නව නිපැයුම් ආර්ථිකයක් බිහිකිරීමට ව්‍යවසායකයන්ට දිරි දෙමු | සිළුමිණ

නව නිපැයුම් ආර්ථිකයක් බිහිකිරීමට ව්‍යවසායකයන්ට දිරි දෙමු

 ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය බඳු , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නියුතුවූවන් නගාසිටුවීම සඳහා මනා සම්බන්ධීකරණයෙන් යුක්ත ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා, ඒ ඔස්සේ දේශීය ව්‍යවසායක ප්‍රජාව බලගැන්විය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ විධායක කමිටු සාමාජික, සාර්ක් කලාපීය වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජික සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ව්‍යවසායක සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයෙකු වූ ආචාර්ය ක්‍රිෂාන්ත විසෙන්තිගේ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතිකරලීම උදෙසා වහා සිදු කළ යුත්තේ කුමක්දැයි ‘සිළුමිණ’ අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්යවරයා ඒ බව කියා සිටියේය.

ලෝකයේ ඕනෑම රටක,සමාජයක,පවුලක හෝ පුද්ගලයකුගේ හෝ ආර්ථික දියුණුව සැලසීම සඳහා ඔවුන්ගේ ආදායම් ලැබීම් වැඩි කළ යුතු බව අවධාරණය කළ ක්‍රිෂාන්ත විසෙන්තිගේ මහතා,අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නය ආදායම් ලැබීම්වල පවතින දුබලතා බව කීය.

මේ අන්දමට දුබලතාවලින් පෙළෙන ශ්‍රී ලංකාවේ අප පළමුව රටේ පුරවැසියන්ගේ පටන් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම දක්වා පියවර ගත යුතු වේ. රටේ ආදායම ඉහළ නංවා ගැනීමට නව නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙය විය යුතු අතර,හැකි තරම් අපනයන ආදායම් වැඩි කර ගැනීම සහ ආනයන වියදම් අඩු කර ගැනීම සඳහා වගබලාගත යුතුවේ.

ආනයන ආදේශන කර්මාන්ත ඉහළ නංවා, අපනයන ආදායම් වැඩි කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව බලගැන්විය යුතුය. එහිදී අලුතින්ම ව්‍යවසායක ප්‍රජාවක් බිහි කර ගැනීමට අමතරව දැනට පවතින ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට දිරිගැන්වීම් ලබාදීම අනිවාර්යෙන්ම කළ යුතුය.

අවිධිමත් ව්‍යාපාර ජාලය විධිමත් ව්‍යපාරික ජාලයක් බවට පත් කිරීම, රජයේ සේවා හා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිවැරදිව ගැනීම, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර ව්‍යාපාර පහසුවෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය වටාපිටාව සකස් කරදීම බලධාරීන් විසින් සිදු කළ යුතුව තිබේ.

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉදිරිපත් වී සිටින ව්‍යවසායකයින්ට අඩු පොලී අනුපාත හා සරල කොන්දේසි යටතේ ණය මුදල් පිරිනැමීම පමණක් දියුණු, සාර්ථක ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට ප්‍රමාණවත් නොවේ. එපමණක් නොව මෙරට ක්‍රියාත්මක බැංකු පද්ධතිය හරහා ණය මුදල් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ ද නැත.

ඒ නිසා අරමුදල් අවශ්‍ය ව්‍යවසායක ප්‍රජාවට, ඔවුන්ගේ සාර්ථක ව්‍යාපාරික සැලසුම් ගැඹුරින් අධ්‍යයනය කර සාර්ථකත්වය කරා යෑමට හැකි පිරිස් වෙත පමණක් ඉක්මනින් පහසුවෙන් ණය මුදල් ලබාදිය යුතුය. මේ ණය මුදල් ලබා ගන්නා අය තෝරාගැනීමට ව්‍යවසායක සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් බිහිකොට, ඒවායේ සේවයේ නියුතු විද්වතුන්ගේ අදහස්වලට කන්දෙමින් මේ තෝරාගැනීම සිදු කළ යුතුවේ.

ශ්‍රී ලංකා රජය මේ වන විට ව්‍යවසායකයින්ට අරමුදල් සැපැයීමට රුපියල් මිලියන 60,000ක් තරම් අතිවිශාල මුදලක් 2018 අයවැයෙන් වෙන්කොට ඇත. පොලී සහනාධාරය පමණක් රු. මිලියන 5000ක් ඉක්මවනු ඇත. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ලෙස මෙය ක්‍රියාත්මක කරනු ඇත.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවේ සහාය ලබාදීමටද ඒ හරහා මෙය මෙහෙයවීමටද පියවර ගෙන ඇත. කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශ තුනේම සහභාගීත්ව සංවර්ධනයක් ඇති කිරීම උදෙසා රජය මූලික ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අතර, ව්‍යාපාරික පහසු කිරීමට රජය මඟ හදාදිය යුතුයි.

ව්‍යවාසායක ප්‍රජාවට බලපාන කම්කරු නීති,

බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතා, ජලය, විදුලිය, මාර්ග වැනි යටිතල පහසුකම් ජාලය සැපැයීම රජය වැඩි බරක් දරා ඉටු කළ යුතුය. ව්‍යවසායකයින්ගේ ගැටලුවලට එක් සාකච්ඡා මේසයකදී පිළිතුරු ලබා දිය යුතු අතර, ඔවුන්ට වෙළෙඳ පොළ, තාක්ෂණය, දැනුම ලබාදීමට ද විධිමත් පියවර ගත යුතුය. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා නිෂ්පාදන කර්මාන්තවල වැදගත්කම අපි කථා කරමු.

ශ්‍රී ලංකාව 1978 වසරේදී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු,ජාතික ධනය ඉහළයෑම හා ජීවන තත්ත්වය යහපත් වීම තුළින් සැලකිය යුතු ආර්ථික හා සාමාජීය ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. එනමුත්, පසුගිය වසර කිහිපයෙහි ආර්ථික වර්ධන වේගය සියයට 3.0 සිට 5.0 දක්වා මට්ටමකට සීමා වී ඇති අතර, ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස අපනයන, අඛණ්ඩව අඩු වී ඇත. නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ආර්ථික වර්ධනය සඳහා ඇති දායකත්වය පහළ මට්ටමක පැවති අතර විශේෂයෙන්ම, පසුගිය දශක දෙක තුළ එම අංශයේ ප්‍රගතිය ඉතා මන්දගාමී විය. එකතු කළ අගය වැඩි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හා ඵලදායීතාව ඉහළ නැංවීමට නොහැකි වීම සහ දේශීය හා විදේශීය වෙළෙඳ පොළවල තරගකාරීත්වය පවත්වාගෙන යෑමට නිෂ්පාදන අංශයට නොහැකි වීම මෙයට හේතු විය. රටක ආර්ථික හා සාමාජීය පරිවර්තන ක්‍රියාවලියෙහිලා ප්‍රධාන ගාමක බලවේගයක් වශයෙන් ක්‍රියා කිරීමට නිෂ්පාදන අංශයට ඇති හැකියාව, ශක්තිමත් කාර්මීකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් වෙනත් රටවල් ගණනාවක්ම සාක්ෂාත් කර ගනු ලැබූ වේගවත් සංවර්ධනය මඟින් පිළිබිඹු වේ. නිෂ්පාදන කර්මාන්ත අංශයේ සංවර්ධනය, දිළිඳුකම හා ප්‍රාදේශීය විෂමතාව නැති කිරීම, ගුණාත්මක බවෙන් වැඩි රැකියා අවස්ථා ඇති කිරීම, අපනයන ආදායම වැඩි කිරීම, රටේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කර ආර්ථිකයේ ඉදිරි වර්ධනයට අවශ්‍ය ඵලදායීතා ශක්‍යතාව ඉහළ නැංවීම ආදී ඉලක්ක බො‍හෝමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා විශාල වශයෙන් උපකාරී වේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සඳහා විදේශ ආධාර, සුබසාධන හා සංක්‍රාම මත යැපීම තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති වී ඇති නිසා ඉතා කඩිනමින් නිෂ්පාදන කර්මාන්ත අංශය යළි නඟාසිටුවීම,තිරසාර සංවර්ධනයක් මුදුන් පමුණුවා ගැනීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වී ඇත. කාර්මීකරණය තුළින් සංවර්ධනය වූ රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාව, නිදහස ලබා ගැනීමෙන් පසු වාර්තා කළ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගෙන ඇත්තේ, යැපුම් කෘෂිකර්මය මත පදනම් වූ ගොවි සමාජයක සිට සේවා පදනම් කරගත් ආර්ථිකයක් දක්වා එකවර පරිවර්තනය වීම තුළිනි. මෙරට ද.දේ.නි.යෙහි ආංශික ව්‍යුහයේ පරිවර්තනය සිදු වූයේ කෘෂිකර්මාන්ත අංශය ක්‍රමයෙන් කුඩා වෙමින්, සේවා අංශයේ හා නිෂ්පාදන නොවන කර්මාන්ත අංශ (ගොඩනැගිලි ඉදිකිරීම, කැණීම් කටයුතු , විදුලිය, ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම) විශාල වශයෙන් වර්ධනය වීමෙනි. ද.දේ. නි. යේ වර්ධනය සඳහා නිෂ්පාදන අංශයේ දායකත්වය 1978 සිට අඩු මට්ටමක පැවතුණ අතර නිෂ්පාදන අංශයේ වාර්ෂික වර්ධන වේගය පසුගිය වසර 15 තුළ දී බොහෝවිට ද.දේ. නි.යේ වර්ධන වේගයට වඩා පහළ මට්මක පැවතිණ. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ වාර්තා කළ ද.දේ. නි. යෙහි වර්ධනය, ප්‍රධාන වශයෙන් ජනිත වූයේ සේවා හා ගොඩනැගිලි ඉදිකිරීම වැනි අන්තර්ජාතික වෙළෙඳාමට භාජනය නොවන අංශ තුළිනි. එහි ප්‍රතිඵල හා දේශීය ආර්ථිකයේ ප්‍රමාණයෙහි සීමාසහිත බවද හේතුකරගෙන, පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ ආර්ථික වර්ධන වේගය සියයට 3.0 සිට 5.0 දක්වා අඩු මට්ටමකට සීමා විය.

1978 දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු නිෂ්පාදන අංශය දියුණු කිරීමට විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇත. එසේ දියක් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට, 1978 දී අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවීම, අපනයන සැකසුම් කලාප පිහිටුවීම , රජය සතු කර්මාන්ත ආයතන පෞද්ගලීකරණය කිරීම, 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත යටතේ 1991 දී කාර්මීකරණ කොමිසමක් ස්ථාපනය කිරීම, 1990 දශකය තුළ දී ඇඟලුම් කම්හල් 200 ක් පිහිටුවීමේ ව්‍යාපාරයක් දියත් කිරීම, 1995 දී කාර්මීකරණ ප්‍රතිපත්ති ලේඛනයක් නිවේදනය කිරීම, “1997 – 2006 ඵලදායීතා දශකය” යන වැඩසටහන දියත් කිරීම, 2015 දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීම යනාදිය ඇතුළත් වේ. නමුත් එම ප්‍රතිපත්ති තුළින් මෑත කාලයේදී මෙරට කර්මාන්තවලට දේශීය හා විදේශීය වෙ‍‍ෙළඳ පොළ තුළ තරගකාරීත්වය පවත්වාගෙන යෑමට සුවිශේෂී දායකත්වයක් නොලැබුණු අතර, කාර්මික නිෂ්පාදන කටයුතු, ඇඟලුම්, ආහාර ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙකුත් ශ්‍රමය අධික සහ තාක්ෂණ උපයෝජනය අඩු නිෂ්පාදනවලට බොහෝදුරට සීමා විය. විශේෂයෙන්ම, 2000 වසරෙන් පසුව ද.දේ.නි.යේ වර්ධනය සඳහා නිෂ්පාදන අංශයේ දායක්තවය අඩු වූයේ ඇඟලුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් අඩු ශ්‍රම පිරිවැය තුළින් ශ්‍රී ලංකාවට ඇති සාපේක්ෂ වාසිය, ඊටත් වඩා අඩු ශ්‍රම පිරිවැය ඇති රටවල්වලට විතැන් වූ බැවිනි. මෙම අභියෝග, බහු කෙඳි ගිවිසුම (Multifibre Agreement) හා විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP+) අහිමිවීමත් සමඟ වඩා තීව්‍ර විය.

ශ්‍රී ලංකාවේ සෑම රජයක් විසින්ම කර්මාන්තශාලා නිපැයුම් වැඩි කිරීම සඳහා විවිධ ක්‍රමෝපායයන් දියත්කොට ඇත. මෑතක දී, කාර්මික කලාප රැසක් විවිධ පළාත්වල ද, නව අධිවේගී මාර්ග ආශ්‍රිතව ද, හම්බන්තොට හා ත්‍රිකුණාමල වරායන් ආශ්‍රිතව ද ස්ථාපනය කිරීමට සැලසුම් සකසා ඇත. මෙම සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පර්යේෂණ හැකියා වැඩිදියුණු කිරීම, ශ්‍රම බළකායේ හැකියා වර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම ආදිය සඳහා පිහිටුවා ඇති විවිධ රාජ්‍ය ආයතන මඟින් සකසා ඇති අනෙකුත් සැලසුම් ද සමඟ එක් වී, විදේශීය සෘජු ආ‍යෝජන ලබාගෙන, කර්මාන්තශාලා නිපැයුම් වැඩි කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු විය හැකිය. ඒ අතරම, සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති උපායමාර්ගවල වැදගත්කම වටහා ගෙන, රජය විසින් සමස්ත සංවර්ධන උපාය මාර්ගයක් සකස් කොට, වෙ‍ෙළඳ කටයුතු සහ අපනයන ප්‍රතිපත්ති සකස් කිරීමෙහි ද නියුක්ත වී සිටී. එනමුත් නිෂ්පාදන කටයුතු වර්ධනය කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන දරන විවිධ ප්‍රයත්න ඒකරාශීකොට රටේ සංවර්ධන ප්‍රතිප්තතියට ගළපා, නිෂ්පාදන අංශයට නිසි මූලිකත්වයක් ලබාදෙමින් එම අංශයේ ව්‍යුහාත්මක ගැටලුවලට විසඳුම් සපයන පුළුල් නිෂ්පාදන අංශ සංවර්ධන උපාය මාර්ගයක් සඳහා තවමත් අවධානය යොමු වී නොමැත. එම නිසා එවන් උපායමාර්ගයක් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.

ශ්‍රී ලංකාවේ සමස්ත කාර්මික නිෂ්පාදන අංශය යළි නඟාසිටුවීම සඳහා නිෂ්පාදන අංශය සංවර්ධනය කිරීමේ එක් ප්‍රායෝගික උපාය මාර්ගයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වය ඇතිව සකස් කළ හා පැහැදිලිව කෙටුම්පත් කළ නිෂ්පාදන අංශ සංවර්ධන ප්‍රතිපත්තියක්, දේශීය හා විදේශීය ආයෝජකයන්ට දිගුකාලීන දැක්මක් ලබාදීම සඳහා රජයට උපයෝගී කර ගත හැකි උපාය මාර්ගයක් වනු ඇත. එම නිෂ්පාදන අංශ සංවර්ධන උපාය මාර්ගය රටේ සංවර්ධන සමස්ත ප්‍රතිපත්තියේ කොටසක් විය යුතුය. අන්තර්ජාතික වෙළඳාම් හා අපනයන උපාය මාර්ග, එම නිෂ්පාදන අංශ සංවර්ධන උපාය මාර්ගයේ උපාංග විය යුතු අතර, එම සංවර්ධන ක්‍රියාදාමය අන්තර්ජාතික වෙළඳාම ශක්තිමත් කරනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය වේගවත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කාර්මික නිෂ්පාදන අංශ සංවර්ධන උපායා මර්ගය තුළ කර්මාන්ත අංශයට කෘෂිකාර්මික හා සේවා අංශ සමඟ ඇති සහසම්බන්ධතාවය ද අවධානයට ලක් කළ යුතුව ඇත. විශේෂයෙන්ම, කෘෂි අංශයේ ඵලදායීතා වර්ධනය, එම අංශයේ ඌන උපයෝජනයට ලක්ව ඇති ශ්‍රමය කර්මාන්ත අංශයට විතැන් කිරීම තුළින් පමණක් නොව ජනතාවගේ සමස්ත ආදායමෙන් ආහාර සඳහා වන වියදම අඩු කොට, අනෙකුත් භාණ්ඩ සඳහා වැය කිරීමට හැකි මූර්ත ආදායම වැඩි කර, නිෂ්පාදන භාණ්ඩ සඳහා දේශීය ඉල්ලුම වැඩි කිරීම තුළින් ද, කර්මාන්ත අංශයේ වර්ධනය මත බලපෑමක් ඇති කරයි.

නිෂ්පාදන අංශය සංවර්ධනය කිරීමේ උපාය මාර්ගය තුළින් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ අවශ්‍යතා වෙන් වශයෙන් හඳුනාගෙන කටයුතු කළ යුතුය. ඒ සමඟම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවල එකිනෙකට වෙනස් අවශ්‍යතා වෙන් වශයෙන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කළ යුතුය. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීමත්, අයවැය හිඟය නිසා රජයේ මැදිහත්වීම අවම මට්ටමක පවත්වා ගැනීමත් නිසා කර්මාන්ත අංශය නංවාලීමට විදේශීය ආයෝජන ලබා ගැනීම ඉතා වැදගත් වේ. විදේශීය සෘජු ආයෝජන ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට ද රුකුලක් වේ. ශ්‍රී ලංකාවට නිෂ්පාදන හැකියාව දියුණු කර ගැනීමට උත්සාහ දරන, තාක්ෂණයෙන් අධික, ඉහළ එකතු කළ අගයක් සහිත භාණ්ඩ වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ විවිධ රටවල ස්ථාපනය වන ගෝලීය අගයදාම තුළින් ය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත අංශය වර්ධනය නොවන නමුත්, ව්‍යාපාරවලින් ඉවත් නොවන සුළු පරිමාණ කර්මාන්තායතන අතිවිශාල සංඛ්‍යාවකින් සෑදී තිබීම, ශ්‍රමය හා අනෙකුත් සම්පත් ඵලදායීතාවයෙන් අඩු ක්‍රියාකාරකම්වල රඳවා තැබීමට හේතුවන බව ලෝක බැංකුව විසින් කර ඇති අධ්‍යයනයකින් පේනවා දී ඇත. වර්ධන නොවන කුඩා ව්‍යවසායයන්, වඩා විශාල කර්මාන්ත මෙන් භාණ්ඩ හා ක්‍රියාකාරකම් සම්බන්ධ නවෝත්පාදනයක නිරත නොවන නිසා හා ගුණාත්මක බවින් වැඩි රැකියා අවස්ථා ඇති නොකරන නිසා, රටේ දිගුකාලීන ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා දායක නොවේ. මෙම අධ්‍යයනය මඟින්, ශ්‍රී ලංකාවේ ව්‍යවසායයන්ගෙන් සියයට 76.0 ක් ම සේවකයින් 19 දෙනෙකුට වඩා අඩු පිරිසකගෙන් සැදුම්ලත් ව්‍යවසායයන් බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙම අගය ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, පාකිස්ථානය, පිලිපීනය හා වියට්නාමය වැනි රටවල්වලට වඩා විශාල වන බව පෙන්වා දෙයි. තවද, ශ්‍රී ලංකාවේ අවුරුදු 25කට වඩා පැරණි ව්‍යවසායවල පරිණතවීම හා වර්ධනය, අවුරුදු 5කට පෙර ආරම්භ කළ ව්‍යවසාය (එනම්, පැරණි නොවන) සමඟ සසඳන විට, එම පැරණි ව්‍යවසායවල, නව ව්‍යවසායවලට වඩා සියයට 50.0ත් 90.0ත් අතර තරම් සුළු ප්‍රමාණයකින් විශාල බවද මෙම අධ්‍යනය මඟින් ඇස්තමේන්තු කරන අතර, සංවර්ධිත රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතන, කාලයත් සමඟ පරිණත / විශාල වීම ඉතා අවම බව සඳහන් කරයි. සාමාන්‍යයෙන් විශාල ආයතන, පරිමාණානුකූල පිරිමැසුම්, අරමුදල් ලබාගැනීමට ඇති හැකියාව වැඩිවීම, වඩා හොඳ කළමනාකරුවන් සොයාගැනීමට ඇති හැකියාව, වෙළෙඳ පොළ සොයාගැනීමට වඩා විශාල සම්බන්ධතා ජාල පවත්වාගෙන යෑම, විස්තරාත්මක වාර්තා හා ගිනුම් තබා ගැනීම නිසා වඩා සාර්ථක උපාය මාර්ග සැකසීමට හැකිවීම වැනි හේතු නිසා කුඩා ආයතනවලට වඩා ඵලදායී වෙයි. එමනිසා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවලට වර්ධනය වීමට ඇති බාධක, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මඟින් ඉවත් කිරීම වැදගත් ය. ඒ සඳහා ප්‍රාග්ධන අරමුදල් ලබාගැනීමට ඇති බාධක ඉවත් කිරීම භෞතික ඇපකර වෙනුවට ව්‍යාපෘති ශක්‍යතාව අනුව ණය දීම සඳහා මූල්‍ය ආයතන දිරිගැන්වීම, සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ඇති රෙගුලාසි වෙනස් කිරීම, ව්‍යාපාරවල ගිණුම් හා වාර්තා තබාගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම අධෛර්ය කරවන බදු තාර්කීකරණය කිරීම ආදී ක්‍රියාමාර්ග වැදගත් වෙයි.

පර්යේෂණ හා සංවර්ධන ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අතර ශක්තිමත් සහයෝගීතාවයක් පවත්වාගෙන යෑම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල පර්යේෂණ අවශ්‍යතා මෙම ආයතනවලට දැනුම් දී, පර්යේෂණ සොයා ගැනීම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල වැඩිදියුණුව සඳහා භාවිතා කිරීමේ සඵලදායී හා කාර්යක්ෂම ක්‍රමවේද දියත් කිරීම ද වැදගත්ය. තවද, ශ්‍රී ලංකාව සතු ස්වාභාවික සම්පත් බොහෝමයක් අමුද්‍රව්‍ය ලෙස හෝ අවම අගයක් එකතු කළ භාණ්ඩ ලෙස දැනට අපනයන කෙරෙන බැවින්, ඖෂධ පැළෑටි, ඛනිජ සම්පත් ඇතුළු ස්වාභාවික සම්පත් යොදාගෙන ඉහළ එකතු කළ අගයක් ඇති භාණ්ඩ නිපදවීම පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන ආයතන උත්සුක විය යුතුය. කුඩා පරිමාණ ව්‍යාපාර ආයතන, විශාල කර්මාන්තවලට පරිවර්තනය වන තෙක් අඩු මිලකින් යුත් ආනයනවලින් ඇති වන තරගකාරීත්වයෙන් ආරක්ෂා කිරීම ද අවශ්‍ය වේ.

ජයසිරි මුණසිංහ

අදහස්