අලිමංකඩ | සිළුමිණ

අලිමංකඩ

 “අසූව දශකයේ මුල කාලයේ මහවැලි පරිසර ව්‍යාපෘතියට තරුණ උපාධිධාරීන් බඳවාගෙන පුහුණුව ලබා දෙන වැඩපිළිවෙළක් තිබුණා. මමත් වන සත්ත්ව සංරක්ෂණ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙලා හිටියේ ඒ කාලේ. ඇමරිකාවෙන් පරිත්‍යාග කළ ජීප් ඒ ව්‍යාපෘතියට ලැබී තිබුණා. ඉදිරිපස පමණක් වීදුරුව, පිටුපස කැන්වස් රෙද්ද තිබුණේ. දවසක් නිල්ගලදී පිරිස එක තැනක කකා ඉන්න අලියෙක් දැක්කා. ඒ අය වාහනේ නතර කළා. එතැනම තිබූ පැල් කොටේක අගුවෙන් රිංගා ආ බලු නකුටෙක් බුරාගෙන ගියා අලියාව එළවන්න. මුලින් ගණන් නොගෙන හිටියත් ටික වේලාවකින් අලියා බල්ලට පයින් පාරක් දුන්නා. වේදනාවටත් එක්ක වැඩියෙන් බිරුවට අලියාට කේන්ති ගිහන් බල්ලා පස්සේ පැන්නුවා. ඌ රිංගගත්තේ වාහනේ බොනට් එක යටට. අලියා ආව ගමන් බොනට් එක පැගුවා. උපාධීධාරීන්ගේ කලිසම් හෝදන්න මට්ටමට ඇවිත් තිබුණා. මේ අස්සේ බල්ලා එළියට පැනලා ගෙට දිව්වා. අලියා බල්ලා පස්සේ දිව්වා. ඒ අතර පිරිස හිස් ලූ ලූ අත දුවලා පණ බේරගත්තා. ඒ නිල්ගල අලි මංකඩ සීමා නිර්ණයේ රසවත් කොටසක්. ඒත් නීරස දේ තාමත් ඒ මායිම් නර්ණය නොකළ එකයි. අදටත් නිතර පුවත්වල අලි ගැහුවා කියලා දකින්න ලැබෙන්නෙ ඔය මහියංගන කැලෑ පාරේන් මාදුරු ඔය දක්වා යන ඒ හරිය.” හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා වසර විසිපහකටත් පෙර අත්දැකීමක් ගෙන හැර පෑවේ අලිමංකඩවල යථා තත්ත්වය පැහැදිලි කිරීමට ප්‍රවේශයක් වශයෙනි.

“වන සත්තව හා වෘක්ෂලතා අඥා පනතට අනුව ලංකාවේ සංරක්ෂිත වනාන්තර වර්ග 7ට බෙදා තිබෙනවා. ජාතික වනෝද්‍යාන, යාල මධ්‍යම, රිටිගල, හග්ගල වැනි දැඩි රක්ෂිත, සෝමාවතිය ත්‍රිකෝණ මඩු රක්ෂිතය, ත්‍රිකෝණ මඩු සිට හබරණ සහ හබරණ සිගිරිය යා වන සාමාන්‍ය රක්ෂිතවලට අමතරව තිබෙන බලගතුම කලාපය වන්නේ වන සත්ත්ව පිවිසුම නැත්නම් Animal corridor. එයට අප අලි මංකඩ කියන්නේ, අලියා ලංකාවේ එකම සංක්‍රමණික ක්ෂීරපායියා සහ ගොඩ බිම විශාලතම සත්ත්වයා නිසායි. අනෙක් සතුන් එතරම් සංක්‍රමණික නෑ. වන සත්ත්ව පිවිසුම් ජාතික වනෝද්‍යාන තරමටම ඉහළ තත්ත්වයක තිබෙන නිසා, වනෝද්‍යානයකට අදාළ නීති රීති සියල්ල මෙයටත් අදාළයි, සමානයි. මිනිසුන්ට ඇතුළු විය හැක්කේ අවසර පත්‍රයක් මත, ගෙවල්හැදීම ආදි මිනිස් ක්‍රියාකාරකම් පවත්වන්න බෑ. ඒත් නීති උල්ලංඝනය වෙලා.”

මීට වසර 25-30ට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් උත්සාහය ව්‍යර්ථ වී ගිය අයුරු වෛද්‍ය අතපත්තු පෙන්වා දෙයි.

“අලි මංකඩක් වෙන් කරන්න පළමුවෙන්ම සීමා නිර්ණය කරන්න ඕන. පස්සෙ ඒ ස්ථාන වනසතුන්ගේ ගමන් බිමන් සඳහා බව සඳහන් කර රජයේ ගැසට් කරන්න ඕනා. ඊළඟට ඒ ප්‍රදේශය අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන්න ඕන ජාතික වන සත්ත්ව පිවිසුමක් ලෙස. ඒ ප්‍රදේශවල ගොවිතැන්, ගොඩනැඟිලි කොහොමත් තහනම්. ඒ වගේම හොරෙන් මැණික් ගරන්න, නිදන් කඩන්න, ගස් කපන්න, සතුන් දඩයම් කරන්න උත්සාහ කළොත් දඬුවම් ලැබෙනවා. ඒවා නතර කරන්න කියා නිවේදනය කළ පසු, පොලීසිය සමග වන ජීවිය ගිහින් මිනිසුන් ඉවත් කරවා වන සතුන්ට වෙන්කළ 13%ක් නොවන භූමි කොටසින් ඇතැම්විට ජලය විදුලිය සහිතව පවා ගෙවල් හදලා දෙන්න වෙනවා වන්දි ලෙස. එහෙම පදිංචි කළත් හේන් කෙටීම හෝ මැණික් මිණිරන් ගොඩදැමීම ඔවුන් අතහරින්නේ නෑ. එයින් කොරිඩෝව වන සතුන්ට ආරක්ෂා සහිත කලාපයක් වනනේ නෑ.

සුප්‍රසසිද්ධ අලි මංකඩක් වන ලුණුගම්වෙහෙරෙන් ගමන පටන්ගන්න අලි ඇතුන් 80-90ක් විතර පේලියට නිල්ගිරි කන්ද නැත්නම් විහාර කන්ද ඔස්සේ උඩවලව ජාතික වනෝද්‍යායේ මව්ආර පහුකරගෙන උද්‍යානය ඇතුළට පෙරහැරක් වගේ යනවා බලන්න ලස්සනයි. ඒත් මිනිස් ක්‍රියාකාරකම නිසා ඇතිවන දෝනා ආදියට කුඩා පැටවුන් වැටුණාම ගොඩ ගන්න බැරි වන අවස්ථා පවා තිබෙනවා. සමහර විට නිදන්කරුවන් වෙඩි තියනවා. ගස් කපන අය නම් අලිමස් නොකන නිසා වෙඩිල්ලක් නාස්ති කරන්නේ නෑ, වැඩක් නැති සතෙකුට. ඒ නිසා උණ්ඩයෙන් පරිස්සම් වුණත් මිනිසුන් කැලෑ වැදී ඉඳීම උන්ගේ සාමාන්‍ය චර්යාවට බාධාවක්. සංක්‍රමණයට ගතවන කාලයත් වැඩි වෙනවා. ගහක් කපද්දි ලඳු පඳුරු ආදිය විනාශ වීමෙන් කෑම තිබෙන තැන් විනාශ වෙනවා.”

මේ ප්‍රදේශය 1998දී ගැසට් කළා. 1999දි මායීම් නිර්ණය ප්‍රකාශ කර ඉවත් වෙන්න කල් දුන්නා. ඒත් ඒ පවුල් 60-70 ඉවත් කරන්න ගියාම දේශපාලනඥයන් වන ජීවි නිලධාරීන්ට අකුල් හෙළනවා. ඒ නිසා තවමත් එය මිනිසුන්ගෙන් බාධා වුණු මංකඩක් ලෙස තිබෙන්නේ. නිල්ගල හරහා බිබිලේ සිට මහියංගනය දක්වා වැටුණු රජකාලේ ආයුර්වේද ඔසු උයනේ අරළු බුළු නෙල්ලි ශාක අද පවා පේලිය ට වැඩී තිබෙන ආකාරයෙන් එය නඩත්තු කළ එකක් බව පැහැදිලියි. අලින්ගෙන් කිසි හානියකුත් නෑ. මේ අලිමංකඩේ තැන් කීපයකම හේන් කොරටු තිබෙනවා. එය එතරම් ලොකු හානියක් නොවන්නේ සංක්‍රමණය කාලෙට හේනේ අස්වැන්න නෙලාගෙන තිබිම නිසයි. අලින් වගේම ගමේ මිනිසුන් අවබෝධයෙන් ජීවත් වෙන්නේ. පසුගිය කාලයේ රජය මුල් වී අක්කර 500 කෘෂිකර්මය දියුණු කරන්න අපේ විරෝධය නොතකා ඇතැම් ප්‍රසිද්ධ අයට දී තිබෙනවා.”

එවැනිම තවත් මංකඩක් වෛද්‍ය අතපත්තු අවධානයට යොමු කළේය.

“මාදුරු ඔය උල්හිටිය සිට වස්ගමුව දක්වා යන මංකඩ සෑහෙන අලි මිනිස් ඝාතන සිදු වූ තැනක්. එහි සැළැස්ම හදද්දි දන්නා අය මොළේ ඇතිව කීවා අලි එන නිසා කොලනි හදන්න එපා කියල. ඒත් කඩිනම් මහවැලි ව්‍යාපාරයේදි උල්හිටිය වස්ගමුව මාදුරු ඔය අලි මංකඩ බුල්ඩොසර් වෙලා කඩතොලු වුණා. එයින් ගිරාඳුරු කෝට්ටේ දෙහි අත්ත කණ්ඩිය වැනි මහවැලි සී කලාපේ අලි මිනිස් ගැටුම වැඩි වුණා. අපේ දක්ෂ අලි අල්ලන්නකු වූ මන්සුර් අලි පහරින් මියගියේත් ඒ ප්‍රදේශයේදියි. ඒත් අදටත් එහිද සීමා නිර්ණය කර නෑ.”

අලිමංකඩ නමින්ම ඇති ප්‍රදේශයට ඒ නම ලැබුණු හේතුවද වෛද්‍ය අතපත්තු හෙළි කළේය.

“ආදි කාලේ සිටම යාපනයට ආසන්න අලි මංකඩට ඒ නම වැටුණේ අලි ඔතනින් ලුණු කන්න පමණක්ම ගමන් කළ නිසා. දැන් අලි නොගියත් නම තිබෙනවා. අලි ආවත් එළවනවා. යාපනය අර්ධද්වීපයට දැන් අලින්ට එන්න බෑ. මගේ අධ්‍යයනයට හසු වී තිබෙනවා, අලින් රංචු පිටින් මරා අහවර කළාම උන්ගේ සංක්‍රමණික රටාවල් එහෙමම වැළලී යන හැටි.”

මේ තොරතුරු හෙළි කරමින් වෛද්‍ය අතපත්තු ඉල්ලීමක් කළේ අදාළ බලවතුන්ගෙනි. එය අලි මිනිස් ගැටුම සමථයකට පත් කිරීමේ ප්‍රධාන සාධකයද අලි ඇතුන් සංරක්ෂණයේ ප්‍රධාන අවශ්‍යතාවක්ද වෙයි.

“අලි මිනිස් ගැටුමට මූලික වන්නේ උන්ගේ මංකඩවල් අප අහුරාගෙන සිටීමයි. ඒ නිසා පළමුවෙන්ම ඒ ප්‍රදේශ අප උන් සඳහා වෙන් කළ යුතුයි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලුණු ගම් වෙහර නිල්ගිරි පර්වතය ඔස්සේ වැටෙන මඟ, බිබිල සිට මහියංගනය වස්ගමුව සහ මාදුරුඔය උල්හිටිය හරහා යන මංකඩ සහ සෙල්ලක්කා ඔය අභයභූමියට වැටෙන ලාහුගල සිට සෙල්ලක්කා ඔය ඔස්සේ ගල් ඔයට වැටුණු අලි මංකඩ යන ස්ථාන තුනයි. අලිමංකඩක් මහා මඟක් වගේ පටු මාර්ගයක් නොවේ. අලින්ගේ පාර එක දිගට යන්නේ නෑ. ඒ නිසා කලාපයම සීමා නිර්ණය කරන්න සිදුවනවා. බෝඩ් ගහලා වමෙන් දකුණෙන් හැරෙන්න කියන්න බෑ. නීති දාන්න බෑ. ඒ නිසා ඒවා උන් රිසි සේ පරිහරණය කරන අයුරු බලා සීමා නිර්ණය කළ යුතුයි. මා දන්නා කාලයේ රක්ෂිතයක් ලෙස තිබුණු වන බිමකින් අක්කර දහසක් සහ වස්ගමුවේ තවත් අක්කර දහසක් මහවැලි ගඟ අයිනෙන් බෙදා දුන්නා. මේ දේවල් බලවතුන් තමන්ගේ අභිමතය පරිදි හොඳ හිත දිනා ගන්න කළත් එයින් දුක් විඳින්නේ අසරණ අලින් සහ අසරණ මිනිසුන් මිස ඒ බලවතුන් නොවෙයි. මෙය දිගින් දිගටම නොසලකා සිටියොත් ඉදිරියේදි මීට වඩා ලොකු ගැටලුවකට දෙපිරිසටම මුහුණ දෙන්න සිදු වෙයි” වෛද්‍ය අතපත්තු කීවේ කණගාටුවෙනි.

අරුණි මුතුමලී 

Comments