යොවුන් පර­පුර එගොඩ කරන පාරු කෙල්ල | සිළුමිණ

යොවුන් පර­පුර එගොඩ කරන පාරු කෙල්ල

පුංචි බිම්කඩක සිරගත වුණ අද සමාජයේ දරුවන්ට එදා සමාජයේ දරුවන් ලැබූ අත්දැකීම් ලබන්නට ඉඩක් නැත. ලේඛිකාව මේ යථාර්ථය ව්‍යංග්‍යයෙන් මෙන් පවසන්නීය. ඉදිරියට යන දරුවන් කරන කියන සියලු කටයුතු "එපා" කියමින් වැළැක්වීම සුදුසු නැත.

කළ යුත්තේ ඔවුන් යන මාවත නිවැරදි කිරීමය.

"මම ධනාත්මකව සිතන්නට විමි. ඒ සිතුවිලි මගේ සිත තව තවත් ශක්තිමකත් කළේය. මම ඔරුව ගැට ගසා තිබූ කුඹුක් ගස අසලට ගියෙමි. මට ඔරුව ලිහාගත හැකිය. එහෙත් කඹයෙන් ගැලවුණු ඔරුව ආං බාං කර ගන්නේ කෙසේ ද? හබල් දෙකක් කුඹුක් ගසේ මහ අත්තක මානා තිබිණ. මම ගසට නැග එක් හබලක් අතට ගතිමි.

ජල කඳ බිහිසුණූය..."

(පිටුව -09)

ඒ රන්මලි දැරිය හබල අතට ගත් පළමු දිනයයි. ගංවතුරට ඒ දණ්ඩ ගැලවී යාමෙන් සියලු ගමන් ඇන හිටි ගැමි දරුවන්ගේ , ගැමියන්ගේ එකම ගැලවුම් කාරිය ලෙසින් ගඟ හරහා එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ දහතුන් හැවිරිදි දැරියකි. රන්මලි වටා ගෙති ඇති "පාරු කෙල්ල "ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වාගේ අලුත්ම යොවුන් නවකතාවයි.

පාරු කෙල්ල ඇය ලියා ඇත්තේ දිරිය දියණියක මුල් කරගෙනය . කැලණි ගඟේ එගොඩ මෙගොඩ පාරු පදින පාරු කෙල්ල අවසානයේ සිය ගමට මෙන්ම පාසලට ද කීර්තියක් අත්කර දෙන්නීය. තම දරුවන් සුපිරි තරු කරන්නට වෙහෙසෙන මවු පියවරුන්ට ද මේ කතා පිංචෙන් යම් පණිවුඩයක් ගෙන දෙන්නේය. අද වන විට පාසලත් අමතර පන්තිත් අතර කොටු වී හිදින දරුවන්ට ගම හෝ නගරයේ සුන්දර අත්දැකීම් හෝ ළමා ලෝකයේ අත්දැකීම් විදින්නට අවස්ථාවක් නැත . ස්වාභාවික පරිසරයේ ගත කරන්නට කාලයක් නැත . එහෙත් පාරු කෙල්ලගේ ජීවිතය ඊට හාත්පසින්ම වෙනස්ය. ඇය කුඩා කාලයේ සිටම බය හඳුන්නනේ නැත. ඇයට ඇත්තේ ජීවිතය ජය ගැනීම අභීයෝග ජයගැනීම පිළිබඳ උනන්දුව හා අවශ්‍යතාව පමණි.

"රන්මලී ඔරු පදින්න ඉගෙන ගත්තේ කොහොමද?"

විදුහල්පතිනිය ඇසුවේ තරමක් පුදුමයට පත්වෙමිනි.

"මගේ ආතාගෙන්. ගඟක් අයිනේ ඉන්නකොට ඕවා නිකම්ම පුරුදු වෙනවා මැඩම්."

"ඒ වුණාට කෝ ගඟ අයිනේ තව ළමයි කී‍‍ දෙනෙක් ඉන්නවාද? ඒ අයට ඔරු පදින්න බැහැනේ."

"ඒ අය බයයි. ඒකයි ප්‍රශනේ. මම බය නෑ. මට පීනන්නත් පුළුවන්." (පිටුව 19)

අද අප සමාජයේ බහුලව ඇත්තේ න්‍යෂ්ටික පවුල්ය. ඒ පවුල තුළ දරුවන් බොහෝවිට සමාජානුයෝජනය වන්නේ රූපවාහිනියෙන් නැත්නම් වෙනත් විද්යුත් මාධ්‍ය ඔස්සේය. නමුදු අතීත විස්තෘත පවුල ඊට හාත්පසින්ම වෙනස්ය. දරුවන් බොහෝ දේ ඉගෙන ගත්තේ තම පවුල තුළිනි. ආත්තච්චාගෙනි. ආච්චි අම්මාගෙනි. පවුල නිවෙස වටා සිටින අනෙක් නෑයන්ගෙනි. නමුත් පුංචි බිම් කඩක සිර ගත වුණ අද සමාජයේ දරුවන්ට එදා සමාජයේ දරුවන් ලැබූ අත්දැකීම් ලබන්නට ඉඩක් නැත. ලේඛිකාව මේ යථාර්ථය ව්‍යංග­්‍යයෙන් මෙන් පවසන්නීය. ඉදිරියට යන දරුවන් කරන කියන සියලු කටයුතු "එපා" කියමින් වැළැක්වීම සුදුසු නැත. කළ යුත්තේ ඔවුන් යන මාවත නිවැරදි කිරීමය. ඒ මඟ යන්නට දිරි දීමය. දරුවන් කුඩා කල සිට බිය ගැන්වීම සුදුසු නැත. මෙය මනෝ ‍වෛද්‍ය මතයයි. ලේඛිකාව විටෙක පාරු කෙල්ල තුළින් ඒ සංකල්පය ද මතුකර දක්වන්නීය.

පාරු කෙල්ල හෙවත් රන්මලි අද සමාජයේ ජීවත්වන දරු දැරියන්ට ජීවිතයේ අභියෝග ජය ගන්නාආකාරය ජීවිතයට මුහුණ දෙන ආකාරය කියා දෙන්නීය. සැබෑව නම් ලේඛිකාව පාරු කෙල්ල මඟින් සමාජයට ඒ යහපත් පණිවුඩය ගෙන ඒමය. පාරු කෙල්ල ලීවීමට තමන් අත්දෑකිම් ලබාගත් ආකාරය මෙන්ම එ අත්දැකීම පෝෂණය වූ ආකාරය අනුල ද සිල්වා පවසන්නේ මෙසේය.

"මම පිහිනන ළමයි දැකලා තියෙනවා. ඒ වගේම මගේ අසල්වැසි නිවසේ ඉන්න දරුවත් පිහිනන්න යනවා. තරගවලට ඉදිරිපත් වෙනවා. සමුද්‍රාසන්න ප්‍රදේශයක ජීවත් වන නිසා නිතර මුහුදේ පිහිනන් යන එන දරුවන් මම දකිනවා. මේ දේවල් දුටුවම මට හිතුණා දිරි දියණියක් ගැන ලියන්න ඕනා කියලා. මම අහලා තියෙනවා ගංවතුරට පාලම් කැඩිලා ගියාම මිනිස්සු අසරණ වෙන හැටි. මේ සියලු අත්දැකීම් සමඟ පාරු කෙල්ල ලියන්න පෙර මම මීගමු කලපුවේ දඩුගම් ඔයේ හැමිල්ටන් ඇළේ කිහිප වතාවක්ම සංචාරය කළා. අවසානයේ මේ සියලු අත්දැකීම් එක්ක තමයි පාරු කෙල්ල ලිව්වේ. පාරු කෙල්ල දක්ෂයි. ඈ සතුව සුවීශේෂී හැකියාවන් තිබෙනවා. ඒ හැකියාවන් මතුකර ගන්නේ ඇය විසින්මයි. මට ඕන වුණේ මෙන්න මේ දේවල් මතුකර පෙන්වමින් අපේ දරුවන්ටත් ජීවිතය ජයගන්න, ආමඟ අමතක නොකරන්න , බාල වියේ සිටම සමාජයට මෙහෙවරක් කරන්න ඕන කියන පණිවිඩය දෙන්නයි."

නවකතා රැසක්, පරිවර්තන නවකතා රැසක් රචනා කර ඇති අනුල ද සිල්වා විශේෂයෙන්ම යොවුන් පරපුර වෙනුවෙන් සුබවාදි , ධනාත්මක ආකල්ප සහිතව කතා ලියන්නීය. එක්දහස් නවසිය අසුහත වසරේදී "අපි යාළුයි" යොවුන් නවකතාව ලියමින් යොවුන් පරපුර වෙනුවෙන් තම සාහිත්‍ය දායකත්වය ලබාදෙන ලේඛිකාව ඉන් පසු මල් ළමයා, සුවඳ රෝස, සිරිමල්ගේ වාසනාව, වෙරළ දිගේ අපි ආවා, සුන්දර නවාතැන ආදි වශයෙන් පොත් රැසක් ලියා ඇත්තේය. ලී පහුර හා අම්බර ලේඛිකාව විසින් පරිවර්තනය කරන ලද යොවු න් නවකතාය. මේ අතරින්, නන්ද හා සරණ, රාමා හා දිනූ යොවුන් නවකතා සඳහා ඉකුත් වසර වලදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීය.

 

Comments