පවුල් පාල­න­යක් නිසා රතු­ගල ආදි­වා­සීන්ට ප්‍රශ්න වැලක් | Page 2 | සිළුමිණ

පවුල් පාල­න­යක් නිසා රතු­ගල ආදි­වා­සීන්ට ප්‍රශ්න වැලක්

 ගමන ආරම්භවූයේ රාත්‍රියේ ය.

අමාවක අහසට සියල්ල නතුවී තිබූ හෙයින් කිසිවක් පැහැදිලිව පෙනෙන්නේ නැත. රොබට් ඉදිරියට විත් විදුලි පන්දම මාර්ගයට නො අල්ලන්නට ඒ ගුරුපාර, ගමට යන මාර්ගය බව ‍නොපෙනෙන්නට ඉඩ තිබිණි. ගුරුපාර දිගේ කෙමෙන් ඉදිරියට යන අපට පැල්පත් රැසක් හමුවේ. එක් නිවෙසක හැරෙන්නට, අන් ඒවායේ විදුලි එළිය දක්නට නැත. ඒ ඝන අඳුරේ ඒවා නිවෙස් බව පෙන්වාලූයේ පැල්පත් ඉදිරිපිට දල්වා තිබූ ගිනිමැලවලිනි.

රාත්‍රියේ යෙදී තිබුණු අපගේ මේ ගමන රතුගල ආදිවාසී ගම්මානයට ය. නිල්ගල ඖෂධ වනය මැදින් විහිදුණු බිබිල- අම්පාර මාර්ගයේ සැතැපුම් විස්සක් පමණ ගිය තැන රතුගල ආදිවාසී ගම්මානය හමුවේ. කලින් දානිගල ප්‍රදේශයේ ජීවත් වූ ඔවුන්ට ගල්ඔය ව්‍යාපාරය නිසා මුල්ගම් අත් හැර රතුගල ප්‍රදේශයට පැමිණීමට සිදුවිය. මේ වන විට ආදිවාසී පවුල් 98ක් පමණ මේ ප්‍රදේශයේ ජීවත්වෙති. ඔවුන්ගේ ප්‍රධාන ජී‍වනෝපාය ගොවිතැන ය. දිනෙන් දින උග්‍රවන ජීවන වියදම හමුවේ ඔවුන් සාම්ප්‍රදායික වෘත්තීන් අතහැර දමා විවිධ අකාරයේ කුලී වැඩවල නිරත වන බවද දැනගන්නට ලැබිණි. අපගේ සංචාරය රාත්‍රියේ සිදුවූ හෙයින් ආදීවාසීහු බොහෝමයක් තම නිවෙස්වල සිටියහ.

ආදිවාසීන්ගේ අභිවෘද්ධිය උදෙසා විවිධ වැඩසටහන් කරළියට පැමිණියද, තවමත් නොවිසඳුණු ගැටලු රැසකට රතුගල ආදිවාසීහු මුහුණ දී සිටිති. රතුගල වෙසෙන තම වර්ගයා ‍මුහුණ දෙන බොහෝ ගැටලුකාරී තත්ත්ව සඳහා වර්තමාන රතුගල ආදිවාසී නායකත්වය වගකිව යුතු බව මෙහි වෙසෙන්නන්ගේ චෝදනාවයි. විවිධ සංවිධාන පැමිණ තමන්ගේ විස්තර ගෙන යන බව ප්‍රකාශ කළ සුදු බණ්ඩා, එහෙත් ඒවායෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට තමන්ට අවස්ථාවක් ලැබී නැති බවද ප්‍රකාශ කළේය.

"විවිධ සංවිධානවලින් ඇවිල්ලා අපේ විස්තර අරගෙන යනවා. ඒ අරන් ගිහින්ලා අපිට ආධාර, උපකාර කරන බව කියනවා. නමුත් ඒ කිසිවක් අපිට ලැබෙන්නේ නැහැ. මේ පැත්තේ හුඟක් අයට පාවිච්චි කරන්න ළිඳක්, වැසිකිළියක් නැහැ‍. ළිඳක් වැසිකිළියක් හදාගන්න මුදල් දුන්නත් අපිට නොවේ ඒවා ලැබෙන්නේ, නායක තුමාට හිතවත් අයටයි. නැතිනම් නායක තුමා‍ගේ පවුලේ අයටයි"

රතුගල ආදිවාසී නායකයාට චෝදනා එල්ලවී ඇති පළමු අවස්ථාව ‍මෙය ‍නො වේ. මේ ගැටලු සියල්ල තම ආදිවාසී කණ්ඩායම ආදීවාසී නායක ඌරුව‍රිගේ වන්නිලා ඇත්තන් හමුවී ප්‍රකාශ කළ බව සුදු බණ්ඩා කීවේය. එහිදී නායකතුමාට එල්ල වූ චෝදනා නිසා ඔහුගේ තනතුර තාවකාලිකව අහෝසි කිරීමට කටයුතු කෙරිණි. මීට වසර කිහිපයකට පෙර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රතුගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් සහ පරිගණක මධ්‍යස්ථානයක් ඉදි කළේය. එහි පරිපාලනය ප‍වත්වාගෙන ගියේ බොනී නම් අයෙකි. ඔහු සහ ‍රතුගල ආදිවාසී නායකයා අතරේ පැවැතියේ ප්‍රබල බැඳීමකි. කල්යත්ම බොනීගේ ක්‍රියා කලාපයට ගැටලු පැමිණියේය. එහිදී යම් යම් විරෝධතා මතුවූ අතර, එයට පිළිතුරු ලෙස චෝදනා එල්ල කළ අයගේ පවුල්වල දරුවන්ට එම මධ්‍යස්ථානයේ පුහුණුවට දොර ඇහිරිණි. පසු‍ව ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මැදිහත් වූ අතර එහිදී ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යන පුද්ගලයා පවා කියා සිටියේ බොනී නමැත්තාගේ ක්‍රියා කලාපයට තමා එකඟ නොවන බවය. එහිදී බොනීව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුණ ද, එයට ආදිවාසී නායකයාගේ විරෝධය එල්ල විය. පසුව තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමඟ ආදිවාසී නායකයා ජාත්‍යාන්තර පාසල ඉදිරිපිටට ගොස් උපවාසයක් ද පැවැත්වීය. පසුව දඹානේ පැවැති වරිග සභාවකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් විසින් රතුගල ආදීවාසී නායකයාගේ තනතුර වසරකට තාවකාලිකව අත්හිටුවන ලදී. ඒ,2012 අ‍‍ගෝස්තු මස 8 වැනිදා සිට 2013 අගෝස්තු මස 8 වැනිදා දක්වාය. කෙසේ වෙතත් රතුගල ආදිවාසී නායකයා තමාගේ නායකත්වය අත්හිටුවීමේ තීරණයට ද එකඟ වුයේ නැත. ඔහු කියා සිටියේ තමාට නායකකම ලැබුණේ පිය උරුමයෙන් බව ය. තමා ගැන වැරදි ප්‍රචාර අසා දඹානේ නායකයාට තමාට එරෙහිව ක්‍රියාත්මක විය නොහැකි බවයි. කෙසේ වුවත් වසරකට පසුව ඔහුගේ නායකත්වයට යළි පිළිගැනීමක් ලැබිණි. නායකත්වය තාවකාලිකව අහෝසි කර දඬුවම් ලැබුව ද, ඉන්පසු උදාවූ තත්ත්වය ද, යහපත් නොවුණු බව ආදිවාසීහු කියති. නැවතත් ඔහුට සුපුරුදු චෝදනා ම එල්ල වෙමින් පවතී.

මෙහිදී ගමට ඇතුළුවීමට ඇති මාර්ගය පිළිබඳ අදහස් දැක්වූ එච්. එම්. ඥානපාල,

අපි ගමට ඇතුල්වෙන්නේ මහකඳුරයාය පාරෙන්. ඒ පාර හදලා දෙන්න කියලා අපි හැමදාම කියනවා. අපිව බලන්න එන මහත්වරුන්ටත් කියනවා. නායකතුමාටත් කියනවා. තාම ඒක කෙරුණේ නැහැ. පාර හරහා ඇළක් ගලාගෙන යනවා. වහින කාලෙට ළමයකුට ඉස්කෝලේ යන්නත් අමාරුයි. ජීවත්වෙන්න විදිහක් නැති නිසා අපි වැලි ගොඩ දැම්මා. දැන් ඒකත් නවත්වලා. අපිට කුලියක් හොයාගන්නත් දැන් අමාරු තත්ත්වයක් තියෙන්නේ."

තම නිවෙස සාදා දෙන බව නොයෙක් පිරිස් පොරොන්දු වුවද එවැන්නක් තවමත් සිදුනොවූ බව රසිකා ප්‍රියංගනී පැවසුවාය. ‍දවස ගානේ කුලී වැඩ කරලා තමයි අපි ජීවත්වෙන්නේ. දවසට රුපියල් 800,1000 වගේ ගණන්වලට තමා කුලී වැඩ කරන්නේ. එහෙම කරලා තමයි මේ ගෙවල් හදාගෙන ඉන්නේ, එහෙම නැතිව කවුරුත් හදලා දුන්නු ඒවා නොවේ මේවා‍. ඒ අය වෙන්නේ පොරොන්දු විතරනේ. වතාවක් ආදිවාසී සමිතියට මහන මැෂිං වගයක් ලැබුණා. ඒ අපිට පුරුදු වෙන්න කියලයි. නමුත් ඒවාට වෙච්ච දේවල් අපි දන්නේවත් නැහැ."

ආදිවාසීන්ට නිවාස ඉදිකිරීමට සහ විදුලි බලය ලබාගැනීමට රජය ආධාර උපකාර කළත්, ඒවාද ලැබී ඇත්තේ නායකතුමාගේ හිතවතුන්ට බව දානේගලේ මහබණ්ඩාරලාගේ සුදු මැණිකා පැවසුවාය. ‘අපේ කලින් තිබුණු ගේ කඩා වැටුණා. අපිට ඉන්න තැනක් නැති නිසා මේ පැල්පත දවඩා ගත්තා. වැස්ස දාට තෙමෙනවා. අපි ඉන්නේ හරිම අමාරුවෙන්. අපි ගෙවල් හදලා දෙනවා කියන කොට ඒ මහත්වරුන්ට දැනුම් දුන්නා. නමුත් අපිට කවදාවත් ගෙවල් හැදුනේ නැහැ.‍ ගෙවල් හැදුනේ නායකතුමාගේ කට්ටියටයි.‘

විටින් විට පොරොන්දු රැගෙන විදේශිකයන් පැමිණෙන බවත්, ඔවුන්ගෙන් සිදුවන සේවයට වඩා තම වනාන්තරබද ප්‍රදේශයේ තිබෙන වටිනා ඖෂධ වර්ග ජාවාරමක් ඔවුන් අතින් සිදුවන බවත් ජයවර්ධන කියයි.

‘සුදු හූරලා වගයක් මෙහාට ඇවිල්ලා ළඟ පාත හෝටලයක් දැම්මා. ඒ හොටලේ මට සින්දු කියන්න එන්න කියලා ඒ අය කිව්වා. මට බට නලා ගහන්නත් පුළුවන්. ඉතින් මම ඒක ප්‍රයෝජනයට අරගෙන ජීවත් වුණා. දවසට හෝටලයෙන් එන ගාණට අමතරව සිංදු අහන අ‍යගෙන් සංතෝෂම් මට ලැබුණා. නමුත් කාලයක් යද්දී මට අමතරව ලැබෙන ගාණට හෝටලයෙන් ලෙඩක් ඇද්දා.‍ ඔවුන් කැමැති වුණේ නැහැ මට සංතෝෂම් ලැබෙනවාට. ඒවා අයිති හෝටලයට කියලා කියන්න ගත්තා. පස්සේ මම ඒ රස්‍සාව අතහැරියා.‘

කැලයේ තිබෙන වටිනා කියන ඖෂධ වර්ග පවා වි‍දේශිකයන් ගෙන යන බව කියන ජයවර්ධන ඒවාට තම නායකතුමාද හවුල් බව කියයි.

රතුගල ආදිවාසී නායකයා දානිගල මහ බණ්ඩාරලාගේ සුදාවන්නියා ය. පිය උරුමය මත දානිගල මහ බණ්ඩාරලාගේ රන්දුනු වන්නියා මිය යාමෙන් අනතුරුව නායකත්වය ඔහුට ලැබිණි. ගෙවුණු වසර ගණනාවක කාලය තිස්සේ ඔහුගේ නායකත්වය දැඩි විවේචනයට පත්වීම පිළිබඳ ඔහු පවසන්නේ මෙවැන්නකි.

"මට විරුද්ධව තියෙන ඔය චෝදනා ඔක්කොම බොරු. අවුරුදු දෙක, තුනකින් මේ පැත්තට කිසිම ආධාරයක් ලැබිලා නැහැ. ඉස්සර නිලධාරීන් නිතරම මේ පැත්තට ආවා. දැන් එන්නේ නැහැ. ඉතින් මට ආධාර ලැබෙන්නේ නැතිව මම කොහොමද බෙදලා දෙන්නේ. දැන් අඹන් ඔයේ වැලි ගොඩ දාන්න‍ දෙන්නෙ නැති චෝදනාව ගත්තාම, එතැන පරිසර හානියක් වෙන්නේ. දඹානේ නායකතුමාත් මට කිව්වා මේ හානිය නිසා වැලි ගොඩ දාන එක නවත්වන්න කියලා. මේ අයට ලයිට් අරන් දෙන්න කියලා මම ලියුම් පවා අස්සන් කරලා දුන්නා. ඒත් වගකිය යුත්තෝ විදුලි බලය දෙන්නේ නැත්නම් මම මොකද කරන්නේ"

"අනික් අයගේ ආර්ථිකය ගැන හිතන්න විදිහක් මට නැහැ. මොකද මගේ බේත්වලටත් මට මාසයකට රුපියල් 5500.00ක් විතර යනවා. ඒවා මට දෙන්නේ නුවර පැත්තේ මහත්තයෙක්. එහෙම අමාරුකම් මටත් තියෙනවා. මට නැතිව මම කොහොමද අනික් අයට දෙන්නේ.

මම ආධාර ටික මගේ පවුලේ අයට, වරිගේ අයට විතරයි දෙන්නේ කියන එකත්බොරුවක්. මම ගමේ අයට විතරක් නොවේ. මුල්ලෙගම, ගල්ගමුව වගේ ගම්වල අයටත් උදව් වෙනවා. ඔය කියන විදිහට මට ලැබෙන ආධාර මම කවදාවත් විකුණලා නැහැ. අනික කුලී වැඩ කරන කිහිප දෙනකුට රැකියා ලබාගන්න මම උදව් කරලා තියෙනවා. ඒවා ගැන ඔය කවුරුවත් කතා කරන්නේ නැහැ. නමුත් ඒ රස්සා ලබා දුන්නු සතුට මම ගාව තියෙනවා. කොහොම වුණත් මට තියෙනවා නම් මම සලකනවා. නමුත් මට නැතිව කොහොමද එහෙම කරන්නේ. මෙතෙන්දි කියන්න තව දෙයක් තියෙනවා.‘‘

නායකත්වයට එරෙහි කැරලි ආදී අභ්‍යන්තර ප්‍රශ්න නිසා රතුගල ආදීවාසීහු ගැටලු රැසකට මුහුණ පා සිටිති. විටක අන්‍යාගමික බලවේග පැමිණි ආදිවාසීන්ට ආධාර උපකාර කරන බව පවසමින් ආගම් ප්‍රචාරය කරගෙන යන බව ගම් වැසියන් මෙන්ම ආදීවාසී නායකයා ද කියා සිටී. ඒ අතරම කාන්තාවන්ගේ සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතින අතර එක් ස්වේච්ඡා සමිතිය‍ක සාමාජිකාවක අප සමඟ කියා සිටි‍ පරිදි ආදිවාසී කාන්තාවන් හැට ගණනකට පමණ අකුරු ලිවීමේ හැකියාව නොමැත.

‍අනෙක් අතට මේ ආදිවාසීන් ආධාර මතම යැපෙන්නට වෙර වෑයම් දරන බවද පෙනේ. අප සමඟ කතාබහ කිරීමට පෙලඹෙන විට පවා ඔවුන්ගේ ඒ තත්ත්වය අපට දැක ගන්නට හැකිවිණි.

මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූප - සමන්ත වීරසිරි

Comments