පුංචි රතු පිහාටුව | සිළුමිණ

පුංචි රතු පිහාටුව

එකෝමත් එක කලෙක අප්‍රිකාවේ එක් පළාතක දුප්පත් මිනිසෙක් ඔහුගේ බිරිය සමඟ ජීවත් වුණා. ඔවුන් නිතරම සිටියේ කුසගින්නෙනි. මේ මිනිසා නිතර දඩයමේ ගියත් ඔහු අදක්ෂ දඩයක්කරුවෙකු වූ නිසා ඔහුට නිතර දඩයම් ලැබුණේ නැහැ. දඩයමක් ලැබුණත් ඒ කුඩා කුරුල්ලකු වැනි සතකු පමණයි.

දවසක් මොහු කැලයට ගියා. ඒ දවසත් ඔහුට හොඳ දවසක් වුණේ නැහැ. එදා ඔහුට කුඩා කුරුල්ලකුවත් සොයා ගන්න බැරි වුණා. දවල් වෙද්දී ඔහුට මහන්සියි. කුසගිනියි. ගසක් යට වාඩි වූ ඔහු විවේක ගනිද්දී ගස මුදුනෙන් මිහිරි ගී හඬක් ඇහුණා. හිස ඔසවා ගස උඩ බැලූ ඔහු දුටුවේ මිහිරි හඬින් ගී ගයන කුඩා කුරුල්ලෙකි. ඒ කුරුල්ලා‍‍ගේ පියාපත් රතු පාටයි.

“අසරණ වෙලා ඉන්න නුඹට උදව් කරන්න මට පුළුවන්. මං නුඹට මගේ එක් පිහාටුවක් දෙනවා. එය නිවෙසට ගෙන ගොස් පිසින්න. නුඹට රසවත් ආහාර වේලක් ලැබේවි. පහුවදා නැවත එන්න. එවිට මං නුඹට තව පිහාටුවක් දෙන්නම්” ගස යට සිටි මිනිසාට කුරුල්ලා කිව්වා.

කුරුල්ලාට ස්තුති කළ මිනිසා නිවෙසට ගියා. රතු පිහාටුව භාජනයකට දැමූ ඔහු සියල්ල බිරිය හා පැවසුවා.

“පිහාටුවක් කොහොමද ආහාර වේලක් දෙන්නේ? උඹ මොනතරම් මෝඩයෙක්ද? ගිහින් කුරුල්ලා අල්ලා ගෙන වරෙන් අපි ඌ උයලා කමු” බිරිය මිනිසාට දෝෂාරෝපණය කළා. එහෙත් බිරියගේ බසට මිනිසා කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. නමුත්, පිහාටුව දැමු භාජනයේ රසවත් ආහාර වේලක් තිබෙනු ඔහු දැක්කා.

ඉන්පසු දිනපතාම කැලයට යන මේ මිනිසාට අර පුංචි කුරුල්ලා පිහාටුව බැගින් දුන්නා. ඔහු හා බිරිය ඒ පිහාටුව පිස ලැබෙන රසවත් කෑම ආහාරයට ගත්තා.

කෙසේ වුවත් මේ මිනිසාගේ බිරිය හරිම කෑදර කාන්තාවක්. ඇය දිගින් දිගටම මිනිසාට කරදර කළා.

“අපට මේ පිහාටුවෙන් වැඩක් නැහැ. අපි කොහොමහරි මේ කුරුල්ලා අල්ලා ගන්න ඕනෑ. එතකොට අපට පිහාටු දෙක තුනක් එක දවසට උයා ගන්න පුළුවන්. එතකොට අපට ඇති තරම් කන්න ලැබෙයි.”

“ඒත්, මේ කුරුල්ලා මගේ මිතුරෙක්. මං කීයටවත් ඒ සතා මරන්නෙ නැහැ.” මිනිසා පැවසුවා.

එක් දිනක් බිරිය සැමියා පසුපසින් හොර රහසේ කැලයට ගියා. ගස යටදී කුරුල්ලා ගයන මිහිරි ගී එම කාන්තාවටත් අසන්න ලැබුණා. ඒ මොහොතේ ඇය ගලක් ගෙන ගසා කුරුල්ලා මැරුවා. අසරණ කුරුල්ලා ගසෙන් බිමට වැටෙනු දුටු මිනිසා දුකෙන් හඬා වැලපුණා.

එසේ වුවත් බිරිය, “ආ! දැන් අපට ඇති තරම් කෑම කන්න පුළුවන්” යැයි පවසමින් සතුටු වෙමින් මියගිය කුරුල්ලා ද රැගෙන නිවෙසට ගියා.

ඇය භාජනයක් රැගෙන කුරුල්ලා දමා පිසින්න පටන් ගත්තා. ඒත් වෙනදා මෙන් භාජනය අහරින් පිරී ගියේ නැහැ. කාන්තාව කෙතරම් ළිපට ගින්දර දමමින් කරුල්ලා පිසුවත් කිසිම ආහාරයක් ලැබුණේ නැහැ.

එදා පටන් ඔවුන්ට යළිත් කුසගින්නේම ජීවත් වෙන්න සිදු වුණා.

අප්‍රිකානු ජන කතාවකි.

චිත්‍ර - කුමුදු මාමා

 

Comments