දේශ­පා­ල­න­ඥයා සහ රාජ්‍ය තාන්ත්‍රි­කයා | සිළුමිණ

දේශ­පා­ල­න­ඥයා සහ රාජ්‍ය තාන්ත්‍රි­කයා

“දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනී. රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු කර ගනී. “

දහනමවැනි සියවස තරම් ඈතක දී ප්‍රකාශ වූ මේ ප්‍රකට කියමනට අනුව ඊළඟ පරපුර අරමුණු කරන රාජ්‍ය තාන්ත්‍රික ආදර්ශ අද දේශපාලන ලෝකයේ නැති තරම් ය. බලය සඳහා ම ඊළඟ මැතිවරණය අරමුණු කිරීම මේ රටේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද අද සාමාන්‍ය ස්වභාවය යි. බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් රට නිදහස් වූ අවස්ථාවේ සිට ගත් කල, මෙරට දිගින් දිගට ම සිදු වී ඇත්තේ ද අද සිදු වන්නේ ද දේශපාලකයා ඊළඟ මැතිවරණය අරමුණු කිරීම යි. එහෙත් ඊළඟ මැතිවරණය ඉලක්ක කරන දේශපාලකයන් පිරුණු රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉදිරි ගමනක් අත්පත් කර ගත් ආකාරය ලෝක දේශපාලනය ගැන විමසිලිමත්ව බලන කල පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාව සමඟ සසඳන කල ඒ බොහෝ රටවල කතාව වෙනස් මෙන් ම වඩා ඉදිරිගාමී ද වෙයි.

මීට දශක පහකට පමණ පෙර, දේශපාලනව හා ආර්ථිකව ශ්‍රී ලංකාව සමඟ සම තත්ත්වයේ හෝ ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලංකාවට වඩා ආර්ථිකව පිටුපසින් සිටි රටවල්, ආදර්ශවත් දේශපාලකයන් හිඟ වුවත් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියට ගියේ ය. එනම්: මතු පරපුර ගැන අරමුණු කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැතුවත් රටවල් ඉදිරියට ගිය අයුරු දකුණු කොරියාව, ජපානය වැනි රටවල් දෙස බලන විට පෙනී යයි.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට දූෂණ චෝදනා මත පසුගිය දා සිර දඬුවම් නියම වුව ද එරට ඉදිරි ගමන බාධාවකින් තොරව සිදු වන ආකාරයට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම නිදසුනකි. කලක් ‘කොරියාව‘ යනුවෙන් මෙරට භාවිත වූයේ එරට අන්ත දුගී බව හැඳින්වීම වුව ද අද එරට අපට ද රැකියා අවස්ථා ලබා දෙන බලවත් ආර්ථිකයක් අත්පත් කර ගත් රටකි. එම දියුණුව වෙනුවෙන් බලපාන කාරණය වී ඇත්තේ ශක්තිමත් ආයතනික ව්‍යුහයක් එම රටවල ස්ථාපිතව තිබීම යි; ආයතනවල ක්‍රියාන්විතය සංවරණ හා තුලන පදනමකින් බලගැන්වී තිබීම යි. දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කරමින් ජනප්‍රිය දේශපාලනයේ යෙදී, වංචා දූෂණවලට යොමු වුව ද රටේ අනාගතය රැකීමට එම රටවල ආයතනික ව්‍යුහය ක්‍රියාත්මක වෙයි. රජකම් කළත් දූෂිතයන්ට කළ කම් පල දෙන්නේ ද ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සහිත බැවිනි. දෙවන ලෝක යුද්ධයට පසු අළු - දූවිලි මතින් යළි නැගිට ගත් ජපානය ද සංවරණ හා තුලන ආයතනික ව්‍යුහයක ශක්තිය පෙන්වයි. එසේ නොවන්නට රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය අමාරු තීන්දු වෙනුවට, දේශපාලනඥයා විසින් ගනු ලබන්නේ ජනප්‍රිය තීන්දු තීරණ ය.

තම සොරකම වසං කර ගැනීම පිණිස සොරකම පැතිරෙන්නට ඉඩ හැරීම හෝ සොරකම තව තව බෝ කිරීම සූක්ෂ්ම සොරුන් විසින් අනුගමනය කරනු ලබන උපායකි. රාජ්‍ය නිලධාරීන් වංචාවට හෝ දූෂණයට හෝ පෙලඹවීම ගැලරිය පිනවමින් ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන, ඊළඟ මැතිවරණය ඉලක්ක කරන දේශපාලනඥයන්ගේ උපායකි. දේශපාලනඥයා විසින් ආයතනික ව්‍යුහය බිඳ දමනු ලබන මෙකී ප්‍රවණතාව 2015 ජනවාරි 8 දා පරාජයට පත් රජය විසින් උච්චස්ථානයකට ගෙන එනු ලැබුවා යැයි කීම වැරදි නැත. එය නිවැරදි කළ යුතුයි යන ජනතා අපේක්ෂාව තවමත් බලාපොරොත්තු සුන් කර ගෙන ද නැත. එහෙත් බලාපොරොත්තු වූ වේගයෙන් එය ඉටු නොවිණි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතනවලට අයත් ආයතනික ව්‍යුහය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් මෙන් ම සාධාරණ සමාජයක් අපේක්ෂා කරන ජන සමාජය ද මේ ගැන නිරන්තරව අවධානයට ගත යුතු වේ.

ලෙහෙසි, ජනප්‍රිය දේශපාලනයට ආ වඩා අමාරු තීරණ නැවත දේශපාලනඥයා වෙතින් පැතීම අර්ථයක් නැති බව ජන සමාජය ද වටහා ගත යුතු ය. එමෙන් ම ජනප්‍රිය, වැරදි තීන්දු දේශපාලනඥයා විසින් ගනු ලබන අවස්ථා තාර්කිකව වැළැක්වීමට රාජ්‍ය නිලධාරියා ද ශක්තිමත්ව සිටිය යුතුය. එවැනි මඟකින් මිස සංවරණ හා තුලන ආයතනික ව්‍යුහයක් ඉබේ සැකසෙන්නේ නැත. සංවරණ හා තුලන ආයතනික ව්‍යුහයක් සැකසෙන්නේ නැතිව ඊළඟ පරපුර ගැන හිතන රාජ්‍ය තාන්ත්‍රිකයකු බිහි වන්නේ ද නැත. කෙසේ වෙතත් එවැනි ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සැකසීමට දේශපාලනඥයා පෙරමුණ ගනීවි යැයි මේ පවතින පසුබිම හමුවේ කිසි විටෙකත් බලාපොරොත්තු විය නොහැකිය.

දේශපාලනඥයා වෙතින් සාධාරණ සමාජයක් ඉල්ලා සිටින්නට පෙර ඒ වෙනුවෙන් දිගින් දිගට ම මඟ හැරෙන වගකීමක් තමන්ටත් ඇති බව අප වටහා ගත යුතු ය.

අදහස්