උඩරට ගැන තොරතුරු දුන්නට දෝසි අච්චාරු පගාවට | සිළුමිණ

උඩරට ගැන තොරතුරු දුන්නට දෝසි අච්චාරු පගාවට

සිරිලක ඕලන්ද සමය හඳුන්වන සලකුණ වී.ඕ.සී. අකුරු තුනයි. මෙහි අරුත වන්නේ එක්සත් ඉන්දීය සමාගම යන්නයි. VERENIGDE OOSTINDISCHE COMPAGNIE යන වචන තුනේ මුල් අකුරු තුන ඇසුරෙන් මෙය නිර්මාණය කැරගෙන ඇති බව පැහැදිලිය. 1658 සිට 1796 දක්වා වසර 138 ක කාල පරාසයක් තුළ ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළේ මෙම සමාගමයි.

ලංක‍ාවේ ලන්දේසි පාලනයේ විශේෂත්වයක් වන්නේ ඕලන්ද ව්‍යවස්ථා මණ්ඩලයකින් හෝ රජෙකු විසින් හෝ පාලනය නොවී සමාගමක් මඟින් ම පාලනය වීමයි. එම සමාගම වන වී.ඕ.සී. වෙළෙඳ සමාගමක් වීමත් විශේෂයකි. යුද්ධ කළේත්, වෙළෙඳාම් කළේත්, ආගම පතුරුවා හැරියේත්, ලාභ ලැබ‍ුවේත් මෙම සමාගම විසින්මය.

1602 දී සංයෝජිත කරන ලද වී.ඕ.සී. දායකත්වය වූයේ ඕලන්දයේ ඇමස්ටර්ඩෑම්, ශ්‍රීලන්ඩ්, ඩෙල්පට්, රොටර්ඩෑම්, හුන් හා එන්ක්හයිසන් යන ප්‍රදේශවල වෙළෙඳ මණ්ඩලයි. මේ මණ්ඩල චෙම්බර් නොහොත් ඇසෙම්බ්ලි යනුවෙන් ද හඳුන්වා ඇත. මෙහි බලධාරීන් වූයේ කෘත්‍යාධිකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ දාහත් දෙනාය.

වී.ඕ.සී යට අයත් ලංකාව ඇතුළු පෙරදිග ප්‍රදේශ පාලනය වූයේ ආණ්ඩුකාරයා ප්‍රමුඛ ප්‍රධාන උපදේශක මණ්ඩලයක් මඟිනි. එය ඕලන්ද සමාගමක් වූවත් සාමාන්‍ය ඕලන්ද ජාතිකයෝ එයට ප්‍රිය මනාප නොවූහ. එකල මෙය අධි ලාභ ලැබූ සමාගමක් විය. එහෙත් පොදු ජනයාගේ යහපත සඳහා එයින් සේවයක් වුණා නම් ඉතා අල්ප වශයෙනි. එදා මේ පිළිබඳව ඉතිහාස කරුවන් ලියූ තොරතුරු ඇස‍ුරෙන් එය සනාථ කැර‍ගත හැකිය.

ඔවුන් පාලනය ගෙන ගියේ වතු පාලනය කළ වතුහිමියන් මෙනි. හැකි තරම් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට වෙහෙසුණා මිස කළ සේවයක් නැත. මේ සමාගමේ නීතිය වූයේ සමාගමේ කැමැත්තය. නීතිය, ආගම, දේශපාලනය, අධ්‍යාපනය මේ සියල්ලම සලකන ලද්දේ සමාගමේ ලාභය සලසන ප්‍රමාණය අනුවය.

යටත් කැරගෙන සිටි ලංකාවේ පාලන ප්‍රදේශ කොමාන්ඩරි හෙවත් ආඥා ප්‍රාදේශ තුනකට බෙදා තිබිණ. කොළඹ කොමාන්ඩරිය, ආණ්ඩුකාරයා වෙතින් ම පාලනය විය. මහ ඔයේ සිට බෙන්තොට ගඟ දක්වාත් මල්වාන, හංවැල්ල, අඟුරුවා‍තොට දක්වාත් මේ කොමාන්ඩරිය විහිදිණ. යාපනයේ කොමාන්ඩරිය සේනාධිපතියකු යටතේ පාලනය විය. ගාලු කොටුවෙහි විසූ සේනාධිපතියා ගාල්ල කොමාන්ඩරිය පාලනය කළේය.

පෘතුගීසීන් පන්නා දමා මෙරට සම්පත් බුක්තියට සරි කැරගත් ලන්දේසීහු එයින් උපරිම පල නෙළා ගැනීමට නිතරම කල්පනා කළහ. කුරුඳු, පුවක්, ගම්මිරිස්, ඇතුන් සහ මුතු ආදිය එතරෙට විකුණූ ඔව්හු ලුණු, රෙදිපිළි, දුම්කොළ සහ සීනි විශේෂයෙන් දිවයින තුළ අලෙවි කළහ. මේ හැර පුද්ගලයින් සඳහා ඇඟ බදුද, ගහකොළ, හරකාබාන, ඔරුපාරු, මාළු දැල් ආදී දේ වෙනුවෙන් ද බදු පැනවූහ.

වී.ඕ.සී. පාලනය තුළ ඉඩකඩම්, තෑගිබෝග, නම්බුනාම, පදක්කම් කෙනෙකුට ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ හැකි තරම් කුරුඳු තැලීමය.

මිනිසෙකුට හානියක් කළත් නොලැබෙන අන්දමේ දඬුවමක් විඳීමට උවමනා නම් කළ යුතුව තිබුණේ කුරුඳු ගසක් කපා දැමීමයි. වී.ඕ.සියේ නීතිය අනුව කුරුඳු ගසක වටිනාකම ලාංකිකයකුගේ ජීවිතයේ වටිනාකමට වඩා වැඩිය.

කිසියම් වහල් මෙහෙයක් දිවයිනේ පවත්වාගෙන ගියේ නම් ඒ වී.ඕ.සී. ය මඟිනි. සියලු කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා තන්ජෝරයෙන් වහලුන් රැගෙන ආ ඔවුහු උන්ගේ පිටේ වී.ඕ.සී. අකුරු තුන හංවඩු ගසා වැඩබිම්වලට යෙදවූහ.

වී.ඕ. සියේ විශේෂ ආදායම් මාර්ගයක් හැටියට දිවයිනේ අලි ඇතුන් අල්ලා විදේශවලට විකිණීමේ ජාවාරම් ජයටම‍ කෙරීගෙන ගිය බව පැහැදිලිය. ලන්දේසි ආණ්ඩුවට අලි ඇතුන් සැපයීම සඳහා වෙනමම දෙපාර්තමේන්තුවක් විය. මාතර දිසාවට අයත් කුරුවේ නම් වූ ගම් බුක්ති විඳීමේ බදු වශයෙන් අවුරුදු පතා අලින් තිස් දෙනෙකුද ඇතුන් නව දෙනෙකුද ලන්දේසි ආණ්ඩුවට සැපයීමට විදානවරු බැඳී සිටියහ. වන්නි නායකවරු දෙදෙනකු සැපයූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙයි.

වසරක් පාසා කප්පන් වශයෙන් ලැබුණු මේ අලි ඇතුන් හැරුණු විට ලන්දේසි ආණ්ඩුවේ අලි ‍‍‍දෙපාර්තමේන්තුව විසින්ද මිනිසුන් යොදවා අලි ඇල්ලීම කලහ. මන්නාරමින් හා මාතරින් මේ හස්තීන් විදේශවලට යැවූ බව වාර්තා වී තිබේ.

යටත් විජිතයක්ව තිබී අප දිවයින නිදහස ලබා වසර හැත්තෑවකට ආසන්නය. එහෙත් විදේශිකයන් ගෙන් අපට හුරු පුරුදු වූ බොහෝ දෑ තිබෙන අතර නරකයැයි සිතෙන දෙයින්වත් මිදෙන්නට ඕනෑකමක් ලාංකිකයන්ට නොවීය.

වි‍ශේෂයෙන් ලන්දේසීන් පුරුදු කළ එක්තරා ක්‍රියාවලියක් කෙරෙහි වඩාත් ළෙන්ගතු වූ ස්වදේශිකයෝ එය තවතවත් දිරි ගන්වන අයුරු අද දේශපාලන භූමියේදී පවා ප්‍රමුඛ මාතෘකාව වී තිබේ.

මේ අලි ඇතුන් අල්ලා අලෙවි කිරීමේ කාර්යයේදී ලන්දේසීහු ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට වගබලා ගත්හ. තෑගි භෝග හා අල්ලස් දීමෙන් ඇතැම් වංශාධිපති රදළ නායකයන් ලවා ඕනෑම නීතිවි‍රෝධී, දේශ ද්‍රෝහී ක්‍රියාවක් කරවා ගත හැකි බව ඔවුහු අත්දැකීම් තුළින් හඳුනාගෙන තිබිණි.

ප්‍රමුඛ පෙළේ ලන්දේසි නිලධාරීන් අතර හුවමාරුවූ රහස් ලියකියවිලි ඇසුරෙන් අනාවරණය වන මේ තත්ත්වය දේශපාලන හා වෙළෙඳ වාසි අත්කැර ගැනීම සඳහා ඔවුන් නිබඳව උපයෝගී කැරගත් බව පෙනේ. දිවයින තුළ වෙසෙන අලි ඇතුන් ගැන විමසිලිමත් වෙනවිට ඔවුනට මේ සඳහා විශේෂවූ බාධකයක් දක්නට ලැබිණි. දිවයිනේ ලන්දේසි පාලන ප්‍රදේශවල සිටින අලි ඇතුනට වඩා සිංහල පාලකයන්ට අයත් බල ප්‍රදේශයන්හි සිටින ප්‍රමාණය වැඩි බවය. මේ අභියෝගයෙන් ජය ගත යුතුය. මේ අලි ඇතුන් තමා සතු බල ප්‍රදේශවලට ඇතුළු කැර ගතහොත් සියල්ල නිදහසේ කැරගත හැකිය. ඒ සඳහා යෙදූ එක් උපාය මාර්ගයකි රදළයන්ට අල්ලස් දීම.

වෑන් ගුවන්ස් නම් ලන්දේසි පාලකයා විසින් තමන්ගෙන් පසු පාලනය භාර ගන්නා ආණ්ඩුකාරයාට ලියා දන්වනු ලැබූ එක රහස් ලිපියක මෙසේ සඳහන් වී තිබිණි.

“සිංහල රජුට අයත් බල ප්‍රදේශයෙන් අලි ඇතුන් අපේ පාලන ප්‍රදේශයට ඇතුළු කරවා ගැනීම සඳහා සිංහල නිලමේවරුනට පගාව දෙන්නට අමතක කරන්න එපා. ඔවුන් මේවා ලබා ගැනීමට පසුබට වෙන්නේ නැහැ. කරුණාකර නොකඩවා මෙය කරගෙන නොගියහොත් අපට සිදුවන්නේ විශාල පාඩුවක්. වලවේ ගඟබඩ අලි ඇතුන් අල්ලා ගැනීමට නම් මෙම පගාව විශේෂයෙන් එම ප්‍රදේශයේ නිලමේවරුනට දීම කළ යුතුමයි.”

ඔවුනොවුන් අතර හුවමාරු වූ සමහර ලිපි අතරින් මේ පිළිබඳ තොරතුරු වඩ වඩාත් එළිදැක්වෙයි. ලන්දේසි ආණ්ඩුකාරයා ඇතුළු උසස් නිලධාරීන් සමඟ යම් යම් සාකච්ඡා සඳහා මහනුවර රජුගේ නියෝජිතයන් කොළඹට පැමිණීම බොහෝ විට සිදුවිය. ඒ සඳහා පැමිණියේ ඉහළ පෙළේ නිලමේවරුන්ය. ඔවුනගේ අවනත භාවය ලබා ගැනීම සඳහා කළ යුතු පිළිවෙත් සමහර තැනෙක සඳහන් වී තිබිණි.

“මහනුවර සිට තානාපති වරුන් වශයෙන් කොළඹට පැමිණෙන නිලමේවරුන් පුහු මානයෙන් පිම්බී සිටින අයයි. ඔවුනට ප්‍රමාණයට වඩා සැලකිලි දක්වන්නට ගොස් වැඩ වැඩිකැර ගන්නට එපා. ආදුරිප්පු වීදියේ වුල්පොන්ඩෝල්හි පිහිටි තානාපති නිවසේදී ඔවුන් ‍ෙහාඳින් පිළිගන්න. එතැනින් සාකච්ඡා සඳහා කොටුවේ විශේෂ ශාලාවට කැඳවාගෙන යන්න. එහිදී ඔවුන්ගේ සිත් දිනා ගැනීම සඳහා එතරම් නොවටිනා කුළු බඩු, තේ කොළ ආදිය දෙන්න.”

මුදල් ඉපැයීමම අරමුණු කැරගෙන සිටි ලන්දේසීහු අල්ලස් හා තෑගි භෝග වශයෙන් එතරම් වටිනා දේ දීමට කැමති නොවූ බව පැහැදිලිය. එනම් විශේෂ අවස්ථා නොවන විටදී උඩරට රාජ්‍යයෙන් යම් යම් තොරතුරු ලබා ගැනීමට නිලමේ වරුනට පගාව වශයෙන් දී ඇත්තේ ඉන්දියාවේ සාදන ලද දෝසි සහ අච්චාරුය.

මේ අනුව උඩරට පාලකවරුන් ගැන කිසිම තැකීමක් නොකර නිලධාරීන් අතර අල්ලස්දීම චාරිත්‍රයක් ලෙස කරගෙන ගියාසේ හැ‍ඟේ. තවද ලන්දේසීහු උඩරට රජුගේ සිත් දිනා ගැනීම සඳහා යම් යම් තුටු පඬුරු දීමේ පිළිවෙත ක්‍රමානුකූලව ඉදිරියට ම ගෙන ගියහ. එවකට බතාවියේ පාලක තැන දිවයිනේ ලන්දේසි ආණ්ඩුකාරයා වෙත එවන්නට යෙදුණු සන්දේශයක මෙසේ සඳහන් කැර තිබුණු බව කියැවෙයි.

“උඩරට රජුගේ හොඳහිත පැවැතීම අපගේ ඉදිරි කටයුතු සඳහා බොහෝ ප්‍රයෝජනවත්. එනිසා පර්ගියුසන් වර්ගයේ අශ්වයෝ දෙතුන් දෙනෙකු තිළිණ වශයෙන් දීම පාඩුවක් නොවෙයි. එය තරයේ සිහි තබා ගත යුතුයි.”

උඩරට පාලකයන්ට තෑගි දුන් බොහෝ දේ අතර පර්ගියුසන් වර්ගයේ බඩු මුට්ටු, රෙදිපිළි, කාපට්, තේ කොළ සහ විශේෂයෙන් පිඟන්බඩු ප්‍රමුඛස්ථානයට පත්විය. ලන්දේසීන් අතර දක්ෂ චිත්‍ර ශිල්පීන් සිටි නිසා අඳින ලද චිත්‍ර සහ දුම්කුඩු ආදිය ද සිංහල රජු ප්‍රිය කළ බව ඔවුහු දැන සිටියහ.

ආර්ථික කටයුතුවලදී උඩරට වැසියාගේ අවනත භාවය වැදගත් බව දන්නා ලන්දේසීහු ඒ සඳහා යොදනු ලැබූ උපක්‍රමය වූයේ ඉන්දියානු සවාරි සඳහා නැව් සපයා දීමය. මෙය එකල අගනා සේවාවක් හැටියට ඉහළ පෙළේ ඇත්තෝ සැලකූහ.

ලන්දේසීහු තම අරමුණු ඉටුකැර ගැනීමට පඬුරු, පාක්කුඩම්, අල්ලස් දුන් වග ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් මේ කිසිවකටත් නම්මවා නොගත හැකිවූ ප්‍රභූ පිරිසක් ලක් දෙරණ මත විසූහ. ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. මෙම යතිවරයන් වහන්සේලා කෙරෙහි ඔවුන් දැක්වූ ආකල්පය හාත්පසින් ම වෙනස් වූවකි. අල්ලස්දීම, තෑගිදීම හා චාටු බස් වලින් උන්වහන්සේලා අවනත කැර ගැනීමට නොහැකි බව ලන්දේසීහු අත්දැකීමෙන් ම හොඳහැටි අව‍‍බෝධ කැරගෙන සිටියහ.

1699 සැප්තැම්බර් 21 වෙනි දින ‍බතාවියේ ලන්දේසි ප්‍රතිරාජයා විසින් ලංකාවේ ලන්දේසි පාලකයන් වෙත නිකුත් කරන ලද අති විශේෂ ලිපියකට අනුව සිංහල රජුට තෑගි රාශියක් දුන්විට රටින් කොටසක් වුව දිනාගත හැකි තරමට සිත දිනාගත හැකිය. එහෙත් භික්ෂූන් වහන්සේලා රැවටීම අසීරු කරුණක් වන අතර මාතර මෙන්ම විශේෂයෙන් කැලණියේ නායක හාමුදුරුවරුන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වෙන ලෙසට අවවාද කර ඇත.

එක් එක් ලන්දේසි බල ප්‍රදේශ හරහා යන එන්නන්ගෙන් ගාස්තු අය කිරීමේ නියමයක් විය. ඒ නිසා බො‍‍හෝ දෙනා මේ ප්‍රදේශ හරහා යාමට ඊමට මැළි වූහ. එහෙත් කැලණි රජමහා විහාරයට නිසා ඔවුන්ගේ මේ නියමයන් ක්‍රියාත්මක වීම අසීරු වූ බව පෙනේ. කැලණි විහාරයට දිවයිනේ නන් දෙසින් බැතිමතුන්ගේ පැමිණීම නවතාලීමට නොහැකි තත්ත්වයට පත්වී තිබිණි. මේ නිසා කැලණි විහාරාධිපතීන් වහන්සේලාට ජනතාව අතර විශාල බලයක් තිබෙන බව තේරුම් ගත් ලන්දේසිහු එම අණපනත් ක්‍රියාත්මක කරලීමට මැළි වූහ.

එපමණක් නොව ලන්දේසිහු ඇතැම් නොපනත්කම් හා අගතිගාමී ක්‍රියාවලට එරෙහිව භික්ෂූණ් වහන්සේලාගේ ඉදිරිපත් වීම නොවන්නට නිතරම ප්‍රවේශමෙන් කටයුතු කිරීමට වග බලා ගත්හ.

Comments