දැනගන්න පුහුණුවන්න හොඳ රැකියා ලබා ගන්න - 1 | සිළුමිණ

දැනගන්න පුහුණුවන්න හොඳ රැකියා ලබා ගන්න - 1

 වත්මන් පරපුර වෙනුවෙන් තමාගේ අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජීවන කුසලතාපුර්ණ අධ්‍යාපනයක් අප රටේද ක්‍රියාත්මක වේ. ඒ නිපුණතා පාදක අධ්‍යපනයයි. පාරිභෝගික සේවා අවශ්‍යතා නිසි අයුරින් සපුරා ගැනීමට මේ ක්‍රමයෙන් හැකියාව ලැබී ඇත. විවිධ කර්මාන්තයන් සිදු කරන ආයතන වෙනුවෙන් නිපුණතා ලත් ශ්‍රමිකයින් සඳහා විශාල ඉල්ලුමක් තිබේ. කාර්මික විද්‍යාල, ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරිමේ අධිකාරිය, වෘත්තීය පුහුණු කිරිමේ අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව සහ තවත් පෞද්ගලික ආයතන රැසක් මේ කාර්යයන් සඳහා සම්මාදම් වෙති.

කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට මූලික සුදුසුකමක් ලෙස ගැනෙන්නේ ආධුනිකයාගේ උනන්දුව හා කැමැත්තයි. පුර්ණ කාලීන පාඨමාලා පවත්වන්නේ නොමිලයේය.

සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයෙන් නිසිලෙස ප්‍රතිඵල නොලත් අයට තරඟකාරිව සමාජ පෞරුෂයක් ගොඩනගා ගැනීමට මෙමගින් හැකියාව ඇත. ශ්‍රමිකයෙකු ලෙස, නිර්මාණ ශිල්පීයකු ලෙස වැඩ මූලිකයකුගේ පරිපාලක තත්ත්වයේ සිට උපාධි මට්ටමක් දක්වා ඉහළ යෑමට මෙමගින් අවස්ථාව හිමිවේ. ජාතික වෘත්තීය සුදුසුකම (National Vocational Qualification - NVQ) මට්ටම් හතක් දක්වා ඉහළට යා හැකිය.

ලංකාවේ වැඩි වශයෙන් ජනප්‍රියව ඇත්තේ හතරවෙනි මට්ටමයි (NVQ4). මේ මට්ටම අපොස උසස් පෙළ සමත් යන සුදුසුකමට සමානය. ඒ අනුව රැකියා අවස්ථාවකදී, රැකියාවකට යොමු වීමේ දී හෝ ස්ථිරත්වයකදී හෝ මේ (NVQ4) සහිත වීම සුදුසුකමක් සේ සැලකේ. මෙහි විශේෂත්වය ජාත්‍යන්තර පිළිගැනීමයි.

වෘත්තීය පුහුණු අධිකාරියේ නාරහේන්පිට පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පාඨමාලා විසි හයක් අතරින් රූපලාවණ්‍යය පුහුණුවට ඇත්තේ විශාල ඉල්ලුමකි. පාඨක

ඔබ දැනුවත් කිරිමට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී. එස්. වික්‍රමරත්න මහතා හමු වීමි. ඔහු පුහුණු කිරීමේ උපදේශිකා ප්‍රීතිකා මහත්මියගේ සහ පාලන අංශයේ පුහුණු නිලධාරිණි තනුජා මහත්මියගේ සහය ලබා දුන්නේය.

රූපලාවණ්‍යාගාරය අංග සම්පුර්ණ මෙවලම් වලින් සමන්විතය. විදෙස් රටක අති ප්‍රවීන රූපලාවණ්‍යාගාරයකට නොදෙවෙනිය. ප්‍රිතිකා මහත්මිය පුහුණුව විස්තර කළාය. හදුනා ගැනීම සහ විස්තර කිරිමේ පහසුව වෙනුවෙන් පාඨමාලාවේ සුවිශේෂ රැකියා අංශයන් ඉංග්‍රිසියෙන් සටහන් කිරිම පහසුය. Salon Manager, Salon Assistant, Make-up Artist, Hair Cutter, Barber, Manicurist, Pedicurist, Skin Therapist, Nail Technician, Hair Dresser, Hair Artistic Director... ආදි වශයෙනි. විෂය මාලාවන් සකස් කර ඇත්තේ ජාත්‍යන්තර සම්මතයකට අනුකූලවය. මොඩියුල් වශයෙන් නිපුණතා පුහුණුව ලබා දෙන්නේ පියවරෙන් පියවර ක්‍රමයක් යටතේ නිසා ආධුනිකයා කිසිවිටක අතරමං වීමක් සිදුවන්නේ නැත. මෙහිදී වැඩ පරිසරය කළමණාකරණය, විදුලි මෙවලම් භාවිතයේදී ආරක්ෂක ක්‍රම, විශේෂිත ආලේපන ස්වභාවය සම මතු පිට ආසාදනයක් වේ දැයි නිගමනය කර ගැනීම සඳහා පෙර පරික්ෂණ. පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සහ තේරුම් කර දීම. සේවා ලාභින් සමග පවත්නා සුහදත්වය මෙන්ම ආචාරධර්ම පිළිබඳව දැනුම්වත් වීම් සිදුකෙරේ. නිපුණතාවෙන් පසු යහපත් සමාජ රටාවකට අවතීරණය විමට පහසුකම් සැපැයෙනවා.මේ පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු තමන්ගේම සේවා ස්ථානයක් ආරම්භ කිරීමට හෝ තවත් ආයතනයක සම්බන්ධ වීමට ආධුනිකයාට හැකියාව ලැබේ. වෘත්තිය පුහුණුව මත විදේශ ගතවීමේ අවස්ථාද හිමිවන අතර විශාල වැටුප් ලබා ගැනීමේ හැකියාවද ලැබේ. මෙරට තමන්ගේම සේවා ස්ථානයන්හි ලක්ෂ ගණනින් ආදායම් උපදවන බොහෝ දෙනා සිටින බවද සිහි කළ යුතුමය.

පාලන කාර්යාලයේ පුද්ගල හා සමාජ සංවර්ධන පුහුණු නිලධාරිණි බී. එල්. තනුජා ගීතානි මහත්මිය ජාතික වශයෙන් දිවයිනේ අනෙකුත් රුපලාවණ්‍ය පුහුණු ආයතන අවශ්‍යතා සපුරන්නීය. ඇය මෙසේ පවසා සිටියාය.

රූපලාවණ්‍යය වෘත්තිය පුහුණුව ලැබීමෙන් නිරතවිය හැකි වන්නේ ස්වයං රැකියාවල පමණක් නොවෙයි. බොහෝ ආයතනවලට ශ්‍රමිකයින්ගේ ඉල්ලුමක් පවතිනවා. එය අපේ රටට පමණක් සීමා වූවක්ද නොවෙයි. මැද පෙරදිග යුරෝපිය රටවල සහ ආසියාතික රටවලටත් ඇත්තේ විශාල ඉල්ලුමක්. බොහෝ තරුණියෝ ඔස්ට්‍රේලියාව, නිව්සීලන්තය, කැනඩාව ඇතුලු බොහෝ රටවල ස්ථිර පදිංචිය සඳහා යෑමට NVQ 4 සහතිකය සඳහා යොමුවන ප්‍රතිශතය වැඩියි. රජයේ පුහුණු ආයතනයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප ලබා දෙන පුහුණුවේ විශ්වාසනීයත්වයක් ගොඩ නැගී තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු කිරීමේ අංශවල උපදේශිකාවන් ඉහළ නිපුණතාවක් ඇති අය වීම විශේෂත්වයත් නුතන පුහුණු ක්‍රම මෙන්ම ඔවුන්ගේ පුහුණු ක්‍රමවේදයන් වරින් වර යාවත් කාලින කිරීම පරිපාලන අංශයෙන් සිදු කෙරෙනවා. දේශීය මෙන්ම විදෙස් පුහුණුවීම් වෙත යොමු කිරීමත් බොහෝ අවස්ථාවල දී රූපලාවණ්‍යය පිළිබඳව විදෙස් විශේෂඥ සහාය නිරන්තරයෙන් ලබා ගැනීමත් කරනවා. අවශ්‍ය අයට NVQ 7 මට්ටම දක්වා පුහුණව ලබා කළමණාකාර තත්ත්වය හෝ උපාධියක් දක්වා යා හැකියි. වසරකට දෙවරක් බඳවා ගැනීම් සිදු වෙනවා. උනන්දුවක් දක්වන අයට දිවයිනේ පිහිට ඕනැම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් විස්තර ලබා ගත හැකියි.

පන්නිපිටිය විශේෂ
අනිල් ලසත් පෙරේරා 

 

Comments