නිකවැරටිය යොවුන්පුරය 28 ඇරඹෙයි: 7000ක් එක්වෙයි | සිළුමිණ

නිකවැරටිය යොවුන්පුරය 28 ඇරඹෙයි: 7000ක් එක්වෙයි

 කිසියම් රටක තාරුණ්‍යය බලසතු කරවීම එරට රජය සතු වූ යුතුකමකි. එමෙන්ම, වගකීමකි.එම යුතුකම හා වගකීම පිළිබඳව මනාව වටහාගත් රජය ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් දැනුමින්, ආකල්ප වලින් හා කුසලතාවයන්ගෙන් බලසතු කරවීමේ අරමුණින් 2016 වර්ෂයේදී, ඓතිහාසික සීගිරිය පුරවරය කේන්ද්‍රකොට ගනිමින් තරුණ තරුණියන් 5000 කගේ සහභාගිත්වයෙන් යොවුන්පුර වැඩසටහන නැවත වරක් ආරම්භ කරන ලදි. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ සංකල්පයකට අනුව, 1984 වර්ෂයේ දී තරුණ තරුණියන් 5000 කගේ සහභාගිත්වයෙන් ඓතිහාසික පොළොන්නරුව පුරවයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන නැවත වරක් එතුමාගේම උපදෙස් පරිදි ආරම්භ කිරීම මෙරට මුළු මහත් වූ තාරුණ්‍යය ලත් සුවිශේෂි ජයග්‍රහණයකි.

2016 වර්ෂයේ සීගිරියේදී හා 2017 වර්ෂයේ ත්‍රිකුණාමලය නගරයේදී “අනාගතය ඇරඹුණා” යන තේමාව මුල්කො‍ට ගනිමින් මෙම රජය යටතේ ආරම්භ කරන ලද මෙම යොවුන්පුරවල සාර්ථකත්වය නිසාම, එම තේමාව ය‍ටතේම මෙවර යොවුන්පුරය මාර්තු 28 වැනි දින සිට අප්‍රේල් 01දක්වා තරුණ තරුණියන් 7000 කගේ සහභාගිත්වයෙන් නිකවැරටිය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල භූමියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර යොවුන්පුරය පිළිබඳව අප සමඟ අදහස් දැක්වු ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නිතීඥ ඩබ්. ජී. එස්. එරන්දික මහතා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව 1984 ආරම්භ වුණු යොවුන්පුරය වැඩසටහන 1989 වර්ෂය දක්වාම අඛණ්ඩව පවත්වා තිබුණද විවිධ හේතුන් මත මෙම වැඩසටහන නතර වී තිබෙනවා. 2015 වර්ෂයේදී වත්මන් රජය බලයට පත් වීමත් සමඟින් අප අමාත්‍යංශයේ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නවැතත් යොවුන්පුරය ආරම්භ කරන ලෙස අපට උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව එදා “ අතීත උරුමය තුළින් පුනරාලෝකයක් කරා”යන තේමාව මුල් කොට ගනිමින් ආරම්භ කරල ලද යොවුන්පුරය වසර 27 කට පසුව “අනාගතය ඇරඹුණා” යන තේමාව යටතේ අති සාර්ථක අන්දමින් පවත්වනු ලැබුවා. 27 වසරකට පෙර මෙවැනි යොවුන්පුර 06 ක් පවත්වා ඇති අතර, අප විසින් 7 වැනි සහ 8 වැනි යොවුන්පුර පිළිවෙළින් තරුණ තරුණියන් 5000 කගේ හා 6000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වුවා. මෙම යොවුන්පුර වැඩසටහන්වල සාර්ථකත්වය නිසාම, මෙවර යොවුන්පුරය දෙස් විදෙස් තරුණ තරුණියන් 7000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අප විසින් කටයුතු යොදා තිබෙනවා යැයි සභාපතිවරයා කීය.

පසුගිය යොවුන්පුර වැඩසටහන්වලට සහභාගී නොවු, අලුත්ම තරුණ තරුණියන් මෙවර යොවුන්පුරයට සහභාගී කරවා ගැනීමයි අපගේ බලාපොරොත්තුව. දිවයින පුරා විසිරි සිටින සියලුම දිස්ත්‍රික්කවල ගම් මට්ටමේ බිම් මට්ටමේ තරුණියන් මෙම වැඩසටහනට සම්බන්ධ කරවීමට අප කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ජාති, ආගම්, කුල භේදයකින් තොරව, ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ කඳවුරුවල ඉතාමත් සහෝදරත්වයෙන් යුතුව තම කෑම බීම් සහ අනෙකුත් අවශ්‍යතාවයන් තමන් විසින්ම සිය කඳවුර තුළදීම සපයා ගැනීමේ අවස්ථාව මෙම තරුණ තරුණියන්ට උදාවන බව කිව යුතුයි.

හොඳම නිර්මාණාත්මක කඳවුර හා හොඳම කඳවුර වෙනුවෙන් ප්‍රථම, දෙවන හා‍ තෙවන ස්ථාන සඳහා ත්‍යාග පිරිනැමීමටද අප කටයුතු යොදා තිබෙනවා. මෙම යොවුන්පුරය සංවිධානය කිරීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීමත්, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ මාර්ගෝපදේශකත්වයත් අපට විශාල ශක්තියක් වන බව කිව යුතුයි” යැයි ද කීය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජගත් අධිකාරී මහතා “ගම් මට්ටමේ ඉන්න තරුණ තරුණියන් එකම ස්ථානයකට රැගෙනවිත්, ඔවුන්ගේ නායකත්වය, පෞරුෂය මෙන්ම, විනය සකස් කොට ජාතීන් අතර තිබෙන සංහිඳියාව වර්ධනය කොට, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය මෙන්ම අනිකුත් දැනුම ලබාදී ඒ තුළින් ඔවුන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවස්ථා සලසා දීම අපගේ අරමුණයි.

මෙහිදි සර්ව ආගමික වැඩසටහන්වලට ප්‍රමුඛත්වය ලබා දෙමිනුයි අප මෙම යොවුන්පුරය පවත්වනු ලබන්නේ. තරුණ තරුණියන්ගේ නායකත්ව කුසලතාවන් වැඩි දියුණු කර, ගැනීම සඳහා පෞරුෂ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටද මෙහිදී අප කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් හා ව්‍යාවසායකත්ව පුහුණු වැඩසටහන් රාශියක් ද මෙහිදී ක්‍රියාත්මක වෙනවා යැයි ද කීය.

මෙම යොවුන්පුරය යොවුන්පුරය නගර සභාව ය‍ටතේ පාලනය වන අතර, සහභාගිකයින් යොවුන්පුර වැසියන් වේ. මෙහිදි බැහැර ගත ක්‍රියාශිලි වැඩසටහන් කාන්තා පිරිමි මිශ්‍ර වොලිබෝල් තරග කාන්තා පිරිමි කඹ ඇඳීමේ තරග දුනු විදීමේ තරග පහුරු නිර්මාණය හා පහුරු බැඳීම, යොවුන් ගායනා හා නර්තන තරග, යොවුන් කුමරා, කුමරිය තේරීමේ තරග, මාධ්‍ය වැඩමුළු, උපදේශන සේවා, ශ්‍රමදාන වැඩසටහන්, පැළ සිටුවීමේ වැඩසටහන්, ගවේෂණ වැඩසටහන්, ප්‍රථමාධාර පුහුණුව, පරිගණක වැඩසටහන්, 4D චිත්‍රපට ප්‍රදර්ශන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්, රස වින්දන වැඩසටහන්වලට දින 05 ක් තිස්සේ සහභාගී වීමේ අවස්ථා මෙම තරුණ තරුණියන්ට උදා වනු ඇත.

මෙවර යොවුන්පුරය සඳහා ද විදේශිය තරුණ තරුණියන් 100 කට අධික පිරිසක් සහභාගී වන හෙයින් විදේශිය තරුණ තරුණියන් සමඟද සිය අත්දැකීම් බෙදා හදා ගැනීමේ අවස්ථාද අප තරුණ තරුණියන්ට උදා වනු ඇත.

ටී. අනිල් සිරිවර්ධන 

Comments