සිංහල අලුත් අවුරුද්දේ ඇත්ත අරුත කිම? | සිළුමිණ

සිංහල අලුත් අවුරුද්දේ ඇත්ත අරුත කිම?

 කපුටු හඬ පරයා කොවුල් නද නැඟෙන විට සිංහල අලුත් අවුරුද්ද සිහි වේ. සිංහල අලුත් අවුරුද්දේ පදනම ජ්‍යොතිෂය යි. කට වහරෙහි එන හැටියට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන මොහොත අලුත් අවුරුදු උදාවයි. නක්ෂත්‍ර විද්‍යාවේ ගණනය කිරීම් පරිදි සූර්යයා පසුගිය මාර්තු 21 දා මේෂ රාශියට පැමිණියේ ය.

එසේ නම් සිංහල අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ එදින නොවේ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක. බටහිර නක්ෂත්‍ර විද්‍යාව සහ බටහිර සායන ජ්‍යොතිෂය එකම ගණිත ක්‍රමයක් මත පදනම් වේ. තාරකා විද්‍යාව අනුව මාර්තු 21 දා සූර්යයා මේෂ රාශියට පැමිණි බව සැබෑය. එහෙත් සිංහලයා, අප්‍රේල් 14 දා හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන්නේ යැයි කියයි. මීට හේතුව වන්නේ අපරදිගට වඩා පෙරදිග ගණනය කිරීම් අංශක 23ක් පසුපසින් පිහිටීමයි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සිංහල අලුත් අවුරුද්දේ සැබෑ පදනම නො වන්නේ යැයි අප කීවොත් එය විවාදයට කරුණක් වනු ඇත. එහෙත් ඇත්ත කතාව එයයි. හෙළයා සතුව පැවති ඉතා දියුණු ජ්‍යොතිෂ ගණිත ක්‍රමයක් පිළිබඳ තොරතුරු පැරණි පොත පතෙහි ද පුරාවෘත්ත හා ජනප්‍රවාදයෙහි ද හමුවේ.

ඒ අනුව හෙළ ජ්‍යොතිෂයේ දී නැකත් 27ක් පදනම් කර ගත්තේය. මේෂ , වෘෂභ ආදී වශයෙන් කියන රාශි චක්‍රයක් එකල භාවිතයට ගැනුණේ නැත. නැකත් 27 පදනම් කොටගෙන ගොඩනැගී තිබූ එම පැරණි ජ්‍යොතිෂ ක්‍රමයේදී රවි, සඳු, කුජ, බුධ ආදී ග්‍රහයන්ට වඩා එම ග්‍රහයන් පිහිටන ස්ථානය මත සුබ අසුබ තීරණය වන්නේ යැයි විශ්වාස කෙරේ.

සිංහල අලුත් අවුරුද්ද පදනම් වූයේ එම සිද්ධාන්තය මතමය. එනම් රේවතී නැකතේ සිට අස්විද නැකතට සූර්යයා පැමිණීම අලුත් අවුරුද්දක උදාව ලෙස ඔවුහූ සැලකූහ. මීට පදනම් වූ ගණිත සිද්ධාන්තය මෙසේය. අස්විද, බෙරණ, කැති ආදී වශයෙන් පෘථිවියට ඉහළින් ඉතා සුවිශේෂ තරු රටාවක් අංශක 360ක් පුරා විහිදී පවතී.

මෙහි අංශක 0 ආරම්භ වන්නේ අස්විද නැකතෙනි. අවසාන අංශක 360 කෙළවර වන්නේ රේවතී නැකතෙනි. සූර්යයා මෙසේ නැකතෙන් නැකතට ගමන් කොට යළි ආරම්භක ස්ථානය වූ අස්විද නැකතේ අංශක 0ට පැමිණීම අලුත් ආරම්භයකි. එය ආදි හෙළයෝ තම අලුත් අවුරුද්ද ලෙස ගත්තෝය.

අස්විද නැකත පටන් ගන්නා අංශක 0 ස්ථානගත වන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළ අහසේය. මෙය නූතන තාරකා විද්‍යාව අනුවද තහවුරු වූ සත්‍යය කි. සෑම වසරකම අප්‍රේල් 14 දා සූර්යයා රේවතී නැකතේ සිට අස්විද නැකතට ගමන් කරයි. මෙදින හිරු එක එල්ලේම ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වේ. මනු නම් නරපතියෙක් මන්නාරමේ සිට හෙළදිව පාලනය කළ බවත් සූර්යයා අස්විද නැකැතට පිවිසෙන ප්‍රදේශය ආශ්‍රිතව තම රාජධානිය පිහිටුවා ගත් බවත් පුරාවෘත්තයන්හි සඳහන්ය.

සිංහල අලුත් අවුරුද්ද ඔංචිලි පදින සෙල්ලම් කෙළියක්වත් කා බී නටා ගී ගයන සැණකෙළියක්වත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැකැත් කෙළියකි. එසේ කියන්නේ ඇයි? අස්විද නැකත පිහිටි ප්‍රදේශය තේජෝ බලයෙන් අධිකය. එයින් නියෝජනය වන්නේ ප්‍රඥාවය. සූර්යයා විශ්වීය ප්‍රඥාව විහිදුවයි. එහි බලය කේන්ද්‍රගත වූ විශේෂ ස්ථානයක් ලෙස අස්විද නැකත් බල ප්‍රදේශය සඳහන් වේ. විශ්වය හා ජීවය ආරම්භ වන්නේ තේජෝ බලයෙන් බව පෙර අපර දෙදිගම එන පොදු පිළිගැනීම යි.

පෙර හෙළයා තම අලුත් අවුරුද්ද ලෙස අප්‍රේල් 14 දා තෝරා ගන්නට මේ විශ්ව සිද්ධාන්තය ද බලපෑවා වන්නට පුළුවන. අනෙක් අතට හරියටම මෙදින ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වීම ද එම දිනය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වන්නට ඇත. පැරණි හා නූතන නක්ෂත්‍ර ගණනය කිරීම් පරිදි පුදුමයකට මෙන් අස්විද නැකතේ අංශක 0 ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළින් කේන්ද්‍රගතව තිබීම ද හිරු එම අස්විද නැකතේ අංශක 0ට පිවිසීම නව උදාවක්, අලුත් ආරම්භයක් ලෙස සලකා එය උත්සවශ්‍රීයෙන් සැමරීමට පැරණි හෙළයා ක්‍රියා කිරීම පසුපස ඇති නක්ෂත්‍ර ගණිතමය සිද්ධාන්තය එසේය. සිංහල අලුත් අවුරුද්ද නැකත් කෙළියක් බව මුලින්ම කීවේද මේ නිසාය.

සූර්යයා රාශියෙන් රාශියට නැකතෙන් නැකතට ගමන් කරන බව කතාවට කීවද ඇත්ත කතාව නම් හිරු ඔය කුමන තැනකටවත් ගමන් ‍කරන්නේ නැත. සිදුවන්නේ පෘථිවිය තමා වටේ කරකැවෙන අතර ඉදිරියට පැනීමකි. ග්‍රහයන් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන බව කීවත් සැබැවින්ම පෘථිවිය ඇතුළු සියලු ග්‍රහයන්ගේ චලනයන් සිදු වන්නේ සර්පිලාකාරවය. පොළොව මත වේගයෙන් කරකැවෙන බඹරයක් ගැන සිතන්න. එය වේගයෙන් තමා වටා කරකැවෙන අතර ඉදිරියට සර්පිලාකාරව පනින ආකාරයත් දැක ගත හැක. පෘථිවිය ද අනෙක් ග්‍රහයෝද සූර්යා වටා ගමන් කරන්නේ ඒ ආකාරයෙනි. මෙසේ සර්පිලාකාරව පැන පැන යන අතරේ ඇතැම් ස්ථාන පසුකර යෑම දුෂ්කර වේ. පෘථිවිය තමා වටේ කරකැවෙමින් සූර්යා වටා යන අතරේ රාශියෙන් රාශියට සහ නැකත් පොකුරෙන් නැකත් පොකුරට ගමන් කරයි.

සූර්යයා, නැකත, සහ පෘථිවිය කිසියම් ආකාරයකට ලම්භක වීම පහසුව තකා හිරු රාශියෙන් රාශියට සහ නැකතෙන් නැකතට ගමන් කරන්නාක් ලෙස උපකල්පනය කොට ඇත. මෙසේ ගමන් කිරීමේදී එක් එක් නැකත් ස්ථානවලදී පෘථිවියට ලැබෙන බලපෑම ද විවිධාකාර වේ. මෙය සරල නිදසුනකින් පැහැදිලි කර ගනිමු. මගීන් රැගත් බස් රථයක් ධාවනය වෙමින් තිබේ. පාර හරහා වූ ගැටිත්තක් හෙවත් බාධකය උඩින් බසය ධාවනය වන මොහොතේදී මේ බස් රථයේ සිටින සෑම මගියෙකුටම එහි බලපෑම සමාන ලෙස දැනෙන්නේ නැත. පසුපසම වූ ආසනයේ අසුන් ගෙන සිටින අයට එම ගැස්ම තදින් දැනේ. බසයේ මැද කොටසේ වාඩි වී සිටි අයට ඇති වන ගැස්ම ඊට වඩා අඩුය.

රියදුරු සහ ඉදිරිපෙළ අසුන්වල සිටින මගීන්ට දැනෙන ගැස්ම ඊටත් අඩුය. සිදු වූයේ බස් රථය මාර්ග බාධකයක් උඩින් ගමන් කිරීම පමණයි. එහෙත් එහි බලපෑම බස් රථයේ උන් මගීන්ට ඇති කළේ වෙනස් වෙනස් ආකාරයේ සංවේදනයකි. සිද්ධිය එකක් නමුත් තමා ස්ථානගත වී සිටින ආකාරය අනුව එහි බලපෑම අඩු වැඩි සහ විවිධාකාර වන බව මෙයින් වටහා ගත හැකිය. පෘථිවිය නැකත් පො‍කුරෙන් නැකත් පොකුරට හිරුට ලම්භකව ගමන් කිරීමේදී ස්ථා‍නයෙන් ස්ථානයට එකිනෙකට වෙනස් විවිධාකාර බලපෑම් ඇති වන්නේ ද මේ අනුසාරයෙනි.

අදටත් වඩා ආදි හෙළයා එම නැකත් පන්තියේ බලපෑම් ලෝකයට රටට සහ තම තමාට ගෙන දෙන වෙනස් අත්දැකීම් මෙසේ වන්නේ දැයි වටහා ගත්තෝය. නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විද නැකතට, හිරු සහ පෘථිවිය ලම්භකවන මොහොත හරියට ගෙන එහි ගුණ දොස් දැන නිසි පිළිවෙත් අනුගමනය කළොත් මුළු වසරම යහපත් වනු ඇතැයි ද ඔවුහූ සිතූහ. සිංහල අලුත් අවුරුද්දේ සියලුම කටයුතු සුබ නැකත් අනුව පැවැත්වීමේ රහස ඇත්තේ එතැනය. රේවතී නැකතෙන් අස්විදයට පනින පිම්ම පෘථිවියට දැනෙන සුළු කම්පනයක් ඇති කරන බව පුරාණ නක්ෂත්‍රවේදියෝ නිවැරදිව වටහා ගත්හ. නැකත් චක්‍රයේ අංශක 360 රේවතී නැකතේ කෙළවරය.

එතැන සිට අස්විද නැකතේ අංශක 0 අතර ඇත්තේ සංඛ්‍යාත්මකව ගත් කළ නොගැනිය හැකි තරම් වෙනසකි. කාලයක් වශයෙන් ගතහොත් එය විශාලය. නොනගතය යන සංකල්පය බිහි වන්නේ එතැණිනි. ගුවනේ සරන යානයක් වායු රික්තකයක් හරහා ගමන් ගනිද්දී එය කඩා වැටෙන්නාක් වැනි තිගැස්මක් මගීන්ට ගෙන දේ. රේවතී නැකතේ කෙළවර සිට අස්විද නැක‍තේ මුලට පනින පිම්ම ද එවැනිම තිගැස්මක් ගෙන දෙන ලෙස වටහා ගන්න. එම කාලයේ දී කිසිදු සුබ වැඩක් නොකරන ලෙසට පුරාණ ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ නොනගතය යනුවෙනි.

සියලු වැඩ අත්හැර ආගමික කටයුතු සඳහා මුල් තැන දිය යුතු බව කීවේ පෙර කී තිගැස්ම සමහන් කරවන ආධ්‍යාත්මික ශක්තිය තීව්‍ර කර ගැනීමටය. මේ ආදී වශයෙන් ගත් කළ සිංහල අලුත් අවුරුද්දේ සෑම සියලු අවස්ථාවක්ම සුබ නැකතට කළ යුතු යැයි චිරාගත පාරම්පරික සිරිතක් ලෙස පැවත එන්නේ ජ්‍යොතිෂමය පදනමකින් බව පෙනේ. ‍

රේවතී නැකතත් අස්විද නැකතත් අතරමැද අද අප භාවිතා කරන ජ්‍යොතිෂයේ රාශි චක්‍රයේ මීන රාශීයත් මේෂ රාශියත් පතිත වේ. රාශි චක්‍රයේ අවසානය මීනයෙන් ද නැකත් චක්‍රය අවසානය අස්විද නැකතෙන් ද සනිටුහන් වේ. කිසියම් නැකතක් සහ රාශියක් එකම අංශකයකින් අවසාන වන අවස්ථාවට ගන්ඩාන්ත දෝශය යැයි කියමු. රවි ග්‍රහයා රේවතී නැකතෙන් අස්විද නැකතට පිවිසෙන අවස්ථාව එම ගන්ඩාන්ත දෝෂයට අසු වන හෙයින් ග්‍රහ ලොව රජු ඉතා දුබල තත්ත්වයකට පත් වේ. එකී පැය දොළසක කාලය නොනගතය ලෙස අතහරින්නේද ආගමික කටයුතු සඳහා මුල්තැන දෙන්නේ ද එහෙයිනි. මේ සන්සිද්ධිය ගෝචර වන්නේ දැනුමට නොව ප්‍රඥාවටය.

නැකත් 27 තුන බැගින් එක් එක් ග්‍රහයන්ට අධිපතීත්වය ලැබෙන ලෙසට බෙදා තිබේ. ග්‍රහලොව රජු වන රවි ග්‍රහයා අස්විද නැකතේ උච්ච වන අතර එය අයත් වන්නේ මෝක්ෂකාරක කේතු ග්‍රහයාටය. රවිගෙන් ප්‍රඥාවද කේතුගෙන් මෝක්ෂය ද සංකේතවත් වේ. ආදි හෙළයන්ගේ අලුත් අවුරුදු සැමරුමේ කූට ප්‍රාප්තිය මෙයයි. නැකත් චක්‍රයද, රාශි චක්‍රයද, ග්‍රහ වළල්ලද යන සියල්ලම අසාර සසරේ තාවකාලික නවාතැන්පොළවල් ලෙස පැරණි හෙළයා දුටුවේ ය. කර්මය ද චක්‍රයකි. එහි කෙළවරක් නිමාවක් නැත. එයින් මිදීම අති උතුම් සැපයයි. ප්‍රඥාවට අධිපති රවි ග්‍රහයා මෝක්ෂකාරක ස්ථානයේදී උච්ච බලයට පත් වේ.

ආදි සිංහලයා තම ජීවිතයේ වැදගත්ම දිනය ලෙස රවි ග්‍රහයා අස්විද නැකතට පැමිණෙන මොහොත තෝරා ගත්තේ මේ අති උච්චතම වූ ආධ්‍යාත්මික ශක්තිය මූලිකකොට ගැනීමෙනි. සිංහල අලුත් අවුරුද්ද සෙල්ලම් කෙළියක්වත් සැණකෙළියක්වත් නොව නැකත් කෙළියක් බව කීවේ එහෙයිනි.

මේ නැකත් කෙළිය නම් මෝක්ෂය හෙවත් නිර්වාණය සියල්ලටම ඉහළ අති පරම සැපත බව සිහිපත් කිරීමය. සැබෑ සිංහල අලුත් අවුරුද්දේ හරය එයයි. එය තේරුම් ගත යුත්තේ ජ්‍යොතිෂයෙන්ම පමණි.

එහෙත් සිංහල අලුත් අවුරුද්දේ ප්‍රභවය නිසි ලෙස නොදැන එය හුදෙක් කා බී නටන සැණකෙළියක් බවට අද පෙරළී තිබෙන්නේ කාගේ වරදින් දැයි අපි නොදනිමු.

අද කාලයේ හැදෙන පුංචිම පුංචි පැංචෙක් සිංහල අලුත් අවුරුද්ද ලෙස වටහා ගනු ඇත්තේ උදේ පාන්දරම ගම හරහා දුව ගොස් දහවලට කොට්ටපොර ගසා හැන්දෑවට ලිස්සන ගහට බඩ ගා මහ රෑට සංගීත සන්දර්ශනයක අඟර දඟර නැටුම් පෑමක් ලෙසිනි. කාගේ දෝසා අපට නම් නොවැටහේ.

කේ. සී. ජේ. රත්නායක

Comments