ශ්‍රී ලංකාව සහ තායි­ල­න්තය: නිමක් නැති සහ­යෝ­ගි­තාව! | සිළුමිණ

ශ්‍රී ලංකාව සහ තායි­ල­න්තය: නිමක් නැති සහ­යෝ­ගි­තාව!

රට පුරා වැඩිම පන්සල් ගණන පාලනය කළ සියම් නිකායේ පුනර්ජීවනය, බටහිර ආභාසය වැඩියෙන්ම බලපෑ මුහුදුබඩ පලාත්වල පවා බුදු සමයේ පුනරුදයකට තුඩු දුන්නේය. දකුණු වෙරළබඩ තීරයේ බලවත් වූ බොහෝ කුලවලටඅයත් වූ, සියම් නිකායට ඇතුළු වීමට අවසර නොලද්දෝ බුරුම භික්ෂූන්ගෙන් උපසම්පදාව ලැබීම නිසා ‘අමරපුර’ සහ ‘රාමඤ්ඤ’ යන නම්වලින් හඳන්වනු ලැබූ ඔවුන්ගේම නිකායයන් පිහිටුවාගත්හ. මේ භික්ෂූන්, දකුණේ සියම් නිකායික භික්ෂූන්ද සමඟ එක්ව ප්‍රබල තැනක් ඒ ප්‍රදේශයේ පිහිටුගත්තා පමණක් නොව, අධිරාජ්‍යවාදී අනුග්‍රහය නිසා වඩා බලවත් වෙමින් සිටි ක්‍රිස්තියානි මිෂනාරීන්ට අභියෝගයක් වන්නට වූහ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක්හි චූලංකෝන් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය අමතා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කළ දේශනයයි මේ.

මේ සම්මන්ත්‍රණයේ මාතෘකාව ‘ශ්‍රී ලංකාව සහ තායිලන්තය: නිමක් නැති සහයෝගිතාවක්’ යන්නයි. එය ඉතා යෝග්‍ය වන්නේ නොයෙක් බැඳීම් සහිත වූ අප දෙරටේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් ඒ මාතෘකාවෙන් යා කෙරෙන නිසයි. මේ අන්‍යෝන්‍ය බැඳීම් අතර වඩාත්ම වැදගත් වන්නේ ථේරවාදි බුදුදහම පිළිබඳ පොදු උරුමය මත පදනම් වූ අපේ සම්බන්ධතාවයි. මෙය හොඳින්ම ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ ‘සියම් නිකාය’ පිහිටුවීම සහ තායිලන්තයේ ‘ලංකා නිකාය’ පිහිටුවීම මඟිනි. අතීතම යුගයේ ‘සුඛෝතායි’ සහ ‘අනුරාධපුරය’ අතරත්, මධ්‍යතන යුගයේ ‘අයුත්ද්යා’ සහ ‘මහනුවර’ අතරත් නූතන යුගයේ ‘බැංකොක්’ සහ ‘දක්ෂිණ ලංකාව’ අතරත් වූ ඒ බෞද්ධ සබඳතා දැන් වර්තමානය දක්වා දිගු වී තිබේ. මේ ආදි බෞද්ධ ශිෂ්ටාචාරමය මධ්‍යස්ථාන දෙක අතර, බෞද්ධ කලා සහ වාස්තු විද්‍යාත්මක පොදු ලක්ෂණ විද්‍යමාන වීම මඟින් අපේ සබඳතාවල ප්‍රබලතාව පිළිබිඹු වීම නව පර්යේෂණවලින් විශද වන බව කීම හැරෙන්නට, මධ්‍යතන යුගයේ සබඳතා ගැන මගේ මේ කරුණු දැක්වීමේදී සඳහන් කරන්නට අදහස් නොකරමි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගය, සංඝ සහ ගිහි සංවිධාන අතින්, මෙයට පෙර ශාස්ත්‍රඥයන් විසින් විස්තර කළාට වඩා සංකීර්ණ වූ බව දැන් පෙනී ගොස් තිබේ. උදාහරණයක් ලෙස සාම්ප්‍රදායික මහාවිහාරයට, මහායාන මතවලින් ආභාසය ලැබූ වෙනත් ථේරවාදි නිකායවලින් අභියෝගයක් එල්ල වූ බව පෙනෙන්නට තිබේ. මෑත කාලයේ කැණීම්වලදී එවැනි විවිධත්වයක් පිළිබඳ සාක්ෂි මතු වී තිබේ. ඒ අතර අනුරාධපුරයේ කැණීම්වලදී මතු වූ සුප්‍රසිද්ධ ප්‍රඥා පාරමිතා මහායාන සූත්‍රය ලියන ලද රන් පත් ඉරු රැසද වෙයි. මෙවැනි කරුණු දැන් අප දන්නා පරිදි මුහුදු මාර්ගවලින් පමණක් නොව, ගොඩබිම සේද මාවත් මගින්ද සම්බන්ධ වී තිබුණු අනුරාධපුරය සහ සුඛෝතායි වැනි පුරාණ බෞද්ධ මධ්‍යස්ථාන පිළිබඳ අලුතින් සිතීමට අප පොලඹවයි. මේ බෞද්ධ මධ්‍යස්ථාන පෙර අප සිතුවට වඩා සංකීර්ණ සහ විවිධ මතධාරි විය. ශ්‍රී ලංකාවේද සුඛෝතායිවලද පසුව චෙංමාවලද විහාරමය වාස්තුවිද්‍යාත්මක සම්බන්ධකම් දැන් හොඳින් තහවුරුව තිබේ.

මම දැන් 17 සහ 18 ශත වර්ෂවල ශ්‍රී ලංකා - තායි සම්බන්ධතා පිළිබඳ වූ ඉතා වැදගත් වර්ධනයක් වෙත යොමු වෙමි. මෙය බටහිර බලවතුන් තම ආධිපත්‍යය ආසියාවේ තහවුරු කරගෙන සිටි අවධියක් විය. පෘතුගීසීහු 1505දී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදුකරයට ඇතුළු වූහ. ඔවුන්ට පසුව පැමිණී ලන්දේසීහු, පෘතුගීසින් 1658දී පලවා හැර, මුහුදුබඩ ප්‍රදේශවල තම ආධිපත්‍යය පිහිටුවාගත්හ. කෙසේ වුවද මේ කාලපරිච්ඡේද තුළ මහනුවර අගනුවර කොට පිහිටි මධ්‍යම කඳුකරය ස්වාධීනව පැවතිණි. මේ ස්වාධීනත්වයේ වැදගත්ම අංගයක් වූයේ බුදුන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ රජතුමා භාරයේ පැවතීමත්, ඒ ධාතූන් වහන්සේ ලොව පුරා බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වෙමින් මහනුවර දළදා මාලිගාවේ වැඩසිටීමත්ය. එවැනි බෞද්ධ වන්දනාකරුවන් අතර 1897දී ශ්‍රී ලංකාවට සැපත්ව, මහනුවර කරා ගමන් කළ චූලංකෝන් මහරජතුමාද විය.

පෘතුගීසීන් සහ ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශවල පැළපැදියම් වන කාලය වන විට සිංහල සංඝයා වහන්සේ බෞද්ධ භික්ෂුත්වයේ ආවේණික අංග රාශියක් අත්හැරදැමූ පරිහානි තත්ත්වයකට පත්ව සිටියහ. භික්ෂූහු ඉඩම් හිමිකරුවන් සහ යාගහෝම විශේෂඥයන් බවට පත්ව සිටියහ. ඔවුන් හැඳින්වුණේ සම්ප්‍රදායානුකූලව යෙදෙන ‘ස්වාමීන් වහන්සේ’ හෝ ‘උන්නාන්සේ’ යන පදවලින් නොව ‘ගණින්නාන්සේ’ හෝ ‘ගණවොලින්’ යන නම්වලිනි. විශාල හෝ කුඩා විහාර දේපොළ භාරකරුවන් ලෙස සිටි බොහෝ ගණින්නාන්සේ බ්‍රහ්මචාරීහු නොවූහ. විශාල හෝ කුඩා විහාර දේපොළ භාරකරුවන් ලෙස සිටි බොහෝ ගණින්නාන්සේලා බ්‍රහ්මචාරීහු නොවූහ. ඔවුන්ගේ අනියම් බිරියෝ සහ ළමා-ළපටි පන්සල් භූමිවල හෝ යාබද ඉඩම්වල පදිංචිව සිටියහ. ඒ නිසා එම දරුවන්ගේ සහ ඔවුන්ගේ පැවතෙන්නන්ගේ වාසගම් පවා ‘විහාර වලව්වේ’, ‘විහාර ගෙදර’ ආදි ලෙස ලේ නෑකම් හඟවන පරිදි විය. මේ ගණින්නාන්සේලාගේ ඇඳුම පවා බෞද්ධ භික්ෂූන්ට නියමිත චීවරවලට වෙනස් විය. විනය පිටකයෙන් තහනම් කරන ලද නොයෙක් පූජා විධිවල ඔවුහු යෙදුණහ. ඔවුන්ගේ බණ සහ පිරිත් දේශනාද ගැමි වන්දනාකරුවන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි යක්ෂයන්, ප්‍රේතයන් අවධාරණය කරනසුලු විය. වඩාත්ම අසතුටුදායක අංගය වූයේ උපසම්පදා කර්මය අතුරුදන්ව තිබීමයි. මහානායකවරුන් වුවද සිටියේ, හරිහැටි කීවොත් ‘සාමණේර’ තත්ත්වයේය. පාලි භාෂා නිපුණත්වය නැති වී ගොස් තිබිණි. බොහෝ ජ්‍යෙෂ්ඨ ගණින්නාන්සේලාගේ ලේඛනවලට විෂයය වූයේ නක්ෂත්‍රය, සුව කිරීමේ පූජා විධි සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයයි.

මේ අවාසනාවන්ත තත්ත්වයට එරෙහිව ප්‍රතික්‍රියාවක් ඉස්මතු වූයේ මල්වත්ත සහ අස්ගිරිය වැනි මධ්‍යස්ථානවලින් නොව, ගැමි භික්ෂූන් විසූ පරිධියෙනි. මේ ප්‍රතික්‍රියා ව්‍යාපාරයේ මූලිකත්වය ගත්තේ මහනුවර රාජධානියේ සීමාව බද තුම්පනේ ප්‍රදේශයේ පිටිසර ගමක් වූ වැලිවිට විසූ තරුණ සාමණේර නමකි. උන් වහන්සේ ‘වැලිවිට සරණංකර’ නම් විය. සොළොස්වන වියේදී සසුන්ගත වූ උන් වහන්සේ, මල්වත්ත විහාරය සමඟ වැදගත් සම්බන්ධකමක් තිබුණු යාබද සූරියගොඩ විහාරයේ විසූහ. වැඩිකල් නොගොස්, එවකට අභාවයට ගොස් තිබූ පාලි භාෂා ඥානය නැතිව ධර්මය හෝ විනය අවබෝධ කරගත නොහැකි බව වැලිවිට සරණංකර සාමණේරයන්ට තේරුම් ගියේය. පාලි භාෂාව පිළිබඳ මඳ වශයෙන් දැනීමක් පවා තිබුණේ රජතුමා විසින් අලගල්ල කඳුවැටියේ මහ කෙහෙල්වලට පිටුවහල් කරනු ලැබ සිටි ලෙව්කේ දිසාවටය. ලෙව්කේ දිසාවේගෙන් උගත හැකි ප්‍රමාණයට පාලි භාෂාවේ දැනීමක් ලබාගත් වැලිවිට සරණංකර සාමණේරයෝ ස්වෝත්සාහයෙන් ඒ දැනීම වැඩි-දියුණු කරගත්හ. ඉන් පසු උන් වහන්සේ එයට පෙර අවධියකදී, දෙවැනි විමලධර්මසූරිය රජුගේ රාජ්‍ය කාලයේදී (1687-1707), බුරුමයේ පළාතක් වූ අරකන් දේශයෙන් උපසම්පදාව ලබාගැනීමට ගත් ප්‍රයත්නයට සහභාගි වූ අයගෙන් ඉතිරිව සිටි වටපුලුවේ තෙරුන්නාන්සේ හමු වූහ. උපසම්පදාව නැවත පිහිටුවීමේ විමලධර්මසූර්ය රජුගේ ප්‍රයත්නය අසාර්ථක විය. සංඝයා වහන්සේ නැවත පරණ ගණිනාන්සේ පුරුදුවලටම ආපසු ගියහ. එසේ වුවද වැලිවිට සරණංකර තරුණ සාමණේර නම සංඝ ශාසනයේ දූෂිත තත්ත්වයට විරෝධය පළ කරමින්, සම අදහස් දරන වෙනත් භික්ෂූන්ද සමග ‘සිල්වත් සමාගම’ පිහිටුවාගත්හ. මේ සංශෝධනකාමි භික්ෂූහු ඔවුන්ගේ අල්පේච්ඡ පැවැත්මද ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කිරීම සහ තේරුම් කරදීම සඳහා වූ කැප වීමද නිසා කැපීපෙනුණහ. මේ කටයුතු නිසා වැලිවිට සරණංකර හිමියෝ එකල රජ කළ නරේන්ද්‍රසිංහ රජතුමාගේ (1701-1739) අවධානයට පාත්‍ර විය.‘රාජ ගුරු’ ලෙස තම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සරණංකර හිමියෝ උඩරට උපසම්පදාව නැවත පිහිටුවීම පිණිස අයුත්ද්යාවලට තානාපතිවරුන් යැවීම සඳහා මේ වන විට ආසියාවේ ප්‍රබල නාවික බලයක් පිහිටුවාගෙන සිටි ලන්දේසීන් සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු සැලැස්වූහ. ලන්දේසීහුද නොපමාව සාධනීය ප්‍රතිචාරයක් දැක්වූහ. ආසියා කලාපයේ ඔවුන්ගේ මූලස්ථානය පිහිටි බතාවියා හරහා දූත පිරිසක් යවන ලදි. නැව මුහුදුබත් වීම සහ යම් යම් අභ්‍යන්තර මතභේද නිසා අයුත්ද්යාවට යෑමේ ප්‍රථම ප්‍රයත්නයත් අසාර්ථක විය. එසේ වුවද අවසානයේ සියම් රාජ්‍යයේ බොරොම්කොට් රජතුමාගේ රජවාසල සමඟ දැඩි සම්බන්ධතාවක් ඇති කරගත හැකිවිය.

1739දී නරේන්ද්‍රසිංහ රජුගේ අභාවය උඩරට රජ පෙළපතේ බිඳීමක් සටහන් කළේය. එසේ වූයේ ඒ නිසා මදුරෙයිහි නායක්කර්වරුන් සිංහලයන්ගේ පාලකයන් බවට පත් වීම නිසායි. සිංහල රජපෙළපත අභාවයට ගිය අතර, මාතෘපාක්ෂික උරුමය අනුව වඩුග හෙවත් මලබාර් කුමාරයෙක් විජය රාජසිංහ (1739-1747) නමින් සිංහාසනාරූඪ විය. සිංහල රාජත්වයේ ‘නායක්කාර් යුගය’ මෙයින් ඇරඹිණි. උඩරට සාහිත්යරයේ මේ කාලපරිච්ඡේදය පරිහාස මුඛයෙන් ‘වඩුගයන්ගේ’ පාලනය ලෙසද හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ ආගමනය උඩරට රාජ්‍යයට නව සංකීර්ණත්වයක් එකතු කළේය. එසේ වූයේ, රජුට හිතෛශිවන්ත වුවද හින්දු ආගමික විශ්වාස මත පදනම් වූ තම චිරාගත චාරිත්‍ර-වාරිත්‍ර රැසක් අත්හැරීමට අකැමැති වූ අලුත් මලබාර් නායකයන් විසින් බලකාමි රදල පෙළැන්තියෙන් නියෝජනය වූ උඩරට සම්ප්‍රදාය අභියෝගයට ලක් කිරීම නිසාය.

නරේන්ද්‍රසිංහ රජුගේ ඉල්ලීම පරිදි, විජය රාජසිංහ තරුණයකු වශයෙන්, එවකට සිටි ප්‍රධාන බෞද්ධ උතුමන් ලෙස පිළිගනු ලැබ සිටි සරණංකර හිමි විසින් පුහුණු කරන ලදි. ඇත්ත වශයෙන් ‘මන්දාරම් පුවත’ නම් කාව්‍යයට අනුව, නරේන්ද්‍රසිංහගේ සිංහල යකඩ දෝලියකගේ පුත් වූ උනම්බුවේ බණ්ඩාර ඉක්මවා යමින්, සරණංකර හිමි විසින් තම ‘ශිෂ්‍ය කුමාරයා’ සිංහාසනාරූඪ කරවන ලදි. විජය රාජසිංහ ඇවෑමෙන් කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජ විය. එතුමාගේ රාජ්‍ය සමය බුදු සමයේ සහ සංඝ සංවිධානයේද, සිංහල සහ පාලි සාහිත්‍යයේද, බොහෝ වෙහෙර විහාර ඉදි කිරීමේද නවෝදයක් සටහන් කරයි. ඔහුගේ රාජ්‍ය සමයේ කලා සහ වාස්තු විද්‍යාව, දකුණු ඉන්දීය සහ සියම් ආභාසයන් අවශෝෂණය කරගැනීමට තරම් ශක්‍යතාවක් තිබුණු උඩරට බෞද්ධ සංස්කෘතියේ ඉහළම ස්වරූපය නිරූපණය කරයි.

එසේ වුවද කීර්ති ශ්‍රී රාජ්‍ය සමයේ අවසාන භාගයේ උඩරට භික්ෂූන්ගේ සහ රදළ පැලැන්තියේ කොටසකගේ විරෝධතා සහ කැරලිකාර තත්ත්වයන් ඇති විය. මේ තත්ත්වය රජු සහ සංඝරාජ හිමියන් අතර භේදයක් ඇති වීමට තුඩුදුන්නේ, රජ තනතුරට පත් කිරීමේ අරමුණ ඇතිව භික්ෂු වේශයෙන් ලංකාවට ගෙන්වාගෙන සිටි තායි කුමරකු වෙනුවෙන් රජුගේ විරුද්ධවාදීන්ට උන් වහන්සේගේ සහාය වී යැයි චෝදනාවක් නැඟුණු නිසාය.

කෙසේ වුවද වැදගත් වන්නේ කලින් කරන ලද ආයතනික වෙනස්කම් එසේම දිගටම පැවති බවයි. 1753දී සිංහල භික්ෂූන් මහනුවරදී උපසම්පදාවෙහි පිහිටුවන ලදි. මල්වත්ත සහ අස්ගිරිය මහා විහාර මෙම චාරිත්‍ර විධි දිගටම පවත්වාගෙන ගියේය. මේ සඳහා එකල ඔවුන් විසින් වෙන් වෙන්ව පිහිටුවන ලද සීමාමාලක තවමත් එසේම පවතී. මේ ආයතන දෙක මහනායකවරුන් සහ ජ්‍යෙෂ්ඨතම භිෙූන්ගෙන් සැදුම්ලත් ‘කාරක සංඝ සභා’ නම්වූ කළමනාකරණ කමිටුවලින් සමන්විත ධුරාවලින්ද පිහිටුවාගත්හ. සියම් නිකාය මේ සියම් සම්බන්ධය අවධාරණය කළේය. මේ තත්ත්වය පසු කලක බෞද්ධ භික්ෂූන් විසින් - විශේෂයෙන්ම දක්ෂිණ ලංකාවේ භික්ෂුන් විසින් - සියම් රජතුමා සිංහල බෞද්ධයන්ගේ අනුග්‍රාහකයකු වශයෙන් සලකනු ලැබීමට මඟ පෑදීය.

රට පුරා වැඩිම පන්සල් ගණන පාලනය කළ සියම් නිකායේ පුනර්ජීවනය, බටහිර ආභාසය වැඩියෙන්ම බලපෑ මුහුදුබඩ පලාත්වල පවා බුදු සමයේ පුනරුදයකට තුඩු දුන්නේය. දකුණු වෙරළබඩ තීරයේ බලවත් වූ බොහෝ කුලවලට අයත් වූ, සියම් නිකායට ඇතුළු වීමට අවසර නොලද්දෝ බුරුම භික්ෂූන්ගෙන් උපසම්පදාව ලැබීම නිසා ‘අමරපුර’ සහ ‘රාමඤ්ඤ’ යන නම්වලින් හඳන්වනු ලැබූ ඔවුන්ගේම නිකායයන් පිහිටුවාගත්හ. මේ භික්ෂූන්, දකුණේ සියම් නිකායික භික්ෂූන්ද සමඟ එක්ව ප්‍රබල තැනක් ඒ ප්‍රදේශයේ පිහිටුගත්තා පමණක් නොව, අධිරාජ්‍යවදි අනුග්‍රහය නිසා වඩා බලවත් වෙමින් සිටි ක්‍රිස්තියානි මිෂනාරීන්ට අභියෝගයක් වන්නට වූහ.

දහනව වන ශත වර්ෂයේ මේ බෞද්ධ පුනර්ජීවනයේදී බෞද්ධ රජකු පිළිබඳ මතය ප්‍රවර්ධනය කළ ලාංකික භික්ෂූහු බුරුමයේ සහ සියමේ රාජකීයයන් ගෞරවයෙන් සැලකූහ. ඔවුන්ගේ පරමාදර්ශි රජවරු වූවාහු ක්‍රිස්තියානි මිෂනරීන් අභියෝගයට ලක් කරමින් තායිලන්තයේ බෞද්ධ පුනර්ජීවනයකට නායකත්වය දුන් මොංකුට් හෙවත් හතර වැනි රාම රජතුමාය. ඔහුගේ රාජපද ප්‍රාප්තියත් සමඟ පාලි ධර්ම පුස්තක මත පදනම් වූ ථේරවාද බුද්ධධර්මය සියමෙහි රාජකීය ආගම බවට පත් විය.

මොංකුට් රජතුමා, පාලි භාෂාමය ත්‍රිපිටකයට අනුගත වීමද අල්පේච්ඡ ජීවන චරියාවක් අනුගමනය කිරීමද අවධාරණය කළ ධම්මයුතික නිකාය පිහිටුවීය. පාලි භාෂාව පිළිබඳ හසළ දැනීමක් තිබූ රජතුමා පාලි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කළේය. බෞද්ධ සංශෝධකයකු ලෙස මොංකුට් රජතුමා ලාංකික භික්ෂූන් සමඟ සම්බන්ධතා පැවැත්වීය. ඔහු ලාංකික සංඝයා වහන්සේ සමග ලිපි ගනුදෙනු කළේය. කතෝලික සහ මොංකුට් රජතුමාගේ බටහිර සහ ක්‍රිස්තියානු මිෂනාරීන් සමඟ සම්බන්ධය සංකීර්ණ වූවකි. නවීකරණකාරකයන් ලෙස් මොංකුට් රජතුමා සහ ඔහුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ පුත් චුලංකෝන් හෙවත් පස්වැනි රාම රජතුමා බටහිර පිළිවෙත් රාශියක් එක් කරගත් අතර මිෂනාරීන් සමඟ කිට්ටු සම්බන්ධතාවකින් සිටියහ. ඒ සමඟම, බුද්ධාගම රාජ්‍ය ආගම බවට උසස් කිරීමේදී ඔවුහු මිෂනාරීන්ගේ යම් යම් ක්‍රමවේදද උපයෝගි කරගත්හ. මොංකුට් සහ චුලංකෝන් රජවරු පාසල් පිහිටුවීමද, මුද්‍රණ යන්ත්‍ර භාවිතයද, බෞද්ධ ආගමික ආයතන සංශෝධනයද, පත්‍රිකා හා පොත් බෙදාහැරීමද, සමයාන්තර වැදගත්කම් පිළිබඳ විවාද පැවැත්විමද ධෛර්යවත් කළහ. එසේම සංඝයා වහන්සේ සමාජසේවා කටයුතුවල යෙදීමද ඔවුහු දිරිමත් කළහ. මෙය මිෂානාරීන් තම දායකයන් සඳහා ඉටු කළ සේවාවන් අනුකරණය කිරීමක් විය. සිහසුනට පත් වීමට පෙර මොංකුට් රජතුමා පිටිසර දීර්ඝ කාලයක් භික්ෂුවක සේ ගත කළ ජීවිතය එතුමා බෞද්ධ ක්‍රියාකාරිකයකු බවට පත් කළේය. ලාංකික භික්ෂූහුද එතුමා සමඟ පාලි භාෂාවෙන් ලිපි ගනුදෙනු කළහ. ඔවුහු තායි ‘වත්’ හෙවත් පන්සල් සමඟ සම්බන්ධකම් ඇති කරගත්හ.ඉවැංජලික මුද්‍රණාලයවලින් වැඩි වැඩියෙන් නිකුත් වන ප්‍රකාශනවලට පිළිතුරු දීම සඳහා, ඉතා තදින් ලාංකික බෞද්ධයන්ට වුවමනා වී තිබුණු මුද්‍රණාලයක් මිලයට ගැනීම සඳහා එතුමා මුදල් සැපයුවේය. මොංකුට් රජතුමා නවීන තාක්ෂණය යොදා ගැනීම අවධාරණය කළේය.

1815දී තම රජු අහිමි වූ සිංහල බෞද්ධයෝ ඉතිරිව තිබූ ථේරවාදි බෞද්ධ රාජ්‍ය දෙකේ පිහිට සහ ආරක්ෂාව අපේක්ෂා කළහ. බෞද්ධයන් සඳහා බුද්ධගයාවේ විශ්‍රාමශාලාවක් ඉදිකිරීමට බුරුමයේ තිබෝව් රජතුමා (1878-1885) ආධාර කර තිබිණි. එසේ වුවද 1885දී බ්‍රිතාන්‍යයෝබුරුමය අල්ලාගෙන තිබෝව් රජතුමා සහ ඔහුගේ පිරිවර ඉන්දියාවේ රත්නගිරියට පිටුවහල් කළහ. බුරුමය, බුද්ධගයාව හා සම්බන්ධ වුවද, සිංහල බෞද්ධයෝ, විශේෂයෙන්ම සංඝයා වහන්සේ, එවකට ‘සියම’ නමින් හැඳින්වුණු තායිලන්තයේ සම්බන්ධය අපේක්ෂා කළහ. බුරුමය බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත විජිතයක් බවට පත් වූ අතර, සියම ස්වාධීන රටක් ලෙස දිගටම පැවතියේය. සියම් නිකාය ඓතිහාසික හේතු නිසා කොහොමටත් සියමට ළං වූයේය. සුඛෝතායි යුගයේ සිට ශ්‍රී ලංකාව සහ සියම අතර ආගමික සහ කලා සම්බන්ධතා පැවතිණි. මොංකුට් හෙවත් හතරවැනි රාම රජතුමාගේ රාජපද ප්‍රාප්තියත් සමඟ පාලි ධර්ම පුස්තක මත පදනම් වූ ථේරවාදි බුද්ධ ධර්මය රාජකීය ආගම බවට පත් විය. ථේරවාදි බුදු සමයේ ආගමික සහ පුදපූජා වතාවත් සඳහා රාජ අනුග්‍රහය ලැබිණි. හින්දු සහ ගුප්ත විශ්වද එක් වූ, සංකලනාත්මක සියම් බුදු සමයේ, විවිධ ඇදහිලි ධාරා, තම්බයියා වැනි සමාජ මානව විද්‍යාඥයන් විසින් හෙළි කර තිබේ.ප්‍රධාන ලාංකික බෞද්ධ ක්‍රියාකාරිකයා වූ අනගාරික ධර්මපාල මහාබෝධි සමිතියේ මුල් අවධියේදී චූලංකෝන් රජතුමාගේ ඥාති සොහොයුරු, එරට අභ්‍යන්තර කටයුතු සහ අධ්‍යාපනය පිළිබඳ ඇමැති වශයෙන් පත් කරනු ලැබ සිටි දම්රොං රාජනුභාබ් කුමරු හමු විය. එවකට තායිලන්තයේ ප්‍රධාන චරිතයක් වූ ඒ කුමරු සියම නවීකරණය කිරීමට මුල් වූවකු වන අතර, සහ තායි රජපෙළපත සුඛෝතායි යුගයේ සිට පැවැතෙන්නක්ය යන සංකල්පය සමග ඔහුගේ නම ඈඳී පවතී.

තායි කුමරකු 1896දී වස්කඩුවේ සුභූති හිමියන් යටතේ මහණ වීමට තීරණය කිරීමත් සමඟ සියම සහ ලාංකික බෞද්ධයන් අතර සම්බන්ධය වඩාත් තහවුරු විය. පසු කලක ඔහු ලන්ඩනයේ තායි තානාපති කාර්යාලයේ නියුක්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඔහුගේ පැවිදි නම වූයේ ජිනවරවම්සයි. අමරපුර නිකායේ පැවිදි වී කොටහේන පන්සලේ විසුවද ජිනවරවම්ස භික්ෂු නම රටේ සියලු ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධකම් ඇතිව සිටියේය.

තායි රාජකීයයන් සහ සිංහල බුදු සමය අතර වූ මේ සම්බන්ධය අද දක්වාත් ශක්තිමත්ව පවතී. සියම් රජවරුන් කලින් කල ශ්‍රී ලංකාවට සැපත් වී ඇති අතර ඔවුහු ‘සියම් පන්සල’ නමින් හැඳින්වෙන කොළඹ දිපදුත්තමාරාමයේ දියුණුවට ආධාර කර තිබේ. තායි රජතුමා වාර්ෂිකව වස්සාන ඍතුව නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සමහර පන්සල් ගණනකට ‘චීවර’ පූජාවක් කරයි.

වර්තමාන කාලය දෙස බලද්දී, අපේ හොඳ ඓතිහාසික සබඳතා පදනම් කරගෙන ඉදිරියට යෑමේ අවස්ථා රැසක් ඇති බව පැහැදිලි වෙයි. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අපි වෙන් වෙන්ව ‘ආසියාන්’ සහ ‘සාර්ක්’ නම් වූ කලාපීය සංවිධාන දෙකකට අයත් වෙමු. එසේ වුවද සංචාරක කර්මාන්තය, මැණික් සහ ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ අප රටවල ආර්ථිකයන් අතර සම්බන්ධතා වැඩි වැඩියෙන් ඇතිව තිබේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කේන්ද්‍රීය ස්ථානයක් වන අතර, ඉන්දියාව සහ පාකිස්තානය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබේ. බංග්ලාදේශය සමඟ එවැනි ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතී. ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සහ අමෙරිකා එක්සත් ජනපදය තුළ GSP+ තත්ත්වය තිබේ. එහි සිට විශාල ඉන්දීය වෙළෙඳපොළ කරා ළඟා වීම ලෙහෙසිය. හොඳ ගුවන් ගමන් සබඳතාවක් ඇති අතර, පුද්ගලයන් අතර සම්බන්ධතා දියුණු වෙමින් පවතී. අවසාන වශයෙන් මම යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. අවුරුදු 50කට වැඩිකලක් තිස්සේ පවතින ලෝක බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකාව සහ තායිලන්තය විසින් එකතුව ප්‍රවර්ධනය කර තිබේ. අප දෙරට එකතුව ලෝකයේ ථේරවාදි බෞද්ධ රටවල දේශපාලනික සහ ආර්ථික සංවිධානයක් පිහිටුවීම සඳහා මුල් වීමට කාලය එළඹ තිබේ. අප දෙරටට අමතරව, හීනයාන හෙවත් ථේරවාදි බෞද්ධ සම්ප්‍රදාය පොදුවේ උරුම ගත්, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමය යන රටවල්ද තිබේ. අතීතයේ කුමන මතවාදි වෙනස්කම් තිබුණද අද බෞද්ධ උරුමයේ අංගයක් වූ ක්ෂාන්තිවාදි දර්ශනය මත පදනම්ව අලුත් සහයෝගිතා හැඟීමක් ජනනය කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. මේ කලාපයේ බුදු සමය ප්‍රචලිත කිරීම ධෛර්යවත් කළ බෞද්ධ රජතුමකුගේ නමට ගෞරව කිරීම සඳහා පිහිටුවා ඇති චුලාංකෝන් විශ්වවිද්‍යාලයට අද ලෝකයටම අත්‍යවශ්‍ය වී ඇති එවැනි සංවිධානයක් පිහිටුවීමෙහි ලා විශාල මෙහෙයක් ඉටු කළ හැකිය.

Comments