මට දැන් බොක්සිං පරි­පා­ල­න­යෙ­නුත් විශ්‍රාම ගන්න පුළු­වන් | සිළුමිණ

මට දැන් බොක්සිං පරි­පා­ල­න­යෙ­නුත් විශ්‍රාම ගන්න පුළු­වන්

මම ඔහු දුටුවේ 2000 වසරේදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීය. එහි බොක්සිං තරගාවලියක් පැවැතුණු අතර එවකට බොක්සිං සංගමයේ ලේකම් ධූරය හෙබවූයේ බ්‍රිගේඩියර් ජගත් ජයසූරියය. පසුව ඔහු හමුදාපති ධූරය හා ආරක්ෂක ප්‍රධානී ධූරය දක්වා ඉහළ නැගුණේය.

තරගාවලියෙන් අනතුරුව බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් එම තරගාවලියේ වියදම් වශයෙන් යම් මුදල් ප්‍රදානයක් සිදුකෙරිණි. කළුපැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි එතරම් නො උස් මිනිසකු එම මූල්‍ය ප්‍රදානය සිදු කළේය. මගේ මතකය නිවැරදිනම් එවකට බොක්සිං ආවරණය කළේ ඉංග්‍රීසි පත්තරයක් වෙනුවෙන් එවකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ එස්. සාමත්ය.

ඉංග්‍රීසි හැරුණු කල වෙනත් සිංහල භාෂාවෙන් පළවූ මාධ්‍ය බොක්සිං ක්‍රීඩාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකළේ නැත. එයට හේතුව වූයේ මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් රට තුළ පැවැති පිළිගැනීම අඩුලංසුවක් ලබා තිබීමය. බොක්සිං ක්‍රීඩා කර ඇත්නම් හෝ පෞද්ගලික රුචිකත්වය මත පිහිටා බොක්සිං ක්‍රීඩාව ආවරණය කළ පෞද්ගලික මාධ්‍යවේදීන් එවකට නිර්මාණය වී තිබුණේ ඒ අනුවය.

අප එවකට සේවය කළ පුවත්පත් ආයතනය වන පෞද්ගලික පුවත්පත් ආයතනය පිහිටා තිබුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේය. ඒ අනුව බොක්සිං ක්‍රීඩාව ආවරණය කිරීමට අපට සිදුවුණේ ආසන්නයේම තරගාවලියක් පැවැත්වෙන හෙයින් හා එවකට තරුණයන් වශයෙන් මුෂ්ඨි ක්‍රීඩා කෙරේ අප තුළ පැවැති කැමැත්තත් සමඟය. මම මෙම කතාව කියන දිනයේදී බ්‍රිගේඩියර් ජගත් ජයසූරිය විසින් අපට වඩා නොඋස් මිනිසාව හඳුන්වා දුන්නේය. ඔහු කුමක්දෝ සමාගමක කළමනාකරුවකු, නැතහොත් සාමාන්‍යාධිකාරිවරයකු යැයි ඔහුගේ හැඳින්වීම විය.

අප ඔහුට අතට අත දුන්නේ සුහුඹුල් යෞවනයකු වශයෙන් මිස පුද්ගලයා කවුරුන්දැයි සොයා බලා නොවේ. එසමයේ අපට කිසිවකුත් සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් නොතිබුණේද ඒ ජනමාධ්‍ය ජීවිතයේ මුල් කාලයේ සිදුවීම් වලට ඒවාද ඇතුළත් වන හෙයින් විය යුතුය. වසරක ඇවෑමෙන් බොක්සිං නිලවරණයක් පැවැති අතර එහි උප සභාපතිවරයකු වශයෙන් ඔහු බොක්සිං පරිපාලනයේදී අපට දැකගැනීමට හැකිවිණි.

ඉන්පසු බොක්සිං සංගමයේ සභාපති ධූරය, ඔලිම්පික් කමිටුවේ උප සභාපති තනතුරක් දක්වා ඔහු පැමිණියේ ය. ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී සිංහල ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් අප ඔහු සමඟ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවර්ධනය අපේක්ෂාවෙන් පුවත්පත් සාකච්ඡා ගණනාවක් පවත්වා ඇත. ඒ කාලය අතරතුර ඔහු හා පැවැති බලාරෝපණය සමඟ එක්රොක්වූ පිරිස්ද බොහොමයක් සිටි බව අපට මතකය.

ඒ සියල්ල දැන් අතිතයට ගොස් ඇති අතර මේ වඩා නොඋස්, ඉතාමත් වේගවත් මිනිසා දැන් යම් ප්‍රමාණයකට වයසින් වියපත්ව සිටී. එදා තාරුණ්‍යය පිරුණු ඔහු ජීවිතයේ මැදියම පසුකර පශ්චිම යාමයට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් නුවර බොක්සිං තරග පැවැත්වෙන ඔක්සෙන්ෆෝර්ඩ් පිටියේදී අපි සිළුමිණ ක්‍රීඩාවේ මුල් පිටුව වෙනුවෙන් සංවාදයක නියැළුණෙමු. බොක්සිං පරිපාලනය, බොක්සිං ක්‍රීඩාවේ අනාගතය හා ඔහු පැමිණි වසර විස්සක පමණ බොක්සිං පරිපාලන ජීවිතය මෙහිදී සැලකිල්ලට බඳුන්විය.

කොහොමද?

හොඳයි. සතුටුයි. මගේ සිහිනයක් සම්පූර්ණ වුණා. ඒ ගැන සිතද්දී මා තුළ ඇතිවන්නේ පුදුමාකාර හැඟීමක්.

බොක්සිං ක්‍රීඩාවෙන් අන්තර්ජාතික පදක්කමක් ගේන්න ඔබ සෑහෙන කාලයක සිට උත්සහ කළා?

ඔව්. ඒක මගේ ජීවන අරමුණක් වුණා. ශ්‍රී ලංකාව අන්තර්ජාතික බොක්සිං පිටියේ දෙපයින් නැගී සිටින දවසක් උදාවන තුරු මම බොහෝම අපේක්ෂා බැන්දා. මගෙත් එක්ක ඒ සිහිනය දකින්න තවත් සෑහෙන දෙනෙක් එක්වුණා. ඇත්තටම ඒ අයගෙන් බොහොමයක් මගේ ළඟ නැතත් ඒ සිහිනය යථාවත් වුණු එක ගැන මට සතුටුය

ඔබ ගාව නැහැ කිව්වේ?

නෑ. මම දැන් පූර්ණ කාලීනව බොක්සිං පරිපාලනය තුළ නැහැ. මගෙන් පස්සේ හිටපු පිරිසක් වගේම ඇතැම් අය මම පරිපාලනයට ගත්තු පිරිසක් තමයි බොක්සිං ක්‍රිඩාවේ පරිපාලන කටයුතු කරන්නෙ. ඉතිං දැන් අපි නිරන්තරයෙන් හම්බවෙන්නේ නෑ.

ඒ කියන්නේ ඔබ බොක්සිං ක්‍රීඩාව අතහරිනවා කියන එකද?

බොක්සිං ක්‍රීඩාව මම අතහරින්නෙ නෑ. ඒකත් එක්ක මගේ පණ තියෙනකං සම්බන්ධය තියේවි. ඒත් මම සක්‍රිය පාලකයකු වශයෙන් කටයුතු නොකරාවි.

ඇයි ඔබට ඇති කියලා හිතෙනවද?

ඕනෑම දෙයක විශ්‍රාම කාලයක් එනවා. ඇතිවූ සියල්ල නැති වෙනවා වගේ බොක්සිං පරිපාලනයත් හැමදාම කරන්න බැහැ.

ඒ කියන්නේ ඔබ බොක්සිං පරිපාලනයෙන් ඈත් වෙනවා?

කැමති වුණත් අකමැතිවුණත් අපිට අපි කරපු දේවල් තරුණයන්ට බාරදීලා සමුගන්න වෙනවා. නමුත් මම මේ දේ කරන්නෙ කැමැත්තෙන්.

ඔබ දශක දෙකකට ආසන්න කාලයක් බොක්සිං ක්‍රීඩාව එක්ක සමීපව ජීවත්වුණා?

ඔව්. 1999 වසරේ ඉඳලා මම බොක්සිං එක්ක පරිපාලනයේදී සම්බන්ධ වීම ආරම්භ කළා.

ඒ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම දුෂ්කර ගමනක අපි ආවෙ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් හම්බවෙන මුදල් ටිකකින් තමයි අපි ක්‍රීඩාව පවත්වාගෙන යන්න පුරුදු වෙලා හිටියෙ. මම පරිපාලනයට පැමිණීමෙන් පසුව බොක්සිං සංගමයට පෞද්ගලික අංශයෙන් මුදල් රැගෙන එන්න හැකිවුණා. මගෙ සම්බන්ධතාවය නිසා පෞද්ගලික අංශයෙන් වැඩගන්න පහසුවුණා. මට මේ ගමන බොක්සිං ක්‍රීඩාවෙන් එන්න එම්.ඒ.එස්. හෝල්ඩින්ග්ස් සමාගමත් සහයෝගය දැක්වුවා. ඉතින් ඇත්තටම පැමිණි ගමන ගැන සතුටුයි.

ඔබ ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලයීය, ආසියානු පදක්කමක් සොයමින් කාලයක් වෙහෙසුණා?

ඔබ දන්නවා. මම වගේම අපේ කළමනාකරණ කණ්ඩායමම ඊට වෙහෙසුණා. අපි ඔලිම්පික් යන්න සුදුසුකම් ලැබුවා. ඒක ජයග්‍රහණයක්. ආසියානු මට්ටමේදී අනුෂා කොඩිතුවක්කු රන් පදක්කමක් දිනුවා. ඇයට හැකිවුණා පොදු රාජ්‍ය මණ්ඩලයීය ලෝකඩ පදක්කමක් දිනාගන්න. ඒ වගේම තිවංක රණසිංහටත් හැකිවුණා පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් දිනා දෙන්න. අපි අපේක්ෂා කළ ඇතැම් ක්‍රීඩකයන් අසාර්ථක වුණත් මේ ලබපු ජයග්‍රහණ ගැන සතුටුයි.

ඩයන් ගෝමස් කියද්දී ක්‍රීඩා පරිපාලනයේ පතාක යෝධයෙකු වශයෙන් ගොඩනැගුණු චරිතයක්. මේ දේ කොහොමද ඔබ ගොඩනගා ගත්තෙ?

මට පෞද්ගලිකව ක්‍රීඩා පරිපාලනය කළා කියලා මගේ නම ඉදිරියේ ජයග්‍රහණයක් තියාගන්න මම හිතන්නෙ නෑ. මීට පෙර මම හිතුවෙත් නෑ. හැබැයි රටක් වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීම තමයි එකම අවශ්‍යතාව වුණේ. බොක්සිං කියන්නේ නිදහස ලැබීමට පෙර, නිදහස ලැබීම සමඟ අපි රටක් වශයෙන් ජයග්‍රහණය කළ තරග ඉසව්වක්. ඒ අතීත කීර්තියේ මාවත හඳුනාගෙන ඒ සුවඳ ඔස්සේ යන්න විතරයි අපිට උවමනා කළේ. ඒ දේ අද සාර්ථක වෙලා. ඒ ගැන මට සතුටුයි. එහෙම නැතිව පෞද්ගලික ජයග්‍රහණ කිසිවක් මම අපේක්ෂා කළේ නෑ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට අනුෂා කොඩිතුවක්කුගේ නම ඇතුළු කරන්න තේරීම් තරගාවලියට ඉදිරිපත් කරන්නේ ඔබගේ මැදිහත්වීම සමගයි?

මම කිව්වා ඇය පදක්කමක් දිනන බව. අපි හිතුවෙ මේරි කොම් ඉන්නේ වෙනත් බර පංතියක කියලයි. ඒ නිසා මම කිව්වා අනූෂා රන් හෝ රිදී පදක්කමක් ආයාසයෙන් තොරව දිනාගනීවි කියලා. ඒ නිසා මේ තරගාවලියට ඇයව දමන්න කියලා මම බොක්සිං තේරීම් කමිටුවට යෝජනා කළා. ඇත්තටම ඇය තේරීම් තරගවලදී හොඳින් ක්‍රීඩා කළා. එතැනදී ඇය දක්වපු දක්ෂතා මම කිව්වා වගේම තේරීම් කමිටුවේ ඇගයීමට ලක්වුණා. ඒ නිසා ඇය පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට ආවා. ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමකින් සැරසුවා. ඒ ගැන සතුටුයි.

එතකොට තිවංක රණසිංහ ඔබගෙ සමාගමේ සේවය කරන බොක්සිං ක්‍රීඩකයෙක්?

ඔව්. ඔහු හොඳ අනාගතයක් තියෙන තරුණ ක්‍රීඩකයෙක්. ඔහුගෙ පියා ප්‍රවීණ මලල ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ඔහු වැඩකරන්නේ එවකට මම සේවය කරපු ස්ලිම්ලයින් ආයතනයෙ. පන්නල තමයි ඔහුගේ සේවාස්ථානය. පසුව මම ඉන්න හෙලක්ලෝදින් සමාගමට තිවංක රණසිංහව රැකියාවට ගත්තා. ඔහු ඉන්නේ මා සමඟයි.

ඔබ කලකට පෙර අප සමඟ පවසපු කතාවක් තිබුණා? ඒ කතාව අද ඇත්ත වෙලා කියලා හිතෙනවා?

මොකක්ද?

අපිට වර්තමානයක් පමණක් නොවෙයි අනාගතයක් තිබෙන බව?

නිසැකවම. අපි එය ඔප්පු කරලා තියෙනවා. එදා අපි දැක්ක අද ජයග්‍රහණය හෙටත්, අනිද්දටත් තවත් අවුරුදු සිය දහස් ගණනක් තුළත් විහිදෙනවා. අපිට ඒක අමතක කරන්න බැහැ. අවශ්‍ය වන්නේ මේ සැලසුම් තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියට රැගෙන යාමයි.

ඔබ හිතනවද එහෙම අනාගතයක් තවදුරටත් සුරක්ෂිතව තියෙනවා කියලා?

මම හිතනවා. උනන්දුව, අවශ්‍යතාව, සැලසුම තියෙනවා නම් පුද්ගලයා කවුරුන්ද වැඩක් නෑ. අවශ්‍ය වන්නේ හොඳම කවුද? රට වෙනුවෙන් ඉදිරිපත් කළ යුත්තේ කවුද? කියන තීරණයන්ට අපක්ෂපාතීව එන්න පුළුවන්නම් අනාගතය පැහැදිලියි.

නමුත් බොක්සිං ක්‍රීඩකයන්ට හොඳ ජීවිතයක් නිර්මාණය නොකර ඒ දේවල් ලබාගන්න ලෙහෙසි වෙයිද?

අපි අලුත් පාරක් හැදුවා. ඒ පාරේ ගිය බොක්සිං ක්‍රීඩකයෝ රටටත්, තමන්ටත්, අනාගතයටත් දේවල් කළා. ඉතින් අනාගතයේදී ඒ මාර්ගය ඔස්සේ ගිහින් දේවල් නිර්මාණය කරගත යුතුයි. ලැබුණු අවකාශය පුළුල් කරගැනීමයි වැදගත් වන්නේ.

ඔලිම්පික් පරිපාලනය සම්බන්ධයෙන් කතාකරමු?

ඒ නිලවරණය ඉවරයි. මමත් ඊට ඉදිරිපත් වුණා. මම තරග වැදුණේ උප සභාපතිධූරයටයි. ඒත් මට මෙවර ඒ අවශ්ථාව අහිමිවුණා.

ඒ ගැන කලකිරීමක් තියෙනවද?

මම බොක්සිං ක්‍රීඩකයෙක්. පරිපාලකයෙක්. ජයග්‍රහණය වගේම පරාජයත් හොඳ ගුරුවරයෙක්. මට පරිපාලනය කරන්න වුවමනා නෑ. මම එහි හිටියේ ක්‍රීඩාව වෙනුවෙන් දිනා ගත හැකි දේවල් ශීඝ්‍ර කරන්න මගේ දායකත්වය ලබාදෙන්නයි. එහෙම නැතිව එතැන මට දුකක්, එහෙමත් නැත්නම් පෞද්ගලික වාසියක් තිබුණේ නෑ. ඒ නිසා පෞද්ගලිකව කනගාටුවක් නෑ.

අනාගතය ගැන මොකද හිතන්නෙ?

දැන් මම සාර්ථකයි. බොක්සිං පරිපාලනයේ මම දැකපු සිහිනය දැන් යතාර්ථයක් වෙලා. මම එතැන නැති වුණත් අපි හදපු මාවතේ මෙම ජයග්‍රහණ හමුවීම ගැන මට සතුටුයි. දැන් මට අවුරුදු 60ක් වෙනවා. ඉතින් ජීවිතය ඉදිරියට කළ යුතු දේවල් කරමින් සාර්ථකව නිමකරන්න තමයි මගේ කැමැත්ත. හැබැයි මම හැමදාමත් ක්‍රීඩකයකු වශයෙන් සිටි නිසා ක්‍රීඩාවට ආදරෙයි. ඒක මම මැරෙන දවසටත් මා තුළ ඉතිරිවී තියේවි.

අදහස්