තඹ වැල්ලෙන් පැමිණ රන් වැල්­ලේදී රිදී හා ලෝකඩ ගැරීම | සිළුමිණ

තඹ වැල්ලෙන් පැමිණ රන් වැල්­ලේදී රිදී හා ලෝකඩ ගැරීම

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට ඕස්ට්‍රේලියාව බලා පැමිණියේ බලාපොරොත්තු රැසක් සමඟිනි. අප්‍රේල් 4 වැනිදා පැවැති සමාරම්භක උලෙළ සමඟින් ආරම්භ වුණු තරගාවලියේ තරග පැවැත්වීම සිදුකෙරුණේ පසුගිය 5 වැනිදා සිටය. මෙම සටහන ලියන මොහොත වනවිට ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඇතුළු ක්‍රීඩකයන් ගණනාවක් දැනටමත් යළි සිය රට කරා පැමිණ අවසන්ය. තරගාවලිය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තවත් තරග කීපක් පමණකි. එහෙත් ගෝල්ඩ් කොස්ට් නුවර පවතින උනන්දුව හා උද්යෝගය එලෙසින්මය.

එය නොසිඳෙන මුහුදක් වැන්ය. නැවත නැවත පැණ නගින රැළිසේ ඕස්ට්‍රේලියානු ජන සමාජය තුළ මහත් උද්යෝගයක් නිර්මාණය කර ඇත. බැලූ බැලූ අත දැකිය හැක්කේ උද්යෝගයෙන් ප්‍රමුදිතව විවිධ විලාසිතා සහිතව ක්‍රීඩාංගණ වෙත පැමිණෙන මිනිසුන්ය. එහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් බහුතරයක් හුදෙකලා වූවන් නොවීමය. බොහොමයක් දෙනා පවුල් පිටින් මෙම තරගාවලියේ සතුට බෙදා ගැනීමට පැමිණෙන්නෝය. ඔවුන් එන්නේ මුහුණු පුම්බාගෙන නොව සතුටෙන් උදම්වීගෙනය. ඇතැම් තරුණ යුවලකට සිටින දූ පුතුන් දකිද්දී ඔවුන් මෙතරම් වයසැයිදැයි අපට සිතෙන්නේය.

ඒ අතර වයසක මාපියන්ද තරගාවලියට පැමිණෙති. එහි ඇති විශේෂත්වය වනුයේ ඇතැමුන් යන්නේ අත්වාරුවකින්, එසේත් නැතහොත් දෙපා එතරම් සක්‍රිය නොමැතිකම හේතුවෙන් රෝද පුටුවකින් එසේත් නැතහොත් පුටුවක් වැනි දෙපා මඳක් අවසඟ මිනිසුන් භාවිත කරන අත්වාරුවක් සහිතවය. එවැන්නක් භාවිත කරන්නේ යැයි කියා ඔවුන් තරගාවලියේ උණුසුම සමඟ එක් නොවී සිටින්නේ නොවේ.

ඔවුන්ගේ ගමන් පහසුව පොදු, පෞද්ගලික හෝ ඇවිද ඒමෙන් සපුරා ගැනීමට හැකිවන ආකාරයට ගෝල්ඩ් කොස්ට් බලධාරීන් සපයා ඇත. පැය විසිහතරේම පාහේ දිවෙන දුම්රිය සේවයත්, ට්‍රෑම් රථ සේවාව මෙන්ම පොදු බස් රථ සේවාවත් යුහුසුලුව ජනී ජනයා රැගෙන ඔබ මොබ සංචාරයේය. ඊට අමතරව ක්‍රීඩාංගණ හා පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක සම්බන්ධීකරණ බස් රථ ඇතුළත් සක්‍රිය ප්‍රවාහන සේවයකි. ඒ වෙනුවෙන් යෙදු සිය ගණනක සේවා නිලධාරීන් පිරිසකි. මෙම ස්වේච්ඡා නිලධාරීන් අතර ඇතැමුන් සේවය කරන්නේ මහ මගය. ඔවුන් රථ වාහන වේග පුවරු දක්වමින් සෙමින් යන්නැයි රියැදුරන්ට සිහිපත් කරයි. මුළු ගෝල්ඩ් කොස්ට් මතු නොව බ්‍රිස්බේන් නගරයම පොදු රාජ්‍ය මණඩලීය ක්‍රීඩා උළෙල හේතුවෙන් කාර්ය බහුලව ඇත්තේ මේ අයුරිනි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ක්‍රීඩක සංඛ්‍යාව 81කි. ඔවුන් ඉසව් ගණනාවක් වෙනුවෙන් මෙවර තරගාවලිය නියෝජනය කළහ. එම ඉසව් අතරින් ආරම්භයේ සිටම බර ඉසිලීමේ පදක්කම් තුනක් පිළිබඳ කතාවුණු අතර එය රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාව සතුවිය. මේ වනවිට තඹ වැල්ල හෙවත් තම්බපණ්ණියෙන් පැමිණ ගෝල්ඩ් කොස්ට් හෙවත් රන් වැල්ලේදී රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තවුන් ඇත්තේ සැතපුම් දහස් ගණනක් ඈත මව්බිමේය.

මෙම පදක්කම් කණ්ඩායමට එක්වීමට මේ වනවිට බොක්සිං කණ්ඩායමද සමත්ව ඇත. අඩු බොක්සිං ක්‍රීඩකයන් පිරිසක් තරගාවලියට සහභාගි කළද ඔවුන් දැනටමත් පදක්කම් දෙකක් සුරක්ෂණය කරගෙන අවසන්ය. ඒ අනුව ශ්‍රී ලංකාව මෑත කාලීනව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ලබාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය මෙයය. එය සතුටට කරුණකි. විශාල වැය බරක් දරමින් වුවද මේ ලබාගත් ජයග්‍රහණය ඉහළින් තක්සේරුකළ හැකිය.

මෙම තරගාවලිය පැවැති දිනයේ සිට අපට දැකගත හැකිවූයේ ඕස්ට්‍රේලියානුවන් කෙතරම් මිත්‍රශීලී ජාතියක්ද යන්නය. එය ඇතැම් විට පසුගිය වර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සංවිධානය කළ ස්කොට්ලන්තය ඉක්මවන තරම් දැඩි මිත්‍රශීලීත්වයකි. අනෙක් අතට අප පෙර සඳහන් කළාක් මෙන් ස්වේච්ඡා සේවයේ නිරතවන්නන් අතරද විවිධ කායික අපහසුතා සහිත පුද්ගලයන් දැකගැනීමට පුළුවන. බොහෝවිට එම කායික ආබාධ ඇවිදීමේ අපහසුතා වැනි සීමාවන්ට ලඝුකළ හැකි වේ. එසේ කියා ඔවුන් කිසිවෙක් ජාතියක් වශයෙන් මුළු ගැන්වී නැත. ඔවුන් වෙහෙස මහන්සිවෙමින් ගිනි අව්වේ වියැළෙමින් තම රටේ අභිමානය වෙනුවෙන් වෙහෙසෙමින් සිටී. එය අප තුළ ඇතිකළේ මහත්වූ සතුටකැයි කිවහැකිය.

අනෙක් අතට ඔවුන්ගෙන් මෙහිදී අප උගත යුතු ගැඹුරුම පාඩම වනුයේ සේවාවක් සඳහා සරලව ස්තුතිය පළකිරීමය. එමෙන්ම ප්‍රමුඛතාව ලැබිය යුත්තාට ප්‍රමුඛතාව ලබාදීමය. කාල සටහනකට අනුව සෙනඟ සිටියද නැතිවද යන ප්‍රවාහන සේවයය. විනයගරුක රියැදුරන්ගේ අනතුරු දක්නට නොලැබෙන රිය ධාවනය. එමෙන්ම යතුරු පැදි ඉතා සීමා සහිත වීමය.

අනෙක් අතට බලන කල ඔවුන් පරිසරය ක්‍රමානුකූලව තබාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයද මෙහිදී විශේෂයෙන් අගය කළ යුතුය. සිංගප්පූරුවේ තරම් නීති රීති දැඩි නොවුණද පුද්ගලයා ස්වයං විනය පද්ධතියක් මගින් හික්මවීමට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇත. ක්‍රීඩාව සඳහා ක්‍රීඩාංගණ පහසුකම් එමටය. එමගින් අපේක්ෂාව වන්නේ නිරෝගීමත් ජාතියක් නිර්මාණය කිරිමට ඔවුන් ගන්නා උත්සහයය.

එකිී උත්සහය මල් ඵල දරමින් ගෝල්ඩ්කොස්ට්හිදී (රන් වැල්ලේදී) ඔවුන් රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනමින් මේ වනවිටත් තරගාවලියේ සත්කාරකයන් වශයෙන් පෙරමුණට ළඟාවී අවසන්ය. ඒ අතරින් අප රටක් වශයෙන් ජයග්‍රහණ පමණක් රැගෙන ඒමට ලඝු නොවි යුතු බව අපගේ හැඟීමය. ඒ මන්දයත් මෙවැනි තරගාවලියක් අවසානයේ අප රැගෙන ආයුතු දෙයක් තිබේ. ඒ අන්‍ය සංස්කෘතියක යහ පුරුදුය. ඕස්ට්‍රේලියානු සංස්කෘතියෙන් උකහා ගත හැකි සත්‍යවාදී බවය. අවංක බවය. කෙළින් වැඩකිරිමේ පුරුද්දය. අන් අයට ද්වේෂ කරමින්, ශාප කරමින් සිටිනවා වෙනුවට තමන් සිදුකළ යුතු සමාජ වගකීම් නිසි පරිදි ඉටුකරන ආකාරය සම්බන්ධවය. තරගාවලියක් පවත්වා තවත් තරගාවලියක් අවසන්ව තවත් වසර පහකට පසු අප පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකට බර්මින්හෑම් නගරයේදී ආවරණ කටයුත්තක් වෙනුවෙන් යාම පමණක් ප්‍රමාණවත් නොවන බව වටහාගත යුතුව ඇත. ඊට විකල්පයක් වශයෙන් යහ පුරුදු හා යහපත් බාවයන්ගෙන් උකහාගත හැකි රුව ගුණ සොයාගත යුතුය. එහෙත් අවාසනාවකට මෙන් සිදුවන්නේ එහි අනිත් පැත්තය. ඔවුන් බහුතරයක් මෙය රජය මගින් ලබාගත් නොමිලේ සංචාරයක් පමණි. පිනවන්නේ තමන්වය. එසේ නොමැතිව ඒ පිනැවීමෙන් රට නොවේ. ජාතිය නොවේ. ශන්තිමත් සංස්කෘතියක් තුළ වුව දුර්වල වෙමින් පවතින කුලුනු ශක්තිමත් කිරීමට ක්‍රීඩාව ඔස්සේ දැනුම මෙන්ම, සමාජය ඔස්සේ අත්දැකීම් ඉවහල් කරගැනීමට අප මෙම සංචාරය යොදාගත යුතුව ඇත්තේ එහෙයිනි. තම්බපණ්ණි තඹ වැල්ලෙන් ගෝල්ඩ්කොස්ට් හි රන් වැල්ල පාගා රිදී, ලෝකඩ පදක්කම් ගරා ගැනීමට ඔබ්බෙන් සමාජමය වශයෙන් රන් උකහා ගත හැක්කේ එවිටය.

 

අදහස්