වායු දූෂණයක් ඇති කරනු ඇත්තේ, වාහනවලින් නැ‍ඟෙන අතිවිශාල දුම් කන්දරාව ඒ අතර රඳවා තබාගන්නා නිසා ය. එබැවින් දැන් දැන් සිටම වායු දූෂණයට වැට බැඳිය යුතු ය. සැලසුම් සකස්විය යුතු ය. ක්‍රියාමාර්ග ගත යුතු ය. හරිත ගොඩනැඟිලි, තුරුඋයන්, වැව්, ඇවිදින විවෘත ස්ථාන අතරේ විදුලි හා දෙමුහුන් වාහන, ගුණාත්මකත්වයෙන් වැඩි පොසිල ඉන්ධන භාවිතය හා පවතින ඉන්ධන කාර්යක්ෂම ලෙස භාවිතයට ගත හැකි ප්‍රතිකාර ක්‍රමවේද භාවිතයට ගැනීම යනාදිය ඊට විසඳුමකි. ඉන්ධන මිල දරාගෙන එම ඉන්ධන පරිසරයට හිතකර ආකාරයෙන් භාවිතයට ගෙන තමන්ටත් වාසි වන අයුරින් භාවිත කරන්නට ක්‍රමවේද ඇත්නම් එය සැබෑම ආශ්චර්යයකි. අප දැනට භාවිතා කරන පෙට්‍රල්, ඔටෝ ඩීසල් වැනි කවරාකාර හෝ ඛනිජ තෙල්වලට එන්සයිමීය ප්‍රතිකාරයක් එක්කර එම ඉන්ධනය ඉතා කුඩා අණුවලට කඩා දහනයට සැලැස්වීමෙන් පූර්ණ දහනයක් සිදුකර වායුගෝලයට අවම දුම් ප්‍රමාණයක් නිකුත් කරන හා ඉන්ධන ප්‍රමාණයකින් වැඩිදුරටත් යා හැකි ලෙස ප්‍රතිකාරයක් ලොව සොයාගෙන දැන් බොහෝ කල් ය. එය ජපානයේ නිර්මාණකරුවකු අතින් බිහිවූ ‘සොල්ට්‍රෝන්’ ය. ‘සොල්ට්‍රෝන්’ යෙදීමෙන් ඉහත කාරණාවලට අමතරව තම වාහනයේ එන්ජිම පිරිසිදුකර කාබන් ප්‍රමාණය අවම වන අයුරින් ඉන්ධන දහනය කර දෙන නිසා වාහනයේ (එන්ජිමේ) ජීව කාලය නොසිතූ ආකාරයෙන් ඉහළ යන බව දැනටමත් ‘සොල්ට්‍රෝන්’ භාවිතයට ගන්නා පාරිභෝගිකයන් අත්විඳ ඇති සත්‍යයකි. යම් හෙයකින් මාර්ගයක, නගරයක ධාවනය වන රථවාහන, දුම්රිය ඇතුළු සමස්ත ප්‍රවාහන පද්ධතියම (ඛනිජ තෙල් භාවිත කරන) ‘සොල්ට්‍රෝන්’ ජපන් එන්සයිමීය ප්‍රතිකාරකය භාවිතයට ගන්නේ නම්, එදාට සමස්ත නගරයම විෂ දුමෙන් තුරන්වනු ඇති තරමට මේ ප්‍රතිකාරය මඟින් ඛනිජ තෙල් (ඉන්ධන) අනු කුඩා බිඳිති බවට පත්කර පූර්ණ දහනයක් සඳහා පහසුවෙන් උදව් වනු ඇතැයි පර්යේෂකයන්ගේ අදහසයි.

මේ ඉන්ධන ප්‍රතිකාරකය දැනට මෙරටට ගෙන්වා බෙදා හරින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිනි.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙරට සියලු පිරවුම් හල්වලට මේ සොල්ට්‍රොන් ප්‍රතිකාරකය ලබාදී ඇති වුවත් ඉන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව වාහන හිමියන්ට හරි දැනුමක් ලබාදී නොමැත.

සොල්ට්‍රෝන් සියයට එකක ප්‍රමාණයක් පෙට්‍රල් හෝ ඩීසල් සමඟ මිශ්‍ර කර වාහන ධාවනයට යොදා ගෙන හොඳ ප්‍රතිඵල ලබාගත හැකි ය. එමඟින් කළු දුම් අවම කරන අතර එන්ජිම පිරිසිදුව තබා ඩීසල් හා පෙට්‍රල් පොම්ප ද ආරක්ෂා කරනු ලබන බව සොල්ට්‍රෝන් සමාගම පවසයි. කෙසේ වුවත් අලුත් ම පර්යේෂණ අනුව වායු දූෂණය අවම කිරීමට ඕනෑ තරම් ක්‍රම හා විධි ඇත. අප කළ යුත්තේ ඒ ක්‍රම හා විධි විද්‍යාත්මක ලෙස ඉංජිනේරු උපදෙස් මත අනුගමනය කිරීමයි.

වායු දූෂණය අඩු කිරීමට මුලින් ම අපේ වාහනවල නඩත්තුව පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

ඒ අනුව නියමිත කාල ස‍ීමාව හෝ දුර ප්‍රමාණය ඉක්මවීමට පෙර වාහනයේ නඩත්තු කටයුතු කිරීම කළ යුතු ය. ඉන්ධන ටැංකියේ වැස්ම නිසි පරිදි වැසිය යුතු ය. ඒ සමඟම වායු පෙරණය, ඉන්ධන පෙරණය එන්ජින් ඔයිල් පෙරණය නියමිත කාලයට මාරු කිරීම කළ යුතුව ඇත. කාබියුලේටරය ඉන්ජෙක්ටර් හා ඉන්ජෙක්ටර් පොම්ප නිසි ප්‍රමිතියට පවත්වා ගෙන යා යුතු ය. මේ අනුව තමන්ගේ වාහනය නිසි පරිදි නඩත්තු කිරීම සුදුසු ඉන්ධන ප්‍රතිකාරක යෙදීම ආදිය මඟින් අපේ රටේ වායු දූෂණය අවම කිරීම කළ හැකි ය.

දැනට වසරකට පමණ පෙර සොල්ට්‍රෝන් ප්‍රතිකාරකය ලංගම ඩිපෝ 3 කින් පාවිච්චි කර දුම් අඩු කර ලාභ ද ලැබීය. කැස්බෑව, උඩහමුල්ල, කොත්මලේ ඒ ලංගම ඩිපෝ ය. නමුත් පසුව යම් හේතුවක් මත එම ඩිපෝ සොල්ට්‍රෝන් ඩීසල්වලට කවලම් කිරීම නවතා දැමීමෙන් දැනට ඒ ඩිපෝ ලාභය ලබන්නේ නැත. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවී තිබේ. බස්වල දුම අඩුවී ඇත.

කෙසේ වුවත් සොල්ට්‍රෝන් වැනි ප්‍රතිකාරකය මඟින් විසඳුම් අඩුකර වාහනවල ඉන්ධන පාවිච්චිය අවම කරන බව කටුබැද්ද සරසවිය හා එතෙර සරසවි කිහිපයකින් කළ පර්යේෂණ මඟින් අනුමත කර තිබේ.

මේ අනුව ඉන්ධන ප්‍රතිකාරක පාවිච්චිය ලංගමයට, දුම්රිය දෙපාර්තමේන්තුවට මහා පරිමාණ ප්‍රවාහන සමාගම්වලට හිතකර බව වාහන ඉංජිනේරුවන්ගේ මතය වී ඇත.

මේ අනුව අපට කීමට ඇත්තේ මෙලෙස අපටම සරල ලෙස සිදු කළ හැකි ක්‍රම මඟින් මෙරට වායු දූෂණය අඩු කිරීමට අපටම හැකි බවයි. එවිට වස විස දුම් නැති පරිසර හිතකාමී රටක් අපටත් උරුම වනු ඇත.

අදහස්