රට‍ හදන - ජනතාව සුරකින ගමෙන් බිහිවූ ‘සිවිල් බළකාය’ | සිළුමිණ

රට‍ හදන - ජනතාව සුරකින ගමෙන් බිහිවූ ‘සිවිල් බළකාය’

 එදා ග්‍රාමාරක්ෂක සේවය ලෙස ගම් බිම් සුරකූ තරුණ තරුණියෝ 40000 ක් දැන් සිවිල් ආරක්ෂකයෝ ලෙස අපේ රටේ සංවර්ධනයටත් රට අස්වැද්දීමට ‍රටේ සුවිශේෂ ස්ථාන සුරැකීමටත් මහ බළකායක් ලෙස පෙරමුණ ගෙන කටයුතු කරති.

එදා අවි අතට ගෙන ගම් බිම් සමඟ රටම සුරැකි ඒ සිවිල් ආරක්ෂකයෝ අද මේසන් හැන්ද, මිටිය, යත්ත, කැත්ත, උදැල්ල අතර පිහිය අතට ගෙන රටේ සංවර්ධන ගොවි බිම් අස්වැද්දීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, පාසල් රාජ්‍ය කාර්යාල ඉදිකිරීම ආදී පොදු පහසුකම් නැංවීමට දිවා රෑ නොබලා කටයුතු කරති.

පසුගිය වසර 30 ඇතුළත පැවැති යුද්ධයේදී තර්ජිත ගම්මානවල ආරක්ෂාව සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගම්වැසියන් ස්වදේශාරක්ෂක සේවය ලෙසින් තමන්ට හැකි පරිදි ස්වකීය ගම්මාන ආරක්ෂා කරමින් මහඟු මෙහෙවරක් ඉටු කළේ ය. පසුව මෙම පිරිස 1987 ජූනි මස 02 දින ග්‍රාමාරක්ෂක සේවය ලෙසින් ස්ථාපිත විය.

2006 සැප්තැම්බර් මස 13 දින සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත වීමත් සමඟ නව අභිප්‍රේරණයකට පත් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් කැපවීමෙන්, උනන්දුවෙන් සහ ආත්ම විශ්වාසයෙන් ස්වකීය වගකීම් අකුරටම ඉටු කළේ ය.

මානුෂීය මෙහෙයුමේදී වීරෝධාර යුද හමුදා සෙබළුන් අත්පත් කර ගන්නා භූමියේ ආරක්ෂාව පිණිස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියමයෙන් පැය 48 ක් තුළදී 4000 ක භට පිරිසක් සටන් පෙරමුණට යවන ලදී. නන්දිකඩාල් ප්‍රදේශයට අවසන් ප්‍රහාරය එල්ල කිරීමට ආසන්න වන විට දිවි පිදූ සහ ආබාධිත තත්ත්වයට පත්වන වීරෝධාර හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගිය නිසා ඇතිවූ උග්‍ර භට පිරිස් ඌනතාවට පිළියමක් ලෙස 2000 ක සිවිල් ආරක්ෂක භටයින් හමුදා ගත කළේ ය. මෙම පිරිස අප මාතෘ භූමිය ලද විජයග්‍රහණයට ඍජුවම සුවිශේෂී වූ දායකත්වයක් ලබාදුන් පිරිසකි.

මෙම පිරිස තර්ජිත ගම්මාන සියල්ලක්ම ආරක්ෂා කළේ ය. ඉදිරි ආරක්ෂක වළල්ල, සැපයුම් මාර්ග, ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කළා වගේ ම ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වැනි අතිප‍ූජනීය සිද්ධස්ථාන ද ආරක්ෂා කරන ලදී.‍ ඒ වගේ ම තර්ජිත ගම්මානවල වෙසෙන ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආරක්ෂාව සහ වාතාවරණය සලසා දුන්හ.

2015 මුල් භාගයේදී සියලුම හා සිවිල් ආරක්ෂකයන්ට වත්මන් ජනාධිපතිතුමා විශ්‍රාම වැටුප් ලබාදීමෙන් පසු ඔව්හු රට සුරැකීමට රට අස්වැද්දීමට කාර්යක්ෂමව ලෙස කටයුතු කළහ.

එල්පින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය, සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දකුණු මණ්ඩපය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, ලෝහාර් ආර්යා ණය අරමුදල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය, මොරටුව මෝල්පේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පාලන කඳවුර ඉදිකිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසින් අවසන් කරමින් පවතී.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිල්ලක පිටත බිත්ති හා ජනෙල්වල තීන්ත ආලේප කිරීමේ ව්‍යාපෘතිය, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කි‍රීමේ ව්‍යාපෘතිය, මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවස්න සංකීර්ණයේ වහල අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති රැසක් ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාවට නංවා ඇත.

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙණෙහි භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මිහිතලය මහමෙවුනාව ප‍ූජා භූමිය නඩත්තු කටයුතු කිරීමේ ව්‍යාපෘතිය, අනුරාධපුර මහමෙවුනා උයන නඩත්තු කටයුතු කිරීමේ ව්‍යාපෘතිය, සමුද්‍රාසන්න විවේකාරාමය, දිමුතුගල චීන වරාය විවේකාරාමය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, අම්පාර දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමියේ 18 රියන් බුද්ධ ප්‍රතිමාව සහ රහතන් වහන්සේලා 100 නමකගේ පිළිම වහන්සේ ඉදිකිරීමේ ව්‍යාප‍ෘතිය, රාමඤ්ඤ නිකාය මූලස්ථානයේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය යන විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ඉදකිරීම හා සුරැකීමේ කටයුතු ද සිවිල් ආරක්ෂකයෝ සිදු කරති.

ඊට අමතරව පොතුවිල් මිහිඳු මහා විහාරයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, කතරගම කිරිවෙහෙර සහ දේවාලය නඩත්තු කිරීම සහ පවිත්‍ර කිරීම, (නඩත්තු කරගෙන යනු ලැබේ) හඟුරන්කෙත මාදංවල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, මහානායක චාරිකාරාම විහාරස්ථානය අලුත්වැඩියා කිරීම, මොරටුව මොල්පෙ විහාරස්ථානයේ ධර්මශාලාව, ආවාසගෙය සහ පාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් වැනි ආගමික සිද්ධස්ථාන රැසක ඉදිකිරීම් ද කරගෙන යනු ලබන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

කූරගල ප‍ූජාභූමිය සංරක්ෂණය කිරීම, ශ්‍රී පාද ප්‍රවේශ ඉඳිකටු පහන අසළ අම්බලම ප්‍රතිසංස්කරණය කිරීම, ශ්‍රී පාද ප්‍රවේශ මාර්ගයේ ගොළුතැන්න පඩිපෙළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ආවරණ වහලය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, අවුකන බුද්ධ ප්‍රතිමාව ආවරණ වහලය ඉදිකිරීමේ ව්‍යාපෘතිය යන ආගමික සිද්ධස්ථාන කටයුතු අවසන් කර ඇති අතර ඒ සඳහා පැසසුම් හා ස්තුතිය ද ඔවුන් වෙත ලැබී ඇත.

විහාරමහා දේවි උද්‍යානය නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, බේරේ වැව හා ‍ඔරුගොඩවත්ත ඇළ මාර්ග පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය, කිරි මණ්ඩල මාවත නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය යන කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතිය ද දැන් අවසන් කරමින් පවතී.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සංවර්ධන බැංකු, පොල් පර්යේෂණ හා පුහුණු ආයතනය, දිවුලපිටිය වත්ත හලාවත වැවිලි සමාගම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු අමාත්‍යාංශය, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, බොරලැස්ගමුව නගර සභාව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, මන්නාරම සුළං බලාගාරය, ලංකා විදුලිබල මණ්ඩලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආයුර්වේද දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී ස්ථාන රැසකට සිවිල් ආරක්ෂකයෝ 2175 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා යොදවා ඇත.

ඒ අයට ලැබෙන අරමුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට කෙළින් ම යොමු කෙරේ.

ජූනි මාසයේ දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ආපදා තත්ත්වයන්ට පත්වූ ප්‍රදේශයන්හි සහන සැලසීම සඳහා මෙන් ම පිරිසිදු කිරීම් කටයුතු සඳහා විල්පත්තුව, අනුරාධපුර, වවුනියාව, කුරගල, කැබිතිගොල්ලෑව, කිලිනොච්චිය, මැදිරිගිරිය, මුලතිව්, පුත්තලම, සේරුවිල, ත්‍රීකුණාමලය, වැලිඔය, වෙන්නවත්ත, අම්පාර, පොළොන්නරුව, මහඔය, උහන, කතරගම, මොනරාගල, ගෝමරණ්කඩවල සහ කටුනායක යන බළකා මුලස්ථානයන්හි රාජකාරි නියුතු සිවිල් ආරක්ෂක භටයින් 2000 කට අධික පිරිසක් යොදවන ලදී.

අවතැන් වූවන් සඳහා ධානපතීන්ගේ උපකාර ඇතිව පිසූ ආහාර ලබාදීම, බලකා ම‍ුලස්ථාන මඟින් එක් රැස් කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ පානීය ජල බෝතල් සහිත ලොරි රථ 27 ක් විද්‍යුත් මාධ්‍ය ආයතන සමඟ අත්වැල් බැඳ ගනිමින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට කටයුතු කිරීම ද සිදු කළේ ය.

එමෙන් ම දැඩි නියඟය නිසා විපතට පත් ජනතාවට ජලය බෙදා හැරීමේ කටයුතු සඳහා මහියංගනය, වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇළහැර, ගෝමරණ්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත රියදුරන් 23 දෙනෙකු ද යොදවන ලදී.

ඩෙංගු උවදුර රට තුළ උග්‍ර වීමත් සමඟ රුධිර සංචිත අඩුවීම හේතුවෙන් අසරණ වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව සුබසාධක අංශය විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 4000 ක් පමණ භටවරියන්ගේ සහභාගිත්වයෙන් අවස්ථා දෙකකදී කොළඹදී ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වී ය.

2017 වසරේ දී කිලිනොච්චිය, මුලතිව්, පුත්තලම, අම්පාර, පොළොන්නරුව, මහ‍ඔය, මැදිරිගිරිය සහ උහන බළකා මූලස්ථාන මඟින් ද එම ප්‍රදේශයන්හි පිහිටුවා ඇති ප්‍රාදේශීය ලේ බැංකු සමඟ එක්ව ලේ දන්දීමේ කඳවුරු පවත්වනු ලැබීය‍.

දිවයින පුරා මාරාන්තික ව්‍යසනයක් බවට පත්ව තිබෙන ඩෙංගු උවදුර වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ දැවැන්ත වැඩසටහන් බළකා මට්ටමින් සංවිධානය කිරීම ද සිදු කරන ලදී.

අලි මිනිස් ගැටුම් හේතුවෙන් අදාළ ප්‍රදේශවල සිදුවන හානි අවම කිරීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවය ලබාදීම සිදු කරයි.

ඒ අනුව වනාන්තර සහ වනජීවීන් ආරක්ෂා කිරීමට සහාය වීම, අලි මිනිස් ගැටුම සීමා කිරීමට තර්ජිත ප්‍රදේශවල විදුලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදු කරනු ලබයි.

2013 වර්ෂයේ සිට විදුලිවැට ඉදිකිරීම් කටයුතු භාරගෙන කිලෝ මීටර් 1187.3 ක් අවසන් කර ඇත.

ඒ අනුව දැනට නඩත්තු කටයුතු කරනු ලබන විදුලි වැටවල් ප්‍රමාණය 259 කි. එහි සම්ප‍ූර්ණ දිග ප්‍රමාණය කිලෝ මීටර් 4366.4 කි. ඒ සඳහා භටයින් 1959 ක් රාජකාරි සඳහා යොදවා තිබේ.

පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සංචාරක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන සඳහා අවශ්‍ය වන පරිදි ආරක්ෂාව සැලසීම ආයතනයේ කාර්ය භාරයකි.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව, කතරගම දේවාලය, කතරගම කිරි වෙහෙර, කලාගම් වෙහෙර, පුරාණ රජමහා විහාරය, විහාර හල්මිල්ලෑව පුරාණ රජමහා විහාරය, හඳගල පුරාණ රජමහා විහාරය, හේනානිගල රජමහා විහාරය, මහියංගනය රජමහා විහාරය සහ සමන් දේවාලය, තිරප්පන්කඩවල රජමහා විහාරය, බඹරහෙළ රජමහා විහාරය, ජයන්ති විහාරය, ඉසුරුමුණි විහාරය, ථ‍ූපාරාම චෛත්‍ය සහ විහාරය, මිරිසවැටි විහාරය, ලංකා රාම විහාරය, ජේතවනාරාමය, රුවන්වැලිසෑය, කිරි ආහාර කුටිය, උඩමලුව, පරණ හල්මිල්ලෑව විහාරය, දුට‍ුවැව විහාරය, පොළොන්නරුව ගල්විහාරය, සෝමාවතිය පූජා භූමිය, මැදිරිගිරිය වටදාගෙය, බුද්ධංගල පුරාණ විහාරය, ‍ෛඑතිහාසික රිදීගම රජමහා විහාරය ආදී ස්ථාන රැසකට ආරක්ෂක සේවා සැපයීම සිදු කරනු ලබයි.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිවයිනේ වකුගඩු රෝගය සහමුලින් තුරන් කිරීමේ වැඩසටහනට දෙපාර්තමේන්තුව එක්වෙමින් එම ප්‍රදේශවල ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සහ ඒවා නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.

වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහ සියලුම සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ දිනක වැටුප පරිත්‍යාග කර ඇත. පරිත්‍යාග කළ මුළු මුදල රුපියල් මිලියන 42 කි.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින අසරණ රෝගීන්ගේ සුබසාධනය උදෙසා ප්‍රවාහන සේවයක් ආරම්භ කර ඇති අතර, ජාතික වකුගඩු අරමුදල සඳහා මිලියන 25 ක මුදලක් (සාමාජිකයින්ගේ දිනක වැටුප) පරිත්‍යාග කරන ලදී‍.

2014 වර්ෂයේ සිට මේ දක්වා වකුගඩු රෝගීන් සඳහා රු. 24000.00 වැනි සහනදායි මිලකට (වෙළෙඳ පොළ වටිනාකම 35000.00) කුඩා ප්‍රමාණයේ ජල පිරිපහදු යන්ත්‍ර 871 ක් ලබාදී ඇත.

උතුරු හා උතුරු මැද පළාත් තුළ විශාල ප්‍රමාණයේ ජල පෙරණ යන්ත්‍ර 37 ක් සවිකර එහි නඩත්තුව හා පාලනය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන අතර පිරිපහදු ජලය ලීටරයක් ශත 25 ක් වැනි අවම මිලක් යටතේ ලබාදීමට කටයුතු කර ඇත.

වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීමේ අරමුණින් සෑම බළකායක් අනුකලාපයක් සඳහා කුඩා ජල පෙරණ යන්ත්‍ර 250 ක් නොමිලේ ලබාදීම ද උතුරු මැද පළාතේ ජනතාව සඳහා පිරිසිදු පානීය ජල එක් රැස් කර බෙදා හැරීම සඳහා ලීටර් 5000 විශාල ජල ටැංකි 50 ක් ජාතික වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය වෙත ලබාදීම ද සිවිල් ආරක්ෂක දෙපා‍ර්තමේන්තුව විසින් සිදුකර ඇත.

මේ අතර එල්ටීටීටීඊ සැකකරුවන් ලෙස පුනරුත්ථාපනය වූ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 ක් ද දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී රට සංවර්ධනයට රට අස්වැද්දීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි සිදුකරන ඉහත සියලු කටයුතු මඟින් 2015 – 2016 – 2017 වසරවලදී පමණක් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් දස ලක්ෂ 2500 ක් ලබාදී ඇත. මේ පිරිස අස්වැද්දූ ගොවි බිම් ගණන අක්කර 4500 කට ආසන්නය.

නිහාල් පී. අබේසිංහ
සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ 

Comments