මේ පන්ස­ලට ඔබේ ආධා­රය ඕනෑ | සිළුමිණ

මේ පන්ස­ලට ඔබේ ආධා­රය ඕනෑ

නගරාසන්න ප්‍රදේශවල විහාරස්ථාන දෙමහල්ව තෙමහල්ව ඉදිවෙද්දී වැලි මළු වෙනුවට බිම ඇතුරුම් පිඟන් ගඩොල් එළද්දි සැතපීමට සංඝාවාසයක් නොමැතිව හරිහමන් ලෙස දානයක් නොලැබ ඇල් දිය පොදකින් දවස පිරිමසා ගන්නා මේ භික්ෂුන් වහන්සේ සැබෑ යතිවරුන් යැයි මට හැඟේ.

‘ධම්ම දායාදෝ භවථ මා ආමිස දායාදා’ - “මාගේ ධර්මය දෑවැද්දක් ලෙස සලකන්න ආමිසයට ගිජු නොවන්න .... ” යනාදී ලෙසින් අමාමහ ලොවුතුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ පරිද්දෙන් ඒ ගමන් මාර්ගයේම ගමන් කරමින් ලෝක සත්වයාට ධර්ම දානය දායාද කරන නුතන පරපුරේ තවත් එක් යතිවරයෙකු අපට මුණ ගැසෙන්නේ වනාතවිල්ලුව සමගිපුර ප්‍රදේශයෙනි.

වර්ග කි.මී.710ක වපසරියකින් යුත් වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන එකොළහකි. ගමයි පන්සලයි යන සංකල්පය සංකේතවත් කරමින් සම්බුද්ධ සාසනයේ චිරස්ථිය උදෙසා සදාචාර සම්පන්න දැහැමි සමාජයක් ගොඩනගනු වස් 1980 වර්ෂයේ මැද භාගයේදී සමගිපුර ශ්‍රි ධර්මරාජ විහාරස්ථානය ආරම්භ විය. විහාරස්ථානයේ දායකයන් අතරින් බොහෝ දෙනෙක් සිය වෘත්තිය ලෙස කෘෂි කර්මාන්තයේ යෙදෙති. ඊට අමතරව එදිනෙදා කුලියක් මලියක් කරගනිමින් ජීවිකාව සලසා ගනිති. විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා මූල්‍යමය වශයෙන් දායක වීමට නොහැකි තරමට ඔවුන් ආර්ථිකමය වශයෙන් දුර්වලය.

විහාරාධිපති මංගල ධර්ම කීර්ති ශ්‍රී ශාසනසූරි කලාඔයේ විනීත ස්වාමින්වහන්සේ මෙම විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරමින් විහාරස්ථානයේ දියුණුව සඳහා නොමඳව වෙහෙසෙති. හෙරණ භික්ෂු පුහුණු ආයතනයක් පිහිටුවා කුල දරුවන් 15ක් බුද්ධ පුත්‍රයන් කරවා මෙම ප්‍රදේශයේ සාමය හා සහජීවනය සංකේතවත් කරමින් ආගමික සහජීවනය නංවාලීමට කටයුතු කරති. සාමණේර භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපනික කටයුතු සඳහාද විශාල මුදලක් වැයවේ. වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන 10ක් පිහිටා තිබුණද, ඉන් දැනට භික්ෂුන් වහන්සේ දැනට වැඩ සිටිනුයේ විහාරස්ථාන 8ක පමණි. එයිනුදු සමහර විහාරස්ථාන වල භික්ෂුන් වහන්සේ සිටිනුයේ එක නම බැගිනි. එහෙයින් ප්‍රදේශයේ ආගමික කටයුත්තක් සිදු කිරීමේ දී බෞද්ධ ජනතාව මහත් අපහසුතාවට පත්වෙති. බොහෝ දිනවල විහාරස්ථාන දෙකක් ආශ්‍රිත ප්‍රදේශවල එකම දිනයක පාංශුකූලයක් හෝ වෙනයම් ආගමික කටයුත්තක් යෙදුණහොත් භික්ෂුන් වහන්සේගේ හිඟය නිසා දායකයන් ඉමහත් අපහසුතාවකට ලක්වන අවස්ථා අනන්තය. ඇතැම් අවස්ථාවල ‍දුර බැහැරින් භික්ෂුන් වහන්සේ වැඩම කරවීමට ද සිදුව ඇත්තේය. ඒ වෙනුවෙන් වන අධික වියදම මේ පළාත්වල සිංහල බෞද්ධ ජනතාවට දැරිය නොහැකි තරම්ය.

ඇතැම් විහාරස්ථානවල වැඩ සිටි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි භික්ෂුන් වහන්සේ පසුව එම විහාරස්ථාන අතහැර දමා ගොස් ඇත්තේ විදුලිය, ජලය වැනි යටිතල පහසුකම් නොමැතිකම හා විහාරස්ථානවල පවතින විවිධ අඩුපාඩුකම් ද නිසාය. මෙම විහාරස්ථානවලට ඉලක්කගත ආදායම් මාර්ගයක් නොමැති නිසාත්, එදිනෙදා වේල පිරිමහගන්නා දුගී දුප්පත් ජනතාවක් වෙසෙන නිසාත්, දානය මෙන්ම විවිධ අඩුපාඩුකම් භික්ෂුන් වහන්සේ උපේක්ෂා සහගතව විඳ ගනිති.

සමගිපුර ශ්‍රි ධර්මරාජ විහාරස්ථානයේ සාමණේර භික්ෂුන් වහන්සේ දොළොස් නමක් පමණ වැඩ වාසය කරති. අමතර ආදායම් මාර්ග නොමැති මෙම විහාරස්ථානයේ හෙරණ සාමණේර භික්ෂු පුහුණු ආයතනය පවත්වාගෙන යන ආකාරය ප්‍රදේශයේ අනෙකුත් විහාරස්ථානවලට ආදර්ශයකි. අඩු ආදායම් ලාභී දායක පවුල් සිටින බැවින් ඇතැම් දිනවල භික්ෂූන්වහන්සේට ලැබෙන දානයද කිසිසේත් ප්‍රමාණවත් නොමැති තරම්ය. එසේ දානය ප්‍රමාණවත්ව නොලැබෙන දිනවලදී ඇල් දිය වීදුරුවෙන් බඩ කට පුරවා ගන්නා අවස්ථා එමටය. පුහුණු ආයතනය පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නැති අතර සාමණේර භික්ෂුන් වහන්සේ ඉතා කුඩා ඉඩක සිය ආවාස පහසුකම් සලසාගෙන සියලු අපහසුතා උපේක්ෂාවෙන් විඳ දරා ගනිති. වර්ෂා කාලයේදී නිරන්තරයෙන්ම ගං වතුර අපදාවනටලක්වන මේ භික්ෂුන් වහන්සේ පායන සමයේදී අධික නියඟයෙන් ද බැට කති. විහාරස්ථානයේ පෙර පාසලක් පවත්වා ගෙන යතත් ඒ සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නොමැත. දහම් පාසල සඳහා දරුවන් 200කට වැඩි පිරිසක් පැමිණියත් ඔවුන් සඳහා ප්‍රමාණවත් පුටු බංකු නොමැත.

සාමණේර භික්ෂුණ් වහන්සේගේ පහසුව උදෙසා කාමර 10ක සංඝාවාසයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, ගිනිහල් ගෙයක්, නාන කාමර හා වැසිකිළි පහසුකම් වැනි අඩුපාඩු සපුරා ගැනීමට විහාරය සතු වත්කම් නොමැති නිසා මෙම පුවත දකින සැදෑවතුන්ගේ ආධාර උපකාර විහාරාධිපති කලාඔයේ විනීත හිමියෝ අපේක්ෂා කරති.

“අප ජීවත් වෙන්නේ අති දුෂ්කර ප්‍රදේශයක. මේ පළාතේ ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිශ්‍ර ජන සමාජයක්. බහුතරයක් මෙහෙ ඉන්නෙ මුස්ලිම්වරු. හතර පේරුවේ දායකයන් ලෙස ඉන්නේ බෞද්ධ පවුල් 70ක් පමණයි. දායක ඇත්තන්ගෙ ආර්ථික අපහසුතා බොහොමයි. අපේ පන්සලට දානය නොලැබෙන අවස්ථා බොහෝයි. එසේ වුවත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපට කළ හැකි ආගමික හා සමාජීය කටයුතු අපි ඒකාන්තයෙන්ම සිදුකරගෙන යනවා.

මම ලංකාවේ පළාතක් පාසා ගිහින් අපේ දහම් පාසල් ළමයින්ට අවශ්‍ය නිල ඇඳුම් හා පාසල් පොත් සොයා ගෙන ඇවිල්ලා ශිෂ්‍යත්වයක් ලෙස දරුවන්ට දෙන්න සූදානම් කළා. ඒ සඳහා දරුවා අනිවාර්යයෙන්ම දහම් පාසල් පැමිණිය යුතුයි. දෙවැනි කාරණය මව පියා දරුවා සමඟ පෝය දිනයට සිල් සමාදන් විය යුතුයි. බෝධි පුජා පිංකම් කටයුතුවලට මව පියා දරුවා කියන තිදෙනාම සහභාගි විය යුතුයි.

මෙයින් අප බලාපොරොත්තු වන්නේ අපගේ දායකයන්ගේ යහපතයි. අපට ‍අඩුපාඩු බොහොමයි. දහම් පාසලට බංකු පුටු නැහැ. ගොඩනැගිල්ලක් නැහැ. සාමණේර භික්ෂුණ් වහන්සේට ලැගුම් ගන්න ආවාසයක් නැහැ. ආගමික වතාවත් ඉටු කරන්න චෛත්‍යයක් නැහැ. ඔය කියන අඩුපාඩු සපුරා දෙනවානම් එය සම්බුද්ධ ශාසනයට කරන්නා වූ මහත් පුණ්‍ය කර්මයක්”

Comments