LTL හෝල්ඩිංස් පුද්ගලික සමාගම | සිළුමිණ

LTL හෝල්ඩිංස් පුද්ගලික සමාගම

 මෙරට විශාලතම බලශක්ති ජනන සමාගම ලෙස පිළිගැනෙන 1982 වසරේදී ඇරඹි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම මේ වන විට ට්‍රාන්ස්ෆෝමර් අපනයනය හරහා ජාත්‍යන්තරයද ජයගත් අග්‍රගණ්‍යයේ ශ්‍රී ලාංකික සමාගමකි.

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ආරම්භ වෙද්දී රටේ ජනගහනයෙන් විදුලි බලය තිබුණේ 10%ක් පමණ ඉතා සුළු පිරිසකට පමණි. මේ කාලය වන විට විදුලිය බෙදාහැරීමට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් සියල්ල විවිධ සමාගම් හරහා මෙරටට ආනයනය කරන ලදි. මෙම ආනයනික ට්‍රාන්ස්ෆෝමර් හී පවතින බරපතළ දෝෂ සහගත තත්ත්වයන් සහ එමඟින් රටට සිදුවන දැවැන්ත පාඩුව හා මහා ජාතික ධන විනාශය වැනි කරුණු රටට හිතවත් ඉංජිනේරුවන් අතර නිරන්තරයෙන්ම සාකච්ඡාවට භාජනය විය.

ඒ අනුව එම සාකච්ඡා වලදී සැළසුම් වුණු අන්දමට ස්කොට්ලන්තයේ බෝනර් ලොන්ග් සමාගමේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් හා ලංකා විදුලි බල මණ්ඩලයේ මුල්යත දායකත්වයෙන් ආරම්භ කරන ලද ලංකා ට්‍රාන්ස්ෆෝමර් පුද්ගලික සමාගම එවකට මෙරට විදුලිය බෙදා හැරීමේදී බරපතළ ගැටලූවක්ව පැවති ඉහළ ප්‍රමිතියකින් යුතු ට්‍රාන්ස්ෆෝමර් නිපදවීමේ වගකීම භාරගත්තේය.

මෙම කාල වකවානුව වන විට මහවැලි ව්‍යාපාරය යටතේ සිදුවූ කඩිනම් විදුලිබල ව්‍යාප්තිය සඳහා ප්‍රධාන බාධකයක් වුයේ හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුතු විදුලි ට්‍රාන්ස්ෆෝමර් ලබාගැනීමයි. එම සියලු කරුණු සැලකිල්ලට ගෙන, ඉහළ ප්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට්‍රාන්ස්ෆෝමර් මෙරට නිපදවීම සඳහා ලංකා ට්‍රාන්ස්ෆෝමර් හී ට්‍රාන්ස්ෆෝමර් අලුත්වැඩියා අංශයේ තරුණ ඉංජිනේරුවෙකු වශයෙන් ක්‍රියා කළ යූ.ඩී. ජයවර්ධන මහතා විසින් එවකට විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලුත්වැඩියා අංශය භාරව කටයුතු කළ ඉංජිනේරුවරයා වූ චන්න අමරසිංහ මහතාගේ මඟපෙන්වීම ඇතිව උසස් හා අනර්ඝ තත්ත්වයේ ට්‍රාන්ස්ෆෝමර් නිපදවීම ආරම්භ කළ අතර ක්‍රම ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පා නැඟූ මෙම සමාගම 1990 වසර වන විට නඩත්තුවක් අවශ්‍ය නොවන ට්‍රාන්ස්ෆෝමර් නිපදවීම ද ආරම්භ කරන ලදි. ඒ අනුව 90 දශකයේදී නඩත්තුවක් අවශ්‍ය නොවන ට්‍රාන්ස්ෆෝමර් සහිත දකුණු ආසියාවේ එකම රට බවට පත් වූ ලංකාව දශක 4ක් තුළ 10% සිට 100% දක්වා විදුලි බල සැපයුම වර්ධනය කරගැනීම පිටුපස ඇති ප්‍රධාන ගාමක බලවේගය වන්නේද ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමයි.

ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම මේ වන විට සමාගම් සමූහයක් දක්වා පුළුල් වී ඇති අතර සිය මව් සමාගම වන LTL හෝල්ඩිංස් බලාපොරොත්තු වන සේවය සපුරමින් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂ වැඩ කොටසක් ඉටු කිරීමට සමත්ව තිබේ.

LTL ගැල්වනයිස් සමාගම

ලංකා ට්‍රාන්ස්ෆෝමර් පුද්ගලික සමාගම තත්ත්වයෙන් ඉහළ ට්‍රාන්ස්ෆෝමර් වර්ග නිෂ්පාදනය කළද ඒවා සවිකළ යුතුව තිබුණේ විදේශයෙන් ආනයනය කරන ලද අඩු ප්‍රමිතියකින් යුතුව ගැල්වනයිස් කරන ලද ලෝහ රාමුවක් තුළය. මෙම ලෝහ රාමුව ඉක්මනින් මළ බැදුණු අතර වැඩිකල් භාවිත කළ නොහැකි විය. එයින් වන පාඩුව වටහා ගත් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විසින් අනූව දශකයේ මුල්භාගයේදී ලෝහ රාමු ගැල්වනයිස් කිරීම සදහා ඉහළ තාක්ෂණයකින් යුතු කර්මාන්ත ශාලාවක් පිහිටුවන ලදි. ඒ LTL ගැල්වනයිස් සමාගමයි.

ලක්දනවි පුද්ගලික සමාගම

1996 වසරේදී ශ්‍රි ලංකා රජය විසින් බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ට ඉඩ ලබා දිය යුතු බවට ගනු ලැබූ තීරණයත් සමඟ LTL සමාගම විදුලි බලාගාර ගොඩනැංවීමේ ක්ෂේත්‍රයට පිවිසුණි. ඒ ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලක්දනවි සමාගම පිහිටුවීමෙනි.

මෙරට ප්‍රථම විදුලි බලාගාරය 1895 දී ස්ථාපිත කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ බ්රිවුස්ටසි සමාගම විසිනි. එදා පටන් මෙරට ස්ථාපිත සෑම තාප බලාගාරයක්ම සාදන ලද්දේ විදේශිකයන් විසිනි. ප්‍රථම විදුලි බලාගාරය ස්ථාපිත කර හරියටම ශතවර්ෂයකට පසුව ශ්‍රී ලාංකිකයන් විසින්ම ඉදි කරන ලද ප්‍රථම බලාගාරය වූයේ ලක්දනවි බලාගාරයයි. ඒ අනුව LTL සමාගම මෙගාවොට් 25ක ධාරිතාවයකින් යුතු සපුගස්කන්ද ලක්දනවි තාප බලාගාරය නිර්මාණය කරමින් නව ඉදිරි පියවරක් තැබීමට සමත් විය.

අනතුරුව LTL සමාගම විසින් ඉදි කරන ලද සුවිශේෂතම විදුලි බලාගාරය මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය යුගදනවි බලාගාරයයි. දේශීය ඉංජිනේරුවන්ට කිසි ලෙසකින්වත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට හෝ ගොඩනැංවීමට නොහැකි යැයි බොහෝ දෙනෙකු කියා සිටිද්දී ලාංකිකයා මත විශ්වාසය තැබූ LTL සමාගම ජපානයේ මිට්සුබිෂි සහ චීනයේ කැටික් සමාගම අභිබවා යමින් නව බලාගාර සැලසුමක් ඉදිරිපත් කළේය. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවකින් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවකින් සමාගම් තුනේම යෝජනා දැඩි විමර්ශනයකට ලක් කරන ලද අතර, ඩීසල්වලට වඩා මිලෙන් අඩු දැවි තෙල් හරහා ක්‍රියාත්මක වන අප සමාගමේ බලාගාර සැලසුමට අවසර ලබාදීමට ශ්‍රී ලංකා රජය අවසානයේදී තීරණය කළේය. මුල් අවදියේදී සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයක් දැවි තෙල්වලින් ක්‍රියාත්මක කළ නොහැකි බවට බොහෝ දෙනෙකු මත පළ කළද මේ මොහොත දක්වාම ඉතා සාර්ථකව එම බලාගාරය ක්‍රියාත්මක කරවීම හරහා රටට රුපියල් බිලියන 50ක පමණ මුදලක් ඉතිරිකර දීමට අප සමත්ව තිබේ.

1996 වසර වන විට විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද රුපියල් මිලියන 105ක් වන ප්‍රාග්ධන ආයෝජනය හැරුණු විට විදුලි බල මණ්ඩලය විසින් වෙනත් කිසිදු ආයෝජනයක් LTL සමාගම තුළ සිදු කර නැත. එහෙත් මේ වන විට එම ප්‍රාග්ධන ආයෝජනය මත LTL සමාගම විසින් විදුලි බල මණ්ඩලය වෙත ගෙවා ඇති සම්පූර්ණ ලාභාංශවල එකතුව රුපියල් මිලියන 13,000 ඉක්මවනු ලබන අතර, පෙරකී රුපියල් මිලියන 105ක ප්‍රාග්ධන ආයෝජනය වෙනුවෙන් සමාගම විසින් ගොඩනංවා ඇති වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 12,000 ඉක්මවනු ලබයි. සම්පූර්ණයෙන්ම පෞද්ගලික සමාගම් කළමනාකරණ ක්‍රමෝපායයන් අනුගමනය කරන LTL සමාගම තරගකාරී වෙළෙඳපොළ තත්ත්වයන්ට මුහුණු දෙමින්, අභියෝග ජයගනිමින් සාර්ථකව ඉදිරියට පියමනිමින් සිටියි. පසුගිය වසර දහය තුළදී දේශීය සමාගමක් ලෙස බංගලාදේශය, ඕමානය සහ මාලදිවයින වැනි රටවල ඉදි කෙරුණු විදුලි බලාගාර මෙන්ම උගන්ඩාව, ටැන්සානියාව, කෙන්යාව වැනි රටවල විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති හරහා මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 24ක් වන අතර රජයට ඉතිරිකර දුන් මුදල රුපියල් බිලියන 200ක් පමණ වේ. අද වනවිට සම්පූර්ණ දේශීය අවශ්‍යතාවය සපිරීමෙන් පසුව 60%ක පමණ ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනයක් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විසින් විදේශ රටවල් වෙත අපනයන කරනු ලබන අතර ආසියාවේ සහ අප්‍රිකාවේ ලංකා තේවලට පසුව ඇති ජනප්‍රියම වෙළෙඳ සන්නාමය ද LTL හෝල්ඩිංස් වේ.

සමස්තයක් වශයෙන් ගත් කල LTL හෝල්ඩිංස් සමාගම ලංකා විදුලි බල මණ්ඩලය සමඟ කරනු ලබන ගනුදෙනුවලින් උපයනු ලබන්නේ එම සමාගමේ ආදායමෙන් 15% පමණ ප්‍රතිශතයක් වන අතර, අනෙක් 85%ක ප්‍රමාණය උපයනුයේ දේශීයව සහ ජාත්‍යන්තරව සිදු කෙරෙන තරගකාරී මිල ගණන් මත ටෙන්ඩර් ලබා ගැනීමෙන් කරනු ලබන ව්‍යාපෘති හරහාය.

තාප, ජල විදුලි සහ සුළං බලාගාර මඟින් විදුලි ජනනය සඳහා කටයුතු කරන LTL හෝල්ඩිංස් සමාගම් සමූහයේ සාමූහික දායකත්වයෙන් යුතුව මෙරට මෙන්ම බංගලාදේශය, මාලදිවයින සහ අප්‍රිකාව ඇතුළු විදෙස් රටවලද විදුලි බල නිෂ්පාදන කටයුතු සිදු කිරීම මඟින් විදෙස් විනිමය විශාල වශයෙන් මෙරටට ලබාගැනීමටද හැකිව තිබීම සාඩම්බරයෙන් යුතුව සඳහන් කළ හැකි ආකාරයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

සැකසුම- චන්දිමා එදිරිමාන්න
ඡායාරූප - චමින්ද නිරෝෂන

Comments