ආහාර වැටලීම් දිගටම | සිළුමිණ

ආහාර වැටලීම් දිගටම

අවුරුදු සමය හා එළැඹෙන වෙසක් උත්සව සමය ඉලක්ක කරගෙන වැඩි වශයෙන් ආහාරපාන වෙළෙඳපොළට නිකුත් කෙරෙන හෙයින් ඒවායෙහි ප්‍රමිතිය හා සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අප්‍රේල් මස මුල් සතියේදී අරඹන ලද සුරක්ෂිතතා වැඩසටහන අඛණ්ඩව අප්‍රේල් මාසය අවසානය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවැසීය.

ආහාර සෞඛ්‍ය ඒකකය හා ජාතික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එක්ව සංවිධානය කරන ලද මේ වැඩසටහනේදී දිවයිනේ දිස්ත්‍රික්ක 24න්ම තෝරාගත් ආහාර සාම්පල පරීක්ෂාවට ලක්කරන ලදි. එළවුළු සහ පලතුරු නිෂ්පාදනයේදී සහ අලෙවියේදී ඒවා කල් තබාගැනීම සහ ඉදවීම සඳහා කෘමිනාශක හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදන බවට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ඒ බව තහවුරු කරගැනීම සඳහා මේ දීපව්‍යාප්ත සමීක්ෂණය දියත් කළ බවද වෛද්‍ය ගම්ලත් කීය. මෙහිදී දිස්ත්‍රික්ක 24න්ම ලබාගත් එළවුළු සහ පලතුරු සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව අහිතකර ලෙස කෘමිනාශක සහ කල්තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන තිබුණේ ඒවායෙන් 15%ක් වූ අතර, 85% ක්ම ඒ රසායන යොදාගෙන ඇත්තේ අනුමත ප්‍රමිතීන්වලට අනුකූලව බවද වෛද්‍යවරයා සඳහන් කළේය. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ මෙරට නිෂ්පාදිත ආහාර වර්ග 101ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් අනුමත කරන ලද ප්‍රමිතියට අනුකූල ප්‍රමාණවලින් පමණක් කෘමිනාශක, අනුමත වර්ණක හා කල්තබා ගැනීමේ භාණ්ඩ පමණක් පරිභෝජනයට සුදුසු වන බවත් වෛද්‍ය ගම්ලත් පවසයි. කිසියම් ආහාරයක අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, මිල සහ බර පිළිබඳ තොරතුරු ඒවායෙහි අසුරනවල සඳහන් විය යුතු අතර, මිල දී ගැනීමට පෙර ඒ ලේබල කියවා බැලිය යුතු බවද ඔහු කියයි. ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී ලේබලයක් සහිත පිළිගත් සන්නාමවලින් යුතු භාණ්ඩ මිල දී ගැනීමටද සැලකිලිමත් වීම වැදගත් බවද ඔහු පවසයි. 

 

අදහස්