පොලීසිය රැවටූ ඕලු ඇල්ලේ අවතාරය | සිළුමිණ

පොලීසිය රැවටූ ඕලු ඇල්ලේ අවතාරය

 කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ දො‍බේපොල වසමේ යටියන්තොට සීපෝත් මාර්ගයේ දර්ශනීය වු ඕලුඇල්ල පිහිටා තිබේ. වෑවියතලාව කඳුමුදුනෙන් කුඩාවට ගමන් අරඹමින් වෑවියතලාව ගිල්ම බරුහේන අමනාවල ගම්වාසීන්ගේ සියලු අවශ්‍යතා සපුරාලමින් අවට කෙත්වතු සරුසාර කරමින් දොබේපොල ග්‍රාමයෙන් චමත්කාර ඇල්ලක් ස්වභාවිකව නිර්මාණය වෙමින් ජලකඳ වෑඔයට එක්වෙයි.

ඇලි හතරකින් සමන්විත මෙම ඇල්ල අද අප රටේ පමණක් නොව පිටරට වල පවා ප්‍රසිද්ධියට පත්ව තිබේ. දෙවෙනි ලෝක යුද සමයේ වෑවිය කඳුමුදුනේ යුද කඳවුරක් පිහිටා තිබුණි. යුද්ධය අවසන් වූ පසු එම ගොඩනැගිලි අත්හැර දැමීය. පසු කාලයේ මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර එතුළ ස්වාධීන රූපවාහිනී සංථාව මගින් යටියන්තොට සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන යයි. ඕලු ඇල්ලේ පටන්ගැන්මේ නාන පොකුණක් යුද සොල්ලාදුවන් විසින් ඉදිකළ අතර එය ජල ක්‍රීඩාවේ යෙදීමට පරිහරණය කෙරිණි . මෙමඇල්ල දර්ශනීය වුවත් අවසාන කොටස බියජනකය මෙම ඇල්ල වටා ගෙතුණු ජන කතාව මෙසේය. යටියන්තොට සීපෝත් මාර්ගය කැපීමට පෙර මෙහි පාලමක් තිබී නැත. ගොනු පිට බඩු ගෙනයන තවලම් පාරකි. අද මෙන් අවට නිවෙස්ද නොවීය. මේ අවදියේ චීන ජාතිකයන් රෙදි මිටි කරේ තබාගෙන පයින් ඇවිද ගම් නියම් ගම්වල රෙදි වෙළෙඳාම් කළ යුගයකි.

මං පහරන්නෝ මේ පාළු පාරේ තනියම යන වෙළෙඳුන්ගේ මුදල් සහ රෙදි පැහැරගෙන ඇල්ලේ අවසාන ගල් පොත්තෙන් පහළ ඇති දෙබුක්කාවට දමති. එම සිරුර සතුන් විසින් කාදමනු ලැබීම නිසා එම සිද්ධිය සදාකාලික රහසක් බවට පත්වෙයි. මෙය පසු කාලයේදී පැරැණියන් විසින් පවසා ඇත. ක්‍රමයෙන් පාර කපා වාහන යාමට හැකි වීය‍.

එදා ඇළවල් සඳහා තිබුණේ අද ඕලු ඇල්ලට දමා ඇති ලීකොට පාලම් පමණය. පාර කැපීමට පසු පාර අයිනට ජනයා සංක්‍රමණය වීය. ඇල්ලට වම් පසින් කුඩා වරිච්චි මැටි ගෙයක් සාදාගෙන පදිංචි වූ යුවලගේ රැකියාව කිතුල් මල් කැපීමය. පූනුගල වත්තේ දෙමළ ජනයා දිනපතා රා බීමට මෙම ස්ථානයට පැමිණියහ. මේ වනවිට පොලීසිය තිබුණේ කරවනැල්ලේය. මෙම මාර්‍ගයේ වාහන ධාවනය ඉතා අල්පය. දෙපැත්තේ ටයර් පාරෙහි තාර තිබුණද පාර මැදද තණකොළ වැවී ඇත. එදා මඟී ප්‍රවාහනය කළේ බස් රථය හා මිල්ටරි වැන් රථය පමණි. සඳුදාට සලාක හාල් ගෙනෙන ලොරියද පැමිණෙන බව ජනයා දනී. ඊට අමතර වෙලාවක වාහනයක් එන්නේ නම් ඒ පොලිස් ජීප් රථය පමණි. ඈත පාලම්වලින් වාහනයක් එද්දී විශාල ශබ්දයක් නැඟෙයි. ඒ හඬ ඇසෙන විට රා විකුණන කාන්තාව රාමුට්ටි සඟවයි. මෙසේ කීපවරක් පොලීසිය පැමිණ හිස් අතින් ගොස් තිබේ. පාලම්වලින් එන විට ජිප් රථයේ ශබ්දය ඇසුණු විට රා හංගන බව දැන ගත් පොලීසිය, එදා ජිප් රථය පාලමට එහා නතර කර පොලිස් නිලධාරීන් පයින් එවීය. කන්ද උඩ නිවසේ සිටි රා විකුණන කාන්තාව කර දෙපසට හැට්ටය දමාගෙන එක කළයක් උකුලටත් අනික අතට ගෙන ඇල්ල දෙසට යනවා පොලිස් නළධාරීහු දුටහ. ඇය ඇල්ලෙන් එහාට නොගිය බව ද පොලිස් නිලධාරීන් දැක ඇත. පැය කීපයක් ඇය සෙවූවද සොයා ගැනීමට ද නොහැකි විය. දුටුවේ ඇල්ලේ අවතාරයක් යයි පවසමින් ඔවුහු ආපසු ගියහ. ඇල්ලේ අවතාර ඇතැයි රාවයක් පැතිරිණ. එහෙත් සිදුවී ඇත්තේ මෙම කාන්තාව ගල උඩින් පහලට විසිවන දිය ඇල්ල යටට ගොස් සිටීමය. ඇල්ල ඇතුළත නොතෙමෙයි. ඇතුළේ සිටින අයකු පිටතට නොපෙනෙයි. මෙහි ඇති ලී කොට පාලම කෙන්ක්‍රීට් කිරීමට රජය සූදානම් වුවද ප්‍රදේශවාසීහු මෙහි පෞරාණික වටිනාකම පෙන්වා දී එලෙසම තබාගත්හ.

දැන් නරඹන්නන් විශාල පිරිසක් ලී පාලම බැලීමට පැමිනෙති. ඇතැම් අය පාලම යට ගල්තලාවේ සිට සුරා පානය කරති. අවසානයේ ඒ ගෙනා බෝතල් ගල් මත ගසා කුඩු කරති. මේ කරන අයහපත් ක්‍රියාව පරිසරයට කරන විශාල හානියකි. පසුගිය මැතිවරණයේදී පළාතෙන් ඉදිරිපත් වූ ඇතැම් අපේක්ෂකයින් තම පක්ෂයේ සලකුණ මෙම ඇල්ලේ ගල්වල ඇඳීම වැනි අශෝභන ක්‍රියාද කර තිබේ. සොබා දහම අපට උරුම කර දුන් අසිරිමත් සුන්දර වූ මෙම ස්ථානය සුරැකීම අප කාගේත් යුතුකම වන්නේය.

කුමාරසිංහ ගුණදාස
යටියන්තොට සමූහ

Comments