දියුණු රටවලටත් ලංකාවෙන් ආදර්ශ | සිළුමිණ

දියුණු රටවලටත් ලංකාවෙන් ආදර්ශ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව පමණක් නොව, ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවක්ද වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනන් ගේබ්‍රියේසස් Tedros Adhanan Ghebreyesus පැවැසීය. ලෝක සෞඛ්‍ය දිනය සමරමින් පසුගියදා කොළඹදී පැවැත්වුණු සමරු උලෙ‍ළකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය සේවාවෙහි විශිෂ්ටත්වයට හේතුව නිදහස් සෞඛ්‍ය සේවයක් පැවැතීම බවද ඔහු කීය. සෞඛ්‍ය සේවාවෙහි තත්ත්වය හා ගුණාත්මක භාවය රැකගැනීම සඳහා දේශපාලන නායකත්වයෙන් ලැබෙන ඍජු මාර්ගෝපදේශකත්වය හා පිටිවහල ප්‍රශස්ත වන බවද හෙතෙම පැවැසුවේය. අඩු ආදායම් ලබන රටක්ව පැවැති ශ්‍රී ලංකාව වර්තමානය වන විට මැදි-ආදායම් ලබන රටක් බවට පත් වීමද සෞඛ්‍ය අංශයෙහි වර්ධනයට හේතු වන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝකයේ ඉහළ ආදායම් ලබන රටවලට පවා ශ්‍රී ලංකාවෙන් ආදර්ශ ගත හැකි බවද කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්‍රපාල් සිං මහත්මිය මෙහිදී පැවසුවේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලොව නන් දෙසින් සතුරු බලපෑම් එල්ල විය හැකි බවයි. 

 

Comments