රට ඇරලා යනවා කියන්නේ රට විකුණනවා වගේ වැඩක්ද? | සිළුමිණ

රට ඇරලා යනවා කියන්නේ රට විකුණනවා වගේ වැඩක්ද?

 ‘කැනඩාවේ විදේශ ඇමති දැන් ඔබරෝයි කියලා ඉන්දියානු ජාතිකයෙක්’

‘ඉතිං’

‘ඉතිං විදේශ ඇමති කියන්නේ ලොකු ඇමතිකමක්. ඊළඟට අගමැතිකම වුණත් ලැබෙන්න පුළුවන්‘

‘ඉතිං’

‘අයර්ලන්තේ අගමැතිත් ඉන්දියන් ජාතිකයෙක් අශෝක් කියලා’

‘ඉතිං’

‘ඒ වගේ රටකට යන්න ඕනෑ. ලංකාවේ ඉඳලා වැඩක් නෑ. හැමදාම භේද වෙලා ඉන්නවා විතරයි. මං නං යනවා ඒ රටකට. ලංකාව වැඩක් නෑ’

‘ඉතිං’

‘ඉතිං ඒක තමයි මං කියන්නේ මේ රට කිසිම වැඩක් නෑ. හැමදාම රණ්ඩු වාද භේද කෝලාහල. මොකට මේකේ ඉපදුණා ද මන්දා. මං නං කොහොම හරි වෙන රටකට පැන ගන්නවා’

‘ඔයා වගේ හිතන අය හින්ද තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ’

‘එතකොට මං ද වැරදි, මං මේ රටේ දේවල් හොරකම් කරන්නේ නෑ. මේ රටට වඩා පිටරට හොඳයි කියනවා විතරයි. පිටරටකට පැන ගන්න ඕනෑ කියනවා විතරයි. මේ රටේ ඉන්න එක කිසිම තේරුමක් නෑ කියනවා විතරයි’

‘දැං ඔයා රටකට යන්නේ ඇයි’

‘ඔව් මොකක් කියලා හින්දද කියන්නේ’

‘ඔයා රට යන්නෙත් ධන තණ්හාවට’

‘ඒ කොහොමද?’

‘මෙහෙමයි, වෙන රටකට යන්න ඕනැ නෑ කියලා හිතාගෙන මෙහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ අය කරන්නේ මේ රටේ දේවල් විකුණන එක. පස් විකුණන එක. හොරකම් කරන එක. ඒ අය කවදාවත් රට යන්නේ නෑ. රටේ තියෙන දේවල් විනාශ කර කර මෙහෙ ඉන්නවා’

‘ඉතිං ඒකනේ අපි රට යන්නේ’

‘නෑ පස් විකුණන මනුස්සයා වගේ ම තමයි ඔයාටත් මේ රට වුවමනා නෑ. පස් විකුණන මිනිහා වගේ ම ඔයාගෙත් රටට ඇති ආදරයක් නෑ. රට ඇරලා යනවා කියන්නේ එක අතකට තමන් වෙනුවෙන් තමන්ගේ රට විකුණනවා වගේ වැඩක් තමයි’

‘එතකොට කවුද රටට ආදරේ?’

‘අනුන්ගෙන් අහලා හරි යන්නේ නෑ තමන්ගෙන් ම අහන්න’

මා දෙදෙනෙකුගේ වාදයකට සවන් දී සිටියේ සිහිනයකිනි. සිහිනයෙන් විනා සිහියෙන් නම් මිනිස්සු මෙසේ විවෘතව කතා කරතියි කියා මම නොසිතමි.

Comments