ක්ෂය රෝගය තුරන් කරන්නට ලොකුම බාධාව හඳුනා නොගත් රෝගීන් | සිළුමිණ

ක්ෂය රෝගය තුරන් කරන්නට ලොකුම බාධාව හඳුනා නොගත් රෝගීන්

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා ය. ලොව ඉපැරැණිතම ‍රෝගයක් ලෙස හැඳින්වෙන ක්ෂය ‍‍රෝගය තවමත් ලෝකයේ ජනතා සෞඛ්‍යයට බලපාන ප්‍රධාන ගැටලුවකි. වසරකට ලෝක ජනගහනයෙන් මිලියන දහයකට වැඩි දෙනෙක් ක්ෂය ‍රෝගයට ගොදුරු වෙති. ලෝකයේ වසරකට ක්ෂය රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යාව මිලියන එකකට වැඩි ය.

ශ්‍රී ලංකාවේ ද වසරකට ක්ෂය ‍රෝගීන් 8000 ක් පමණ හඳුනා ගැනෙති. 2017 වසරේ මෙරට අලුතින් හඳුනාගත් ක්ෂය ‍රෝගීන් සංඛ්‍යාව 8113 කි. ක්ෂය ‍රෝග මර්ධන වැඩසටහනට වාර්තා වූ සංඛ්‍යාව 8511 ක් වුවත් ක්ෂය රෝගයට ගොදුරු වූවන් 13,000 ක් පමණ වෙතැයි සැක කරන බව ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය පවසයි. හැඳින නොගත් රෝගීන් සංඛ්‍යාව 4000 – 4500 ක් පමණ වෙතැයි ද වෛද්‍ය ආරියරත්න කියයි. හඳුනාගත් ‍රෝගීන් ගෙන් 484 ක් මින් පෙර රෝගය වැළඳී ප්‍රතිකාර ලබාගත් රෝගීන් ය. 2017 වසරේ ක්ෂය රෝගයට ගොදුරු වූ ළමුන් ගේ ප්‍රතිශතය මුළු ‍රෝගීන් සංඛ්‍යාවෙන් 2.9% කි. හඳුනා නොගත් ළමා රෝගීන් 5 – 8% ක් පමණ වෙතැයි සැක කරන බව ද වෛද්‍යවරිය පවසයි.

වසරකට මෙරට ක්ෂය රෝගය හේතුවෙන් 400 - 500 ක් පමණ මිය යති. ලෝක ජනගහනයෙන් 1/3 ක් ම ක්ෂය රෝග බැක්ටීරියාවට ගොදුරුව සිටිති. 2016 දී ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන 10.4 ක් සිටි බව වාර්තාවේ. ඔවුන් අතරින් ක්ෂය රෝග මර්ධන වැඩසටහන්වලට වාර්තා වී ඇත්තේ 61% ක් පමණි. මොවුන් ගෙන් 2/3 ක් ම පිරිමි ය. ලෝකයේ මරණයට හේතු වන රෝග අතර 9 වැනි ස්ථානය ක්ෂය රෝගයට හිමි වෙයි.

ක්ෂය ‍රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (Mycobacterium Tuberculosis) නම් බැක්ටීරියාව මඟින් වැළදේ. රෝගියකු කසින කිවිසින විට වාතයට මුසු වන සෙම බිඳිති මඟින් ආශ්වාසය හරහා රෝගය වැළ‍ඳේ. බැක්ටීරියාව ශරීරගත වන සෑම පුද්ගලයකුම රෝගයට ගොදුරු නොවේ. එහෙත් රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කලක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව රෝගය වැළ‍ඳේ. ප්‍රතිශක්තිය හීන වූ කල නිරායාසයෙන් ම රෝගයට ගොදුරු වේ.

මන්ද පෝෂණය, එච්.අයි.වී. ආසාදිතයන්, දියවැඩියාව, මත් වතුර දුම් වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි ප්‍රතිශක්තිය ඌන පුද්ගලයන්ට පහසුවෙන් රෝගය බෝවේ. පෙනහළු ගත ක්ෂය රෝගීන් 80% ක් පමණ වන අතර සිරුරේ ඕනෑම ස්ථානයක ක්ෂය රෝගය ඇතිවේ. රෝගය වඩාත් පැතිරයන්නේ පෙනහළු ආශ්‍රිත රෝගීන් ගෙනි‍. සති දෙකකට වඩා පවතින කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. මද උණ ගතිය රාත්‍රී කාලයේ දහදිය දැමීම, බර අඩුවීම අධික වෙහෙස, පපුව රිදීම හෝ සෙම් සමඟ ලේ පිටවීම් රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය.

සෙම පටල පරීක්ෂාව රෝගය නිශ්චිතව හඳුනාගත හැකි හොඳම ක්‍රමය වේ‍. ක්ෂය රෝගය හඳුනාගත් විගස ඖෂධ අරඹා දින දෙකක් ගත වූ විට තවත් අයකුට රෝගය බෝ කිරීමේ හැකියාව නැති වෙයි. පෙර මෙන් නොව දැන් ඖෂධ වර්ග හතරකින් රෝගය ස්ථිරවම සුව කළ හැකි යැයි ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා පවසයි. අඛණ්ඩව මාස හයක් බෙහෙත් ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුව වේ.

හඳුනා නොගත් ක්ෂය රෝගීන් රෝගය රටින් තුරන් කිරී‍මට ඇති ලොකුම බාධාව බව ද වෛද්‍ය ආරියරත්න පවසයි. ක්ෂය රෝගීන් සමාජයෙන් කොන් කිරීමෙන් ඔවුන් රෝගය සඟවා ගෙන සමාජයෙහි සැරි සැරීමෙන් අන්‍යයන්ට ද රෝගය බෝවේ. එක් රෝගියකුගෙන් නිරෝගී පුද්ගලයන් 10 – 15 කට රෝගය බෝ වීමට ඉඩ තිබේ. එහෙයින් ක්ෂය ‍රෝගීන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. පෙර මෙන් දැන් එය මාරාන්තික නොවන හෙයින් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් දිවි රැකගත හැකි ය. අඛණ්ඩව බෙහෙත් ගැනීමෙන් ස්ථිර සුවය ලද පසු සුපුරුදු පරිදි සුවෙන් දිවි ගෙවන්නට හැකිවේ. ක්ෂය රෝගය සඳහා සෙම පරීක්ෂාව ළය රෝහල් මෙන් ම සෑම රජයේ රෝහලකදීම නොමිලේ සිදු කරගත හැකි ය. 2030 වනවිට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීම ක්ෂය රෝග මර්ධන වැඩසටහනෙහි ඉලක්කය වී තිබේ. ඒ සඳහා අප අතර ගැවසෙන ආසාදිතයන් ගෙන් 90% ක් වත් හඳුනා ගත යුතු ය. තවමත් මෙරට හඳුනාගනු ලබන්නේ 60% ක් පමණි. සමාජයෙහි ගැවසෙන ‍රෝගීන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් තමන්ගේ සෞඛ්‍ය මෙන් ම පොදු ජනතාවගේ සෞඛ්‍යය ද රැක ගත හැකි වන බව ක්ෂය රෝග මර්දන වැඩසටහන අවධාරණය කරයි.

සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූපය - සිරිපාල හල්වල

Comments