දෙස් විදෙස් හොඳ හිත සමඟ නව ආර්ථීක මොඩලයකට අරඅඳී | සිළුමිණ

දෙස් විදෙස් හොඳ හිත සමඟ නව ආර්ථීක මොඩලයකට අරඅඳී

 පසුගිය සති කිහිපය තිස්සේ ජාතික ආර්ථීකයට එල්ල වු සෘණාත්මක බලපෑම්වලට යම් අස්වැසිල්ලක් ලබා දෙන්නට පසුගිය සිකුරාදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමිබන්ධයෙන් නිකුත් කළ ස්වකිය නවතම නිවේදනය සමත් විය. මේ අතරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ජපාන සංචාරය දෙසට දෙස් විදෙස් ආර්ථීක ඇස යොමුව තිබිණි.

අදාළ නිවේදනයේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ වැඩි වර්ධනය වු දේශපාලන අස්ථාවරත්වය හා ආර්ථීක ප්‍රතිපත්තිමය විෂමතා පිළිබඳව මෙන්ම මහනුවර ආශ්‍රිතව සිදු වු ව්‍යාජ ජාතිවාදි නැගිටීම් සම්බන්ධයෙන් ජාතික ආර්ථීකයට එල්ල විය හැකි බලපැම් පිළිබඳව කිසිදු සඳහනක් දැක්වුයේ නොමැති වුවද මේ වසරේ මෙරට ආර්ථීකය සියයට 4.4 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කර තිබිණි. කෙසේ වෙතත් මහ බැංකුවේ මේ වසරේ අපේක්ෂාව වන්නේ සියයට 5-5.5 අතරේ වු වර්ධනයකි.

මේ අතරේ සිදු වු සිද්ධි පදනම් කර මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වු බාධක සැලකිල්ලට ගෙන මේ වසරේ සංචාරක පුරෝකථන නැවත සංශෝධනය කරන්නට හා සංචාරක කර්මාන්තය පිළිබඳව විදෙස් ප්‍රතරූපය යළි නගා සිටුවිමටද රජයේ සංචාරක බලධාරිහු මේ අතරේ පියවර ගනු පෙනිණි.

කෙසේවෙතත් මුල්‍ය අරමුදලේ යමි නිර්දේශයන් පටහැනි තත්ත්වයන් දක්වමින් මේ වන විට මන්දගාමිව පවත්නා ආර්ථීක වෘද්ධි අගය ඉහළ නංවා ආර්ථීකයේ පුර්ණ විභවතා අත්පත් කර ගැනිමට නම් කේන්සියානු ආර්ථීක මොඩලයක් අනුගමනය කළ යුතු බව රටේ ඇතැම් බලගතු ආර්ථීක විශාරදයන්ගේ මතය වි ඇත.මොවුන් වැඩිදුරටක් පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ නිර්දේශ බදු බර වැඩිකරන උද්ධමනකාරි ඒවා බවත් එමගින් රටේ පුර්ණ ආර්ථීක විභවතාවය අඩාල කරන බවත්ය. එය ලොව බොහෝ මුල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරන රටවල අනිවාර්ය සාධකයක් බවද ඔවුහු කිහ.

මේ අනුව මෙම ලියුම්කරු සමඟ එම විශේෂඥයන් අවධාරනය කර සිටියේ ලබන මස 1 දා සිට ක්‍රියාත්මක විමට නියමිත නව දේශිය ආදායම් පණතට යම් සංශෝධන සිදු කළ යුතුව ඇති බවයි. ඒ අනුව සෙඛ්‍ය හා විදුලි සංදේශ සේවා ආශ්‍රිතව පනවා ඇති අධික බදු බර අවම කිරිමට යම් සංශෝධන සිදු කළ යුතු බව ඔවුහු අවධාරණය කරති. එසේම මුල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි යෝජිත ඉන්ධන හා විදුලි අංශ සඳහා මිල සුත්‍ර ගෙන ඒමට කටයුතු කරමින් තිබුණ ද උද්ධමනකාරි එවැනි පියවරය ක්‍රියාත්මක කිරිමට මෙය කාලය නොවන බවද ඔවුහු කල්පනා කරති.

මේ අතරේ රජයේ තවත් ප්‍රධාන ආර්ථීක බලධාරින් පිරිසක් පවසා සිටියේ කවුරු කෙසේ විරුද්ධ වුවද පසුගිය අය-වැයෙන් හඳුන්වා දුන් ආර්ථීක ලිහිල්කරණ ක්‍රියාමාර්ග ඉදිරියටත් එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිවේදනය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දුත මණ්ඩලය හතරවන වගන්තිය යටතේ 2018 වසර සඳහා වු ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා නිමාවට පත් කළ අතර ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනය කරමින් නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේය.

හතරවන වගන්තිය යටතේ වන උපදේශනය පිළිබඳව 2018 වසර සඳහා සාකච්ඡා පැවැත්වීමට සහ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ශ්‍රී ලංකා බලධාරීන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි හතරවන සමාලෝචනයේ තාක්ෂණික කාර්යයන් ඉදිරියට කරගෙන යෑම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය‍ගේ ප්‍රධානත්වයෙන් යුතු ජා.මූ. අරමුදලේ නිලධාරි කණ්ඩායමක් පෙබරවාරි 27-මාර්තු 09 කාලය තුළදී කොළඹ සංචාරය කළේය. අප්‍රේල් මාසයේ දී වොෂිංටන් නුවර පැවැත්වෙන ජා.මූ. අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම්වලට සමගාමීව මෙම වැඩසටහන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත. මෙම යෝජිත සාකච්ඡා ප්‍රතිඵල අනුව පසුගිය වසරේ දෙසැම්බර් දක්වා වු විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ශ්‍රී ලංකා බලධාරීන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි මුලික නිර්නායක සපුරාලීම පදනම්ව මීළඟ හෙවත් පස්වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 250 කට අධික මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරිමට ජා.මූ. අරමුදලේ බලධාරින් බලාපොරොත්තු වේ.

කෙසේවෙතත්, මහ බැංකු බලධාරින් මෙම ලියුම්කරු සමඟ පවසා සිටියේ ශ්‍රී ලංකාව පසුගිය දෙසැම්බර් කාර්තුවේ මුල්‍ය අරමුදලේ සියලුම මුලික නිර්ණායක සපුරා ඇති බැවින් අදාළ ණය වාරිකය මුදා හැරිමට ඇති බාධක අවම තත්ත්වයක පවතින බවයි.

2017 වසරේ කාලගුණික හේතු නිසා ඇති වූ කම්පන ගණනාවකින් අනතුරුව ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතීන බව මුල්‍ය අරමුදලේ නිරික්ෂණයයි. කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශ යථා තත්ත්වයට පත්වීම සහ සේවා අංශයෙහි හිතකර වර්ධනය හේතුකොට ගෙන 2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.යේ) වර්ධනය සියයට 4.4 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරෙන අතර, එය මැදි කාලයේ දී සියයට 5 ක් දක්වා ළඟා වෙතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් මෙය මහ බැංකුව මෙම වසර සඳහා දැනට අපේක්ෂා කර ඇති සියයට 5-5.5 තත්ත්වයට වඩා බෙහෙවින් අඩු තත්ත්වයකි. ආහාර මිල ගණන් ස්ථායී වීමත් සමඟ 2018 වසර අවසානය වන විට උද්ධමනය සියයට 5 ක් දක්වා අඩු වේ යැයි පුරෝකථනය කෙරේ.

ප්‍රතිසංස්කරණවල අවදානම් තත්ත්වය

කාලගුණය ආශ්‍රිත කම්පන තත්ත්ව සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ යම් ප්‍රමාදයක් හමුවේ වුව ද, වැඩසටහනෙහි කාර්ය සාධනය නියමිත ලෙස සිදු වෙමින් පවතීන බව ඔවුනගේ නිරික්ෂණයයි. නව දේශීය ආදායම් පනත සහ උද්ධමන ඉලක්කකරණය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්ම තීරණාත්මක ප්‍රතිසංස්කරණ වන බව කියන අරමුදල ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඉදිරි ප්‍රගතිය සඳහා ඉතා වැදගත් වන බවද අවධාරණය කරයි. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, මූලික දත්ත සලකා බැලීමේදී ප්‍රාථමික ශේෂය 2017 වසර සඳහා අතිරික්තයක් පෙන්නුම් කරයි. මෑත කාලීන පීඩන හමුවේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව, සංචිත රැස් කිරීමේ වේගය ඉහළ නංවන අතරතුර, ණය වර්ධනය අඩු කිරීමට සහ උද්ධමනය ස්ථායී කිරීමට සමත් වී ඇති බවද කියයි.

කෙසේ වුවත්, රාජ්‍ය ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම සහ බාහිර ආරක්ෂණ (external buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් තවදුරටත් ආර්ථිකය අහිතකර කම්පනවල අවදානමට ලක් වෙමින් පවතින බවට ඔවුහු අනතුරු අඟවති. ඉදිරි දැක්ම පිළිබඳව සැලකීමේදී, ඉතා අපහසුවෙන් අත්කර ගන්නා ලද මෙම වාසි සහගත තත්ත්වය සහ සාර්ව සහභාගිත්වයක් සහිත තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යා යුතු අතර, ප්‍රතිපත්ති රාමු සහ ආයතන වඩාත් ශක්තිමත් කළ යුතු වේ.

ආයතන ශක්තිමත් කිරීම

මෙම පසුබිම හමුවේ, ව්‍යුහාත්මක, සාර්ව ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාවට කඩිනම් සහ සර්ව සහභාගිත්වයක් සහිත වර්ධනයක් අත්කර ගැනීම සඳහා සහාය වීමට ‘2025 දැක්ම’ උපායමාර්ගය ඉදිරියට ගෙන යෑමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව මුල්‍ය අරමුදලේ නිර්දේශයයි. මෙහි ප්‍රඛතා ලෙස: (i) ආදායම් එක්රැස් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වඩාත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය නීති (fiscal rule) වඩාත් ශක්තිමත් කිරීම සහ රජය සතු ව්‍යසායවල පාලනය ශක්තිමත් කිරීම, (ii) මුදල්, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති රාමු නවීකරණය කිරීම, සහ (iii) වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම ඇතුළත් වේ.

i. වඩාත් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සහ රජය සතු ව්‍යවසායයන්හි පාලනය හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රාතාව කරා ළඟා වීම

රාජ්‍ය ණය ප්‍රමාණය පහත හෙළන අතර, රාජ්‍ය ආයෝජන සහ සමාජ සේවා සඳහා වූ වියදම් සිදු කිරීමට අවස්ථාව පවත්වා ගැනීමට ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩපිළිවෙළෙහි ප්‍රගතිය උපකාරී වී ඇත. 2018 වසර සඳහා ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සහ 2020 වසර වන විට අයවැය හිඟය ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 දක්වා අඩු කර ගැනීමට තවදුරටත් ආදායම් ඒකරාශී කිරීම අත්‍යවශ්‍ය වේ. වඩාත් සරල වූ සහ වඩාත් සාධාරණ වූ බදු ක්‍රමයක් ඇති කිරීම සඳහා නව දේශීය ආදායම් පනත සම්මත වීම විශාල ජයග්‍රයහණයක් වන අතර, එය බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීම තීරණාත්මක වනු ඇත. රාජ්‍ය ආයෝජනවල සහ සමාජ ආරක්ෂණ ජාලවල කාර්යක්ෂමතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ද අවකාශ පවතී.

රජය සතු ව්‍යවසාය තුළ රජයේ මූල්‍ය සඳහා වන අවදානම අඩු කිරීමට බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ මූලික වේ. ඉලක්කගත සමාජ සංක්‍රාම වැඩසටහන්වල ආධාරයෙන්, මෙම ප්‍රතිසංස්කරණ මගින් සිදු විය හැකි බලපෑම් අවම කර ගැනීමට හැකි වනු ඇත. රජය සතු ව්‍යවසායවල විගණනය කරන ලද මූල්‍ය වාර්තා නිසි ‍කාලයට පළ කිරීමත්, මෑත කාලයේදී හඳුන්වා දුන් ආයතනික අභිප්‍රාය ප්‍රකාශනයන් යටතේ සිදුවන කාර්ය සාධනය ක්‍රමවත්ව විමර්ශනය කිරීමත් මගින් ද රජය සතු ව්‍යවසායයන්ගේ පාලනය හා විනිවිදභාවය වැඩි දියුණු වේ.

ii.මුදල්, මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්ති රාමු නවීකරණය කිරීම

මිල කම්පන හා වෙළඳපොළ විචලන හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලීව කළමනාකරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රධානතම අරමුණු ලෙස මිල ස්ථායීතාව රැක ගැනීමට තවදුරටත් කටයුතු කළ යුතු අතර, ඉල්ලුම් පාදක කරගත් උද්ධමන පීඩනයක හෝ කඩිනම් ණය වර්ධනයක ලක්ෂණ පවතී නම් හෝ දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටිය යුතුය. විදේශීය අංශයේ යහපත් ප්‍රවණතාව සංචිත ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන අතර, ප්‍රාග්ධන ප්‍රවාහ උච්චාවචනය වීම හමුවේ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම මූලික ආරක්ෂිත උපාය වේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණයක් කරා යන පෙර දැක්මේ අංගයක් ලෙස, මුදල් නීති පනත සඳහා සිදු කිරීමට සැලසුම් කර ඇති සංශෝධන ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියා පටිපාටිය, පාලනය හා ස්වාධීනත්වය තවදුරටත් වර්ධනය කිරීමේ ප්‍රධාන කඩඉමක් වේ.

මූල්‍ය අංශයේ පද්ධතිමය අවදානම් පිළිබඳව බලධාරීන් නිරන්තර විමසිලිමත්භාවයකින් කටයුතු කළ යුතුය. අධික ණය වර්ධනය සීමා කිරීම සඳහා, අවශ්‍ය වේ නම්, අනෙකුත් සාර්ව ආර්ථික විචක්ෂණ උපකරණ භාවිතා කිරීම සලකා බැලිය හැකිය. බැංකු අංශය බාසල් III අවශ්‍යතා සපුරාලීම සඳහා නිසි පරිදි කටයුතු කරන අතර, ඇති විය හැකි අනපේක්ෂිත අහිතකර කම්පන සඳහා සාර්ථකව මුහුණදීමට හදිසි-අවස්ථා සැලැස්මක් සකස් කරගත යුතුව ඇත. බැංකු නොවන මූල්‍ය ආයතන ද බැංකුවලට සමාන මට්ටමකින් අධීක්ෂණයට ලක් විය යුතු අතර, ගැටලු සහිත ආයතන සම්බන්ධයෙන් නොපමාව විසඳුම් ලබා දිය යුතුය.

iii.සර්ව සහභාගිත්වයක් සහිත වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්යූවහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම

‘2025 දැක්ම’ යටතේ බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ, සර්ව සහභාගිත්වයක් සහිත ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් වේ. තීරු බදු, තීරු බදු-නොවන අනෙකුත් ගාස්තු (para tariff) සහ බදු නොවන අනෙකුත් බාධක ප්‍රතිසංස්කරණය කිරීම සහ සමීප කලාපීය ඒකාබද්ධතාව ඉහළ නැංවීම හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාකාරී වෙෙළඳ ප්‍රතිපත්තිය, ක්‍රමයෙන් ලිහිල් කිරීම කෙරෙහි යොමු විය යුතුය. නව දේශීය ආදායම් බදු පනත ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සහ විදේශීය සෘජු ආයෝජන සඳහා එක් ස්ථානයකින් සේවා ලබාදීම (one-stop-shop)මගින් රටේ ආයෝජන සඳහා යහපත් වටපිටාවක් නිර්මාණය වනු ඇත. දූෂණය හා නාස්තිය පිටු දැකීම සඳහා රජයේ හා රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය විනිවදභාවයකින් යුතුව සිදු කිරීම මෙන්ම, මුදල්-විශුද්ධිකරණ වැළැක්වීම්/ත්‍රස්තවාදී කටයුතු මූල්‍යනය වැළැක්වීම් (AML/CFT)ශක්තිමත් ක්‍රමයක් ද ඇති කිරීමට ප්‍රයත්න දැරිය යුතුව ඇත.

ජනපතිගේ ජපාන සංචාරය

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේ දී හැකි සෑම අවස්ථාවකම ණය නොවන අධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජපාන අග්‍රාමාතය ෂින්සෝ අබේ මහතා පවසා ඇත. ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව පසුගිය 14 දා පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ජපානය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවට ද මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය. එහිදී වරාය සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර, දැනටමත් කොළඹ සහ ත්‍රිකුකුණාමල වරායේ සංවර්ධනය සදහා ජපාන රජය විසින් ලබාදෙන සහය පිළිබදව ද සාකච්ජාවට ලක්විය. ශ්‍රි ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග්‍රාමාත්‍යවරයා අධිවේගි මාර්ග පද්ධතියේ ඉදිකිරීම සඳහා ද සහය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙ අතරේ 13දා දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ක්ෂේත්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා රැසක් අද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිදී පවසා ඇත.

සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවත් එහිදි ජපාන ශ්‍රී ලංකා ආධාරක ප්‍රජාව හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත. රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළ හැකි හා ඔවුන්ට ස්වෝත්සාහයෙන් නැඟී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහාය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යයම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බවද කියා සිටියේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහාය වීමටද මෙහිදී ජයිකා සභාපතිවරයා කැමැත්ත පළ කර ඇත.

කොළඹ වරායේ ත්‍රිපුද්ගල එකමුතුව

ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත එකිනෙකට අවබෝධයෙන් හා සාමුහිකව කටයුතු කිරිම සඳහා සාමුහික ගිවිසුමකට අත්සන් කිරිමද ගෙවිගිය සතියේ සිදු විය.

ජය බහලුම් පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී.අයි.සී.ටී හෙවත් Colombo International Container Terminals පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී කැප්රියෝනා ජයසුන්දර, එස්.ඒ.ජී.ටී හෙවත් South Asia Gateway Terminalsහි මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්ම මහත්මීහු ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්යක මහින්ද සමරසිංහ, අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන් රැසක් හා ප්‍රධාන පෙළේ නැව් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

මුදිත ගමගේ

අදහස්