පාරිභෝගික අයිතිවාසිකම් සුරකින ඩිජිටල් වෙළෙඳපොළක් හදනවා | සිළුමිණ

පාරිභෝගික අයිතිවාසිකම් සුරකින ඩිජිටල් වෙළෙඳපොළක් හදනවා

 ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ මෙවර තේමාව වන්නේ සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු යන්නයි. ඒ නිසාම අපේ ඩිජිටල් වෙමින් පවතින වෙළෙඳපොළෙන්, පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා කතිකාවක් ඇති කිරීමටත්, ඒ සඳහා සූදානම් වීමත්, ඒ අනුව අපගේ පාරිභෝගිකයාගේ අයිතීන් සාධාරණ ලෙස ආරක්‍ෂා කර දීමත් ඉතා වැදගත් වෙනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (15 දා) කොළඹ ටාජ් සමූද්‍ර හෝටලයේ පැවති "සාධාරණ වෙළෙඳපොළක් බිහි කරමු " පුද්ගලික හා රාජ්‍ය අංශ සංවාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම වැඩමුළුව යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සමඟ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"මෙවර ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය, ඩිජිටල්කරණ වෙළෙඳපොළ ගැන කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. අද ලෝකය පුරා භාවිතා කරන විද්‍යුත් වාණිජ්‍ය (E - Commerce) යන සංකල්පය පදනම් කරගත් අන්තර්ජාල සන්නිවේදන තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව සමඟ ලෝකයේ සෑම රටක්ම පාහේ එකතුවී සිටිනවා. එමඟින් ඔවුන් අන්තර්ජාල වෙළෙඳ ගණුදෙනු සඳහා යොමු වී සිටිනවා. පසුගිය වර්ෂයේ ලෝකයේ විද්්‍යුත් වාණිජ්‍ය භාවිතයෙන් සිදු කළ වෙළෙඳාමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.29 (2.29 Trillion) වෙනවා. අන්තර්ජාතික ව්‍යාපාරික කළමනාකරණ වාර්තාවට අනුව විද්‍යුත් වාණිජ්‍ය ඔස්සේ සිදු කරන ගණුදෙනු සංඛ්‍යාව ෆේස්බුක් (FaceBook) මඟින් පමණක් සියයට 38%ක වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේ විද්‍යුත් වාණිජ්‍ය ඔස්සේ සිදු වන සිල්ලර වෙළෙඳාමේ ප්‍රධාන අංගයක් ලෙස ස්මාර්ට් ජංගම දුරකතන (Smart Mobile Phone) වලට ඇප් (App) බාගත කර ගැනීම විශාල ලෙස වැඩි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි Online විද්‍යුත් වාණිජ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය තුළින් (Social Media) සිදු කරන ගණුදෙනු සියයට 5%කින් වැඩි වෙලා තියෙනවා. නමුත් ලෝකයේ පාරිභෝගිකයාගෙන් සියයට 70%ක් පමණ කියන්නේ ඩිජිටල් ගෙවීම් (Digital payments)අනාරක්‍ෂිත බවයි.

ඒ වගේම 2017 වසරේ පැවති වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (UNCTAD) ප්‍රකාශයට පත්වුණ විද්‍යුත් වාණිජ්‍ය (E - Commerce) වාර්තාවට අනුව නැගෙනහිර, දකුණ හා ගිණිකොණ ආසියාවේ විද්‍යුත් වාණිජ්‍ය භාවිතා කරන රටවල් අතුරින් ශ්‍රි ලංකාව ප්‍රථම රටවල් 10 අතරට පැමිණ තිබීම විශේෂත්වයක් වෙනවා. ඒ වගේම එම වාර්තාවට අනුව ශ්‍රි ලංකාව රටවල් 144ක් අතුරින් 73 වන ස්ථානය ලබා ගෙන තිබෙනවා. නිව්යෝර්ක් නුවර STATISTICA දත්ත වාර්තාවන්ට අනුව ශ්‍රි ලංකා ජනතාවගෙන් සියයට 25% ක් ෆේස් බුක් (Face Book) ඇතුළු සියලුම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. නමුත් වර්තමාන ශ්‍රි ලංකා පාරිභෝගිකයන් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය ඉහළ මට්ටමක පැවතියත් ඔවුන් අන්තර්ජාල ගණුදෙනු සඳහා නැඹුරු වීමට මැලිකමක් දක්වන බව වාර්තා වී තිබෙනවා.

අපේ රටේ සමස්ත වාර්ෂික සිල්ලර වෙළෙඳ ගණුදෙනුවලින් සියයට 1%ක ප්‍රමාණයක් විද්‍යුත් වාණිජ්‍ය භාවිතා කරමින් සිදු කරනවා. එහි වටිනාකම රුපියල් මිලියන 3000 ක් හෙවත් කෝටි 300ක් පමණ වෙනවා. මේ අනුව විද්යුත් වාණිජ්‍ය අපේ රටේ තවමත් ප්‍රාථමික මට්ටමක පවතින අතර, බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ සහයෝගය ඉහළ මට්ටමකින් නොලැබීම මෙම අංශයේ වර්ධනයට ප්‍රධාන බාධාවක් වී තියෙනවා. ඒ වගේම විද්‍යුත් ගණුදෙනුවල තොරතුරු සුරක්‍ෂිත කිරීමට නීතිරීති නොමැති වීම නිසා පාරිභෝගිකයින් මෙම ක්ෂේත්‍රය මග හැර තිබීම දක්නට ලැබෙනවා.

මේ සඳහා ඉක්මන් නියාමනයක් අවශ්‍යයි. එනම් අන්තර්ජාල ගණුදෙනුවලදී පාරිභෝගිකයින් සුරැකීමට හා රැවටීමකට ලක් වන අවස්ථාද තිබෙන නිසා ඔවුන් ඉන් ආරක්‍ෂා කර ගැනීමට ක්‍රමවත් නීති රාමුවක අවශ්‍යතාව මෙහිදී සංවාදයට ලක්විය යුතු වෙනවා." යැයි පැවසීය.

මෙහිදී පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න, ජාත්‍යන්තර වෙළෙද මධ්‍යස්ථානයේ සම වැඩසටහන් උපදේශක ගිලෙස් චැපල් (GILES CHAPPEIL), යුරෝපා සංගමයේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක දයාරත්න සිල්වා මහත්වරුද කතා කළහ.

දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ 

අදහස්