ලොව විද්‍යමාන කරුණු අතර අතිශයින් ම සංකීර්ණ වු කාරණයක් වේ නම් සිත පිළිබඳ සිදු කළ විග්රහයන් ඒ අතර වේ. අරූපී ධර්මයක් වන සිතේ සැබැ ලක්ෂණයන් හඳුනාගැනීම දුෂ්කර ය. අන්‍ය කරුණු පිළිබඳ කෙතරම් දැනීමක් ඇති අයකු වුව ද ධර්මය පිළිබඳ ගැඹුරු වූ සියුම් අවබෝධයක් නොමැත්තේ නම් චිත්තයේ යථා ස්වභාවය සහ එහි ක්‍රියාකාරීත්වය දැන ගැනීම පහසු නොවේ. සිත පිළිබඳ දැන ගැනීමට නම් එය යම් තරමකින් හෝ දමනය කිරීමේ ශක්‍යතාවක් පුද්ගලයාට පැවතිය යුතු ය. නමුදු යථාර්ථය නම් සියලු සත්ත්වයෝ ම සිතේ වසඟයට පත් ව කටයුතු කරන බව ය. සිත නමැති එක ම වස්තුවට මුළු ලෝකය ම වසඟව කටයුතු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ විග්රහ කරන ලදි.
චිත්තේන නීයතී ලොකො
චිත්තේන පරිකස්සති
චිත්තස්ස ඒකධම්මස්ස
සබ්බේව වසමන්වගු
(සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය)
සිත දමනය
සිත දමනය කිරීම සඳහා ප්‍රථමයෙන් ම ඒ සඳහා අවැසි මාර්ගය හඳුනාගත යුතු ය. සිත දමනය කිරීමේ මාර්ගය සැකෙවින් ම භාවනාව වශයෙන් හැඳින්විය හැකිය. සිත දියුණු කිරීම, වැඩීම භාවනාව නම් වේ. කුසල ධර්මයන් තුළ සිත නැවත නැවත වැඩීම, පිහිටුවීම, ආසේවනය කිරීම ද භාවනාව නම් වේ (භාවේති කුසල ධම්මේ ආසේවති වඞ්ඪෙති එතායති භාවනා). සිත වැඩීම සඳහා බොහෝ මාර්ගයන් අතීතයේ සිට ම ලෝකය තුළ විද්‍යමානව පවතී. සමථ භාවනාව ඒ අතරින් ප්‍රධාන ය. සමථ භාවනා ක්‍රම බුදුරදුන් ලොව පහළ වීමට ප්‍රථමයෙන් ම ලෝකය තුළ භාවිත වූව කි. බෞද්ධ දර්ශනයෙහි උගන්වන විශේෂිත භාවනා ක්‍රමයක් වශයෙන් විදර්ශනා භාවනාව හැඳින්විය හැකිය. ඒ පිළිබඳ පසුව කරුණු දක්වන අතර මෙම ලිපියෙන් සමථ භාවනාව සහ සිත දියුණු කිරීම සඳහා එහි පවත්නා උපයෝගීතාව දක්වනු ලැබේ.
සමථ භාවනාවේ විවිධ ප්රභේදයන් දක්නට ලැබේ. සමථ භාවනාව පිළිබඳ සිදු කළ නිර්වචනයක් පෙටකෝපදේසයෙහි පහත අයුරින් විග්රහ කොට ඇත.
‘‘තත්ථ කතමො සමථො. යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති ඨානං පට්ඨානං උපට්ඨානං
සමාධි සමාධානං අවික්ඛේපො අවිප්පටිසාරො මනසො ඒකග්ගං චිත්තස්ස, අයං සමථො.’’
(එහි සමථය යනු කවරක් ද යත්. චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක් මොනවට සිටීමෙක්
බැසගෙන සිටීමෙක් නැවැත්මෙක් පිහිටා සිටීමෙක් එළඹ සිටීමෙක් සමාධියෙක් සමෝධානයෙක් අවික්‍ෂේපයෙක් අවිප්පටිසාරයෙක් සිතෙහි සන්සිඳීමෙක් සිතෙහි එකඟ බවක් වේ ද මේ සමථය යි.)
කුසල් අරමුණ
සමථ භාවනා සහ එහි කෘත්‍යය පිළිබඳ විග්‍රහයක් ඉහතින් සිදු කොට ඇත. සිත කුසල් අරමුණක් තුළ පිහිටා සිටීම, නැවතීම, එල්බ සිටීම සමථය නම් වේ. සිතේ ලක්ෂණය නම් අරමුණු හමුවේ විසිර පැවතීම ය. ක්ෂණයක් පාසා සිත වෙනස් වේ. එක් අරමුණක් ගෙන සැනෙකින් එය අතහැර වෙනත් අරමුණක එල්බ ගනී. එක් මොහොතක් හෝ අරමුණක් තුළ නිශ්චිතව පැවතීම සිතට නුහුරු නුපුරුදු කරුණකි. සසර පුරා භාවිත නොකළ සන්තානයක් හෙයින් අරමුණු විෂයෙහි ගමන් කිරීමේ හුරුව සිතට පැවතිය ද එක් අරමුණක් තුළ නිශ්චලව පැවතීම සිතට නුපුරුදු කරුණක් හෙයින් බොහෝ දෙනා චිත්ත දමනයට දක්ෂයන් නොවේ. වෙනත් කෙතරම් කරුණු පිළිබඳ දක්ෂතාවයක් පැවතිය ද සිත දමනය කිරීමට නම් ප්‍රායෝගිකව සිදු කළයුතු පිළිවෙත් අනුගමනය කළ යුතුම ය. තමාට ඇවැසි කරුණු ඇතැම් විට අන් පිරිස් මාර්ගයෙන් සිදු කළ හැකි වුව ද චිත්ත දමනය තමා විසින්ම සිදු කොටගත යුතු ය.
සමාධි භාවනා
නුතනයේ බොහෝ පිරිස් භාවනා මාර්ගයන්ට යොමුව සිටිය ද චිත්ත සමාධියක් ඇති කොටගෙන
ඇතැම් විට ප්‍රථම ධ්‍යානය දක්වා හෝ සිත දියුණු කොටගත් පිරිසක් සොයා ගැනීම අතිශය දුෂ්කර ය. සමථ භාවනාව චිත්ත භාවනා සහ සමාධි භාවනා නමින් ද හඳුන්ව යි. සමථයේ ප්‍රධාන කෘත්‍යය වනුයේ ද එයයි. සමථ භාවනා කර්මස්ථානයෙන් පත්විය හැකි ඉහළ ම ස්ථරය නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන නම් අරූපී ධ්‍යානයට පත් වීම ය. ලෞකික වශයෙන් සිත දියුණු කළ හැකි ඉහළ ම ස්ථරය එය යි. එහෙත් එම ස්ථානයට ලඟා වීම අතිශය දුෂ්කර ය. ඇතැම් විට එක් විනාඩියක් හෝ සිත සමාධිගතව පවත්වා ගැනීමට නොහැකි පිරිසට සිත එවැනි අතිශය ශාන්ත ස්වභාවයකට සිත පත් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.
සමථ භාවනා කර්මස්ථාන හෙවත් භාවනා අරමුණු හතළිහක් (40) වේ.
කසිණ 10
අසුබ 10
අනුස්සති 10
බ්‍රහ්ම විහාර 04
ආරුප්‍ය 04
සංඥා 01
වවත්ථාන 01
වශයෙන් මෙම කරුණු දැක්විය හැකිය.
චරිත ස්වභාව
විසුද්ධි මාර්ගය තුළ මෙම කරුණු විග්රහ වශයෙන් දක්වා ඇත. සමථ භාවනාව දියුණු කිරීම සඳහා මෙසේ කර්මස්ථාන බොහෝ සංඛ්‍යාවක් දක්වා තිබුණ ද මේ සියල්ල සියලු දෙනාට සප්ප්‍රාය නොවේ. ඒ සඳහා තම චරිතයට අනුව සුදුසු කර්මස්ථානයක් තෝරාගත යුතු වේ. පුද්ගල චරිත ස්වභාවයන් පිළිබඳ පෙර ලිපියක කරුණු විග්රහ කොට ඇත. චිත්ත සමාධියක් උපදවා ගැනීම සඳහා දවසට විනාඩි දෙක තුනක් පමණක් භාවනා කිරීම ප්‍රමාණවත් නොවේ. මේ සඳහා පූර්ව සූදානමක් පැවතිය යුතු ය. බොහෝ දෙනා භාවනා කිරීම තුළ උසස් දියුණුවක් නොලබනුයේ පූර්ව සූදානමකින් තොරව කටයුතු කිරීම හේතුවෙනි. භාවනා කර්මස්ථානයන් වඩන පුද්ගලයාට තමා වඩන භාවනාව පිළිබඳ නිරවුල් අවබෝධයක් සහ ඒ පිළිබඳ මනා පරිචයක් තිබිය යුතු ය. භාවනාවට ප්‍රථමයෙන් ඒ පිළිබඳ මනා හැදැරීමක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
තමාගේ චරිත ස්වභාවයන් සහ ඒ සඳහා සුදුසු කර්මස්ථානය මනාව හඳුනාගත යුතු ය. භාවනාව සම්බන්ධව සූත්‍ර, විනය, අභිධර්ම යන පිටක ග්රන්ථයන්හි සහ එහි අටුවා, ටීකා, විසුද්ධි මග්ග විමුක්ති මග්ග සහ අභිධර්මාර්ථ සංග්‍රහ ආදී ග්රන්ථ අධ්‍යයනය කොට භාවනාව පිළිබඳ මනා දැනීමක් ඇතිකොටගත යුතු ය. මෙැවනි කරුණු ඉදිරිපත් කළ විට බොහෝ දෙනා සඳහන් කරන කරුණක් නම් එවැනි ග්රන්ථ පරිශීලනයට තමාට කාලයක් හෝ දැනීමක් නොමැති බව ය. එහෙත් ඔවුනට භාවනා කොට ප්‍රතිඵල ලබා ගැනීමට ද අවශ්‍යය වේ. මෙහිදි තේරුම්ගත යුතු කරුණ නම් සිත දියුණු කොට උසස් දියුණුවක් ලැබීමට තමාට අවංක වූ පිරිසිදු අදහසක් තිබේ ද යන්න ය. සමාජයේ අන් අය කරන නිසා තමාද සිදු කළ යුතු ය යනුවෙන් සිතා කටයුතු කරන්නට පෙළඹෙන පුද්ගලයින්ට මෙම කරුණු උගෙනීම පිළිබඳ කිසිදු උවමනාවක් නොමැති අතර අවශ්‍යය වන්නේ අන් අයට පෙනෙන්නට කුමක් හෝ දෙයක් සිදු කිරීමට පමණි. තමා මින් කවර ස්වභාවයකට අයත් වන්නේ දැයි තේරුම්ගත යුතු ය.
නීවරණ ධර්ම
ධර්ම මාර්ගය පිළිබඳ කරුණු අවබෝධය මෙහි දී මූලීකවම වැදගත් වේ. එසේ කරුණු අවබෝධ කොටගෙන තමාට සුදුසුදු කර්මස්ථානය නිරන්තරයෙන් තම සිතේ පිහිටුවා ඒ තුළ සිත එක්තැන් කිරීමට උත්සාහ ගත යුතු ය. ඇතැම් විට දින දෙක තුනකින් එය කළ නොහැකි වේ. පූර්ව ජීවිතයන්හි මේ පිළිබඳ දියුණු කළ මනසක් පවතින්නේ නම් ඉතා ඉක්මනින් සිත සමාධිගත වේ. ආසන්න භවයක මේ පිළිබඳ සිදු කළ වැඞීමක් නොමැත්තේ නම් වඩා වීර්යයකින් කටයුතු කිරීම අවශ්‍ය වේ. එහෙත් මේ පිළිබඳ කරුණු දැක්වීම අතිශයින්ම දීර්ඝව සිදු කළ යුතු ය. පුද්ගල චරිත ස්වභාවයන්ට අනුව මේ සියලු කරුණු එකිනෙකට වෙනස් වන බව දත යුතු ය. ඇතැම් පුද්ගලයකුට ඉතා ඉක්මනින් සිත එකඟ වන අතර තවත් පුද්ගලයකුට බොහෝ කාලයක් උත්සහ කිරීමෙන් දියුණුවට පත්විය හැක.
ඇතමෙකුට කොතෙක් උත්සහ කළ ද දියුණුවක් ලද නොහැකි වේ. මේ සඳහා විවිධ කරුණු බලපාන බව දත යුතු ය. පූර්ව කර්මයන්, ප්රතිසන්ධිය ලැබූ සිත, ඉන්ද්රිය ධර්මයන්ගේ දියුණුව හෝ පරිහානිය, නිවැරදි කර්මස්ථානයන් තෝරා ගැනීම, සප්ප්‍රාය භූමි, ආහාර පාන, යෝග්‍ය කාලය ආදි බොහෝ කරුණු මේ සඳහා පාදක වේ. ජීවිතය සහ සිත යනු අතිශයින්ම සංකීර්ණ හෙයින් එහි සැබෑ තතු දැන ගැනීමට ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් පැවතිය යුතු ය. එවැනි උසස් දැනීමක් ඇති කරගැනීම සඳහා දියුණුවක් ලැබීමේ අදහසින් කටයුතු කරන සියලූ දෙනා උත්සහවත් විය යුතු ය. එවැනි ඥානයකින් යුක්තව කටයුතු කිරීමේ දී ඉතා ඉක්මනින් දියුණුවක් ලැබීමේ හැකියාව පවතී. තමාගේ දක්ෂතාවයන්, දුර්වලතාවයන්, දියුණවීම්, සහ පරිහානීය ලක්ෂණයන් මනාව හඳුනාගත හැකි ය. සමථ භාවනාව චිත්ත සමාධිය දියුණු කිරීම සඳහා අතිශයන්ම වැදගත් ය. නීවරණ ධර්මයන් යටපත් කොට සිත සමාහිත කොටගත් කල්හි සිතේ ස්වභාවයන් මනාව දත හැකි ය. සමාධිමත් මනසින් යුක්ත වූ විට ජීවිතයේ යථාපැවැත්ම දැකීම සඳහා අවැසි නාමරූප ධර්මයන්ගේ සියුම් ලක්ෂණයන් එම සමාහිත සිතින් දත හැකි ය. විදර්ශනා පිළිබඳ පසුව දක්වනු ලැබේ. මෙම කරුණු මනාකොට හඳුනාගෙන සමථ කර්මස්ථානයන් ඔස්සේ නීවරණ ධර්මයන් යටපත් කොට සමාහිත සිතක් උපදවා ගැනීම සඳහා උත්සාහයෙන් යුක්තව කටයුතු කළ යුතු ය.
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
071-9861535