කුඩුවලින් මතු වූ පාතාලය කුඩු නිසා කුඩු වෙයි | සිළුමිණ

කුඩුවලින් මතු වූ පාතාලය කුඩු නිසා කුඩු වෙයි

පසුගිය දිනවල රටේ තැනින් තැන මිනිස් ඝාතන කිහිපයක්ම වාර්තා වූයේ අළු යට ගිනි පුපුරු මෙන් වරින්වර හිස ඔසවන පාතාල කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් දූෂණ වංචා නිසාවෙන් ගහමරාගන්නා මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිසා සිදුවූ ආසන්නතම මරණ දෙකක් වාර්තා වූයේ පසුගිය 19 වැනිදා ආමර්වීදියෙන් සහ අතුරුගිරියෙනි.

වෙඩි තැබීම් නිසා සිදුවූ එම මරණවලට අදාළ සැකකරුවන් තවම අත්අඩංගුවට ගෙන නොතිබුණත් ඊට ආසන්නතම හේතුන් පාතාල කල්ලි අතර හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව 19 වැනිදා පෙරවරු 10.45 ට පමණ ආමර්වීදිය පොලිස් වසමේ මැසෙන්ජර් වීදියේ නො. 122 දරන වෙළෙඳසල අසලදී මියගියේ ඉනසමුත්තු ඇන්ටනී රාජ් නමැති 42 හැවිරිදි දෙමටගොඩ, වේළුවන පාර, අංක 25/01 දරන ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහු තම බිරිය වන 38 හැවිරිදි සුරංගිකා සමඟ CAS 8088 දරන රතු පැහැති මෝටර් රථයෙන් අලුත්කඩේ අධිකරණයට පැමිණ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් එම වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබේ. ඉන් ඇන්ටනී රාජ් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයද්දී ඔහුගේ බිරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි. සැකකරුවන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔවුන් පලා යන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවල පටිගත වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ දෙමටගොඩ උපන් ඇන්ටනීගේ ඉතිහාසය ගැන සොයා බැලීමේදී ඔහු 2005 වස‍රේදී හෙරොයින් කිලෝ එකහමාරක් ළඟ තබාගැනීමේ වරදට වසර 15කට සිර දඬුවම් නියම වූවෙකි. ඒ අනුව වසර 11ක් සිරබත් කෑ ඇන්ටනී පසුගිය වසරේ ජුලි 28 වැනිදා නිදහස ලබා තිබේ. 2005 වසරේ බන්ධනාගාරගත වන්නට පෙර සිටම ඇන්ටනීට මාකඳුරේ මධුෂ්, දෙමටගොඩ චමින්ද වැනි පාතාල සාමාජිකයන්ගේ ඇසුර ලැබීමට ඔහුට අවස්ථාව ලැබී ඇති බවටද තහවුරු වී තිබේ. පසුව ඇන්ටනී ගිය වර්ෂයේ නිදහස්ව පැමිණීමෙන් පසුව තමාගේම ව්‍යාපාරයක් ලෙස කුඩු ව්‍යපාරයක් තනිව කරගෙන ගොස් ඇති බවට වාර්තා වුවත් එම ජාවාරම අභ්‍යන්තරයේද මධුෂ් සිටිය බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

මේ ව්‍යාපාරය ඇන්ටනීට මෙවන් ඉරණමක් අත්කර දීමට හේතු වන්නට ඇති බව විශ්වාස කෙරේ. මොහු ජීවිතක්ෂයට පත්වූ මෝටර් රථය ඇතුළු සියලුම දේපොළ තම බිරියගේ නමට තිබීමද මෙහි තිබෙන විශේෂත්වයකි. එසේම ඇන්ටනී රාජ් සිරගතව සිටියදී ඔහුගේ බිරිය විසින් මධුෂ්ගේ කුඩු ජාවාරම සිදුකර ඇති බවත් ඒ සඳහා ‍මධුෂ්ට නිසි පරිදි මුදල් ලබාදී නොමැති බවද වාර්තා වේ. මෝටර් රථය තුළ තිබී පිහියක්ද හසුවීමෙන් ගම්‍ය වන්නෙ ඇන්ටනී රාජ් තමාට කුමන හෝ වේලාවක මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුවෙතැයි බියෙන් ජීවත්වූ බවට සැක පහළ වන බව පොලීසිය සඳහන් කරයි. මීට දින කිහිපයකට කලින් අලුත්කඩේදී මොහොමඩ් රිස්වාන් නමැති පාතාල සාමාජිකයා ඝාතනය කිරීමට සමයංගේ කල්ලියට හෝඩුවාවන් දී ඇත්තේ ද ඇන්ටනී රාජ් බවට සැක පහළ වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් මධුෂ්ගේ සැලැස්මක් අනුව ඇන්ටනී ඝාතනය කරන ලද බවට සැක පහළ වෙද්දී වෙනත් පාතාල කණ්ඩායමකගේ ගොදුරක් වූවාද යන්න ගැනත් අවධානය යොමු කරමින් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

එසේම එදින සවස තවත් ඝාතනයක් වූයේ අතුරුගිරිය, ඔරුවල, ගල්වරුසා පාරේදීයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 43 හැවිරිදි නිමල්සිරි තලගල නොහොත් පොඩි සුදුවා එදින සවස 5ට පමණ ඝාතනය වූයේ යතුරුපැදියකින්ම පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙකු එල්ල කළ වෙඩි පහරකිනි. පොඩි සුදුවා ලෙස ප්‍රකට කඩුවෙල, කොරතොට, පුවක්ගහදෙණිය පාරේ පදිංචිව සිටි නිමල්සිරි, කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය රණාල සමයංගේ ප්‍රධාන ගෝලයෙකි.

අමර්වීදිය ඝාතකයන් සහ පොඩි සුදු ඝාතකයන් එකම පිරිසක්ද යන්න තවමත් තහවුරු වී නොමැති වුවත් මේ ඝාතන දෙකෙහි එකිනෙකට සමානතාවක් පෙනෙන්නට තිබෙන බව පොලීසියේ මතයයි. මේ සියලු ඝාතකයන් ඉක්මනින්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් පරීක්ෂණ සූක්ෂ්ම අයුරින් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන්කොට සිටියේය.

මේ අතරේදී පසුගිය 21 වැනිදා උදෑසන කතරගම බස් නැවතුම්පොළේදී පොලිසියේ බුද්ධි අංශයේ සේවය කරන කොස්තාපල්වරයකුටද වෙඩි තබා තිබිණි. කොස්තාපල් පුෂ්පකුමාර කොඩිතුවක්කු වන ඔහු තම නිවෙසේ සිට රාජකාරි ස්ථානය වන තංගල්ල පොලීසියට පැමිණීම සඳහා බස් නැවතුම්පොළ වෙත යමින් සිටියදී ත්‍රිවිලරයකින් පැමිණ ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය සිදුකොට තිබිණි. එම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බව තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා කීවේය.

කොස්තාපල්වරයාගේ නිවෙස පිහිටි ඉඩමත්, යාබද ඉඩම අතර තිබෙන වැටකඩුලු මායිම් ගැටුමක් උත්සන්න වී පෙර දින සිදුවූ බහින්බස් වීමේ රණ්ඩුවක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට සඳහන් වේ.

පාතාලයට ‘තිත' තැබීමට පොලීසිය සියලු සැලැසුම් සකස් කරද්දී ඉකුත් 07 වැනිදා කෙසෙල්වත්තෙ කුණු ගොඩක දමා ගොස් තිබූ බෑගයක තිබී හමුවූ අංගොඩ කොස්මල්ලි නොහොත් ශාන්ත කුමාරගේ හිස කොටසට අයත් කඳ කොටස සොයා ගැනීමට පසුගිය 18 වැනිදා පොලීසියට හැකි විණි. ඒ අඟුණුකොළපැලැස්ස, ගෝඨාභයගම කෙසෙල් ඉඩමක වළ දමා තිබියදීය. ඊට අමතරව ඔහුව පොල් ගසක බැඳ වෙඩි තබා ඝාතනයට යොදාගත් ටී56 ගිනිඅවියද සොයා ගැනිණි. කොස්මල්ලි යනු අලුත්කඩේදී මියගිය මොහොමඩ් රිස්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකි.

මේ සියලු අනාවරණයන්ට උපකාරී වූයේ කඹුරුපිටිය ගතාරේ පිහිටි මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවෙසේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණුයි. කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඕ. යූ. ජයශාන්ත මහතාට ලැබුණු ඔත්තුවක් අනුව සිදුකළ වැටලීම්වලදී ඔවුන් කොටුකර ගැනීමට හැකි විණි. එහිදී දෙදෙනකු පලා යෑමට තැත් කිරීම නිසා ඔවුන් කොටුකර ගැනීමට කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ. ඒ. සමන් මහතා ඇතුළු කණ්ඩායමකගේ සහායද ලබා ගැනීමට සිදුවිණි. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ඔත්තු දුන්නේ යැයි පවසමින් මධුෂ් ඩුබායිහි සිට ඔහුගේ පුංචි අම්මාගේ නිවෙස අසල පදිංචි පොලිස් සැරයන්වරයකුට මරණ තර්ජනද එල්ල කර තිබිණි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත හෙළි වී ඇති ආකාරයට කොස්මල්ලි ඝාතනයද එකට එක කිරීමක් ලෙස මධුෂ්ගේ ක්‍රියාදාමයකි.

මාකඳුරේ මධුෂ් ලක්ෂිතගේ සමීපතම පාතාල සාමාජිකයකු වූ මොහොමඩ් රිස්වාන්ගේ ඝාතනයට පළිගැනීමක් ලෙස සමයංගේ සමීපතම ගෝලයකු ද වූ කොස්මල්ලි මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

සොත්ති උපාලි, ගෝනවල සුනිල්, නාවල් නිහාල්, මොරටු සමන්, පාමංකඩ අශෝක වැනි පාතාලයේ රජුන් වීමට සිහින දකිමින් සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලියට පහර වැදුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය කළ සූක්ෂ්ම මෙහෙයුමකින් මධුෂ්ගේ ගෝලයකු වූ වැලිගම චින්තක මල්ලි කොටුකර ගැනීමෙනි. ඉන් පසුව බැද්දගානේ පිහිටි මධුෂ්ගේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානය වැටලීම නිසා ඔවුනගේ සියලු කටයුතු අඩපණ වීමෙන් පාතාල සාමාජිකයන් අතර ඇනකොටා ගැනීම ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව මේ සියලු දෙයින් අනාවරණය වනුයේ ඩුබායි වැනි දුරුකතරක සිට මාකඳුරේ මධුෂ් නමැත්තා මෙරට තුළ සිදුකරන ඝාතන වැලයි. ඩුබායිහි පවතින නීතිමය ලිහිල් භාවයෙන් මෙරට පොලීසියට මධුෂ්ව අත්අඩංගුවට ගැනීම අපහසු වී ඇතත් කෙසේ හෝ පොලිස් විශේෂ කාර්ය බළකාය අතිරේක කණ්ඩායම් ද කොළඹට කැඳවමින් පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් සිදුවන ඝාතන සංස්කෘතියට 'තිත' තැබීමට සූදානමින් සිටී. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු සියලුම පොලිස් ස්ථාන එක්ව කිසිදු පාතාලයකට හෝ දූෂිතයකුට හිස ඔසවන්නට ඉඩ හසර නොදී අපරාධ මැඬීමට ගත හැකි සියලුම ක්‍රමෝපායන් භාවිත කළ යුතු කාලය දැන් එළැඹ ඇත.

අමිල මලවිසූරිය

Comments